දෙපිලම අද නුහුරු තරග බිමකට

ශ්‍රී ලංකා - කොදෙව් දූපත් දෙවැනි ටෙස්ට් ගැටුම

දෙපිලම අද නුහුරු තරග බිමකට

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම් ඔවුන්ගේ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් ගැටුම සඳහා දෙපිලම නොදන්නා තරග බිමකට පිවිසෙති.

තරගය පැවැත්වෙන ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණය ලබන වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් නවීකරණය කෙරෙමින් තිබේ.

එබැවින් දෙපිලටම වඩාත් වැදගත් වන කරුනු වනු ඇත්තේ නව තණ තීරුව කුමන ආකාරයකින් ක්‍රීඩා කරාවිද යන්න පිළිබඳව ය. එය වඩාත් වාසිදායක වනු ඇත්තේ පිතිකරුවන් ටද ? පන්දු යවන්නන්ට ද ?

ජය පැරැදුමින් තොරව ගාල්ලේ දී අවසන් වු පළමු ටෙස්ට් තරගයේ දී වැඩි ගෞරව හිමිකර ගත්තේ ශ්‍රී ලංකාවට වඩා පළපුරුද්දෙන් අඩු කොදෙව් දූපත් පිලය.

එබැවින් ඒ පසුබෑම මකා දමා යළි ප්‍රතිවාදීන් අභිබවා නැඟී සිටීමට කුමාර් සංගක්කාරගේ කණ්ඩායම අද ඇරැඹෙන තරගයේ දී ඔවුන්ගේ උපරිම ශක්තිය යොදනු ඇත.

ආරම්භක පන්දුවෙන් මීට වඩා වැඩි ප්‍රයෝජන ලබා ගත යුතු බව ගාල්ලේ දී පැවැති තරගය අවසානයේ ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර පවසා සිටියේ ය.

ඒ අනුව ගාලු තරගයේ ආරම්භක පන්දු යවන්නන් වූ තිලාන් තුෂාර හා ධම්මික ප්‍රසාද් මෙවර තරගය සඳහා කණ්ඩායමට නම් කර නැත. ඒ වෙනුවට නුවන් කුලසේකර ප්‍රමුඛ දිල්හාර ප්‍රනාන්දු, සුරංග ලක්මාල් හෝ ශාමින්ද එරංගගෙන් ශ්‍රී ලංකා වේග පන්දු බලඇණිය සමන්විත වනු ඇත.

ගාලු තරගයේ දී කඩුලු හයක් ලබාගත් අජන්ත මෙන්ඩිස් ශ්‍රී ලංකා දඟ පන්දු ප්‍රහාරය මෙහෙය වනු ඇත. සුරාජ් රන්දීව් හෝ රංගන පළමු ටෙස්ට් තරගයේ දී වැඩි කාලයක් කොදෙව්වන්ගේ එකම දඟ පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ ෂේන් ශිලිංෆෝඩ්ගේ පන්දු යැවීමේ ඉරියව් සැක සහිත බවට වාර්තා වීමෙන් කොදෙව් දූපත් කඳවුර තුළ කැලඹීමක් හට ගෙන තිබෙනවා විය හැක.

ඒ අනුව ඔවුන්ගේ අංක 1 පන්දු යවන්නා වන වමතින් දඟ පන්දු යවන සුලෙයිමාන් බෙන් හට අද කොදෙව් දූපත් පිල නියෝජනය කිරීමට බොහෝ දුරට අවස්ථාව උදාවනු ඇත. තියුණු ටෙස්ට් තරගයකට ඇති එකම බාධාව මෙවරත් වර්ෂාව වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා