“රිවි දම්සර” වන්දනාව ජේතවනාරාමය බබලවයි

 “රිවි දම්සර” වන්දනාව ජේතවනාරාමය බබලවයි

අප කණ්ඩායම රැගත් බස් රථය බාල්රාම්පූර් නගරය පසු කරද්දී දැන් ශ්‍රාවස්තියට ළඟ යැයි හැඟීමක් මා තුළ ඇතිවිය. පාර දෙපස ඇති විශාල අඹ ගස් දකින විට අතීතයේ දී බුදුරජාණන් වහන්සේ වැඩ විසූ අඹ වනයක් සිහි වේ.

බාල්රාම්පූර් නගරයේ සිට සැවැත්නුවර ජේතවනාරාම භූමියට ඇති දුර සැතැපුම් දහයකි. කෝට්ටේ ශාන්ති බුද්ධ භූමි සංවිධානය මඟින් පැවැත් වූ “සැවැත් දම් කිරණ” වැඩසටහන සඳහා සහභාගිවීමට අප පිරිස ලංකා විහාර නවාතැන් පළට ළඟා වූයේ නොවැම්බර් 04 වැනිදා සවස 4ට පමණ ය. බරණැසින් උදෑසන 5ට පමණ ගමන ආරම්භ කළ අතර සුල්තාන්පූර් අයෝධ්‍යා හරහා ශ්‍රාවස්තියට ළඟාවන විට ඉර අවරට හැරී තිබිණි.

ගමන දීර්ඝ වූව ද තැනින් තැන නවත්වමින් කා බී සතුටු වෙමින් පැමිණි නිසා වෙහෙසක් දැනුණේ නැත. එකම අපහසුව වූයේ මාර්ගයේ කඩතොලු ස්ථානවලින් ගමන් ගනිද්දී බස් රථයේ පිටුපස උඩ වීසි වීම පමණකි.

බුදුන් වැඩිම කාලයක් වැඩ විසූ ජේතමනාරාම පුද බිම දුටු දුටුවන් සිත සනහාලන බව නොකියාම බැරි ය. කොසොල් රාජ්‍යයේ අගනුවර ශ්‍රාවස්තිය විය.

අනේපිඬු සිටුතුමා බෞද්ධ උපාසකයෙක් වූ පසු බුදුරජාණන් වහන්සේට කවරක් පූජා කරන්නේ ද යන්න නිතර කල්පනා කෙළේ ය. ඒ අවස්ථාවේ දී ජේත කුමරා සතුව පැවැති මේ උයන දක්නට ලැබිණි.

ඉතා මනරම් රුක් ගොමුවෙන් ද අලංකාර පොකුණුවලින් ද සමන්විත මේ උයනේ බුදුරජාණන් වහන්සේට විහාරයක් කරවාදීම ඉතා අගනේ යැයි සිටුවරයාට කල්පනා විය. මේ උයන විකිණීමට කැමැතිදැයි ඇසූ විට ජේත කුමරා එය තරයේ ප්‍රතික්ෂේප කෙළේ ය.

පසුව ජේත කුමරා හාස්‍යයට මෙන් “මේ උයන පුරා රන් කාසි අතුරා ඒවා මට දුන්නොත් ඔබට මෙය ලබා ගන්න පුළුවන්” යැයි කී විට අනේපිඬු සිටුතුමා වහා එයට එකඟ විය. ඇත්තෙන්ම ජේත කුමාරයා මේ උයනේ ඇතිරූ රන් කාසි ප්‍රමාණයෙන් භාගයක් පමණක් පිළිගත් බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

අද ජේතවනාරාම භූමියේ දක්නට ලැබෙන්නේ පැරැණි ගොඩනැගිලිවල අත්තිවාරම වුවද සැබැවින්ම මෙය සත්මහල් ප්‍රාසාදයක් විය. පසු කලෙක දී මීයෙකු විසින් පහනක් පෙරළීම නිසා මේ සත් මහල් ප්‍රාසාදය අළු බවට පත් විය. එහෙත් සඳුන් දැවයෙන් තැනූ බුදුරුව ගින්නට නොපිලිස්සී දින කිහිපයකට පසු දායකයන්ට හමු විය.

පස්වැනි සියවසේ දී ඉන්දියාවේ සංචාරය කළ ෆාහියන් භික්ෂුව ද ;ජ්තවනාරාම පුද බිමේ අලංකාරය දැක මවිත විය. ජේතවනාරාම පුද බිම හරහා ගමන් කිරීමේ දී බෞද්ධයකුට ඇති වන්නේ නිරාමිස ප්‍රීතියකි.

එය මුළු ජීවිත කාලය පුරාම පවතින්නකැයි මට සිතේ. “සැවැත් දම් කිරණ” වැඩසටහනේ පළමු අංගය එනම් මල් පෙරහර ආරම්භ වූයේ 05 වැනිදා හිමිදිරියේ ය. උදෑසන දැඩි සීතල ද නොතකා ශ්‍රී ලංකාවේ සිටම මේ පින්කම සඳහා පැමිණ සිටි 400කට අධික උවැසි උවැසියෝ සුදුවතින් සැරසී බෞද්ධ කොඩි, මල් ගිලන්පස ගෙන පෙරහරට එක්ව සිටියහ.

උදෑසන පැතිර තිබූ ඝන මීදුම අතරින් පෙරහර ජේතවනාරාම පුද බිමට ඇතුළු වන විට සිංහල බෞද්ධයෝ උස් හඬින් සාදු සාදු කියන්නට වූහ. එම පෙරහරේ ගමන් කිරීම ද හදවත බොදු බැතියෙන් අලලන්නක් විය. මේ බොදු පිරිස සමඟ මම ද මල් වට්ටියක් ගෙන පෙරහරට එක් වී සිටියෙමි.

ජේතවනාරාම භූමියේ බුදු රජාණන් වහන්සේ වැඩ සිටි ගන්ධකුටිය මේ පින්කම වෙනුවෙන් ම අලංකාර ලෙස මල්වලින් සරසා තිබූ අතර දුටුවන් සිත් සනහාලන බුදු පිළිමයක් ද තබා තිබිණි.

මල් පෙරහරේ ගෙන ගිය ගිලන් පස හා මල් තැන්පත් කිරීමෙන් පසුව සීල සමාදාන වැඩසටහන ආරම්භ විය.

මුලින්ම මේ පින්කමේ අරමුණ පැහැදිලි කෙළේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ගැට මාන්නේ ගුණානන්ද හිමියන් විසිනි. එහි දී අදහස් දැක් වූ ගුණානන්ද හිමියෝ මෙසේ ප්‍රකාශ කළහ.

“අද අපි ඇවිල්ලා ඉන්නේ බුදු රජාණන් වහනන්සේ වැඩිම කාලයක් වස් වැසූ ජේතවනාරාම පුණ්‍ය භූ®මියටයි. අද මෙතැන ඉතා වැදගත් පින්කමක් සිද්ධ කරන්නයි යන්නේ. විශේෂයෙන් ම කෝට්ටේ ශාන්ති බුද්ධ භූමි සංවිධානය 2005 සිට සෑම වසරකම මෙලෙස දඹදිව බුදුරජාණන් වහන්සේ වැඩ සිටි පුණ්‍ය භූ®මිවල පින්කම් පවත්වනවා.

ඒ සෑම පින්කමකටම සහභාගි වෙන්න මට හැකි වුණා. ඒ සෑම පින්කමක් ම ඉතාමත් හොඳින් පැවැත්වුණා. සෑම කෙනෙක්ගේ ම බුද්ධාලම්භන ප්‍රීතිය වඩවන ආකාරයට මේ පින්කමේ පැවැත්වුණු බව කියන්න අවශ්‍යයි. විශේෂයෙන් ම මේ පින්කම සාර්ථක කර ගැනීම සඳහා ශාන්ති බුද්ධ භූමි සංවිධානයේ අධ්‍යක්ෂ තුෂාර පලිහවඩන මහතා කරන කැපවීම විශේෂයෙන් සඳහන් කළ යුතුම යි.

එමෙන්ම මෙවර පින්කම සඳහා දායකත්වය දරන කොළඹ මරදාන සමයවර්ධන ව්‍යාපාරයේ සභාපති ආරියදාස වීරමන් මහතා සහ එම මහත්මිය ද මේ අවස්ථාවේ දී සිහිපත් කළ යුතුයි”

එයින් පසු බුද්ධ පූජාව හා අටසිල් සමාදන්වීම පදලංගල ධම්මදේව හිමියන් විසින් සිදුකරනු ලැබීය. පසුව ජේතවනාරාම භූමියේ දී ස්වාධීන රූපවාහිනියෙන් “දොරමඩලාව“ වැඩසටහනක් සජීවී ව පටිගත කරනු ලැබීය.

මෙම වැඩසටහන සඳහා සැවැත්නුවර ලංකාරාම විහාරාධිපති රුක්මල්පිටියේ සද්ධාලෝක හිමියන් ද පදලංගල ධම්මදේව හිමියන් ද මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා ද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා ද සහභාගි වී සිටියහ. දහවල් දානයෙන් අනතුරුව පැවැති විශේෂ ධර්ම දේශනය පවත්වනු ලැබුවේ දියතලාවේ පියදස්සී හිමියන් විසිනි.

“රිවිදම් කිරණ” වන්දනාවේ අසිරිමත් පින්කම සිදු වුණේ 05 වැනිදා සවස් යාමයේ දී ය. ඒ ආලෝක පූජාව හා රෝසමල් පූජාවයි. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ගන්ධ කුටිය පුරාම රතු රෝසමල් අතුරා මල්වලින්ම අලංකාර ධර්ම චක්‍රයක් නිර්මාණය කර තිබිණි.

ගන්ධ කුටිය වටා අටවිසි බුදුවරුන් සිහිපත් කරමින් බුදු පිළිම තැන්පත් කර තිබිණි. උපාසක උපාසිකාවෝ මහත් සැදැහැසිතින් ගන්ධ කුටියට ගොස් මේ රෝසමල් අතුරා ඇති භූමියේ නළල තබා අප්‍රමාණ බැතියෙන් සාදුකාර දුන් අයුරු දැනුදු මට සිහිපත් වේ.

ජේතවනාරාම භූමිය පුරාම පහන් තැටි දහස් ගණනක් තබා ඒවා දැල්වීම අඳුරු වැටෙන යාමයේ සිදු කරන ලදී. මම ද ජේතවනාරාමයේ රාහුල හිමියන්ගේ කුටිය යැයි නම්කර ඇති කුටියේ පාදම මත පහන් දැල් වූයෙමි.

පහන් එළියෙන් ආලෝකවත් වූ ජේතවනාරාම පුද බිම මහත් අසිරියකින් බැබළෙන්නට විය. පහන් එළියෙන් ආලෝකවත් වූ ජේතවනාරාම පුද බිමේ චමත්කාරය කිසිදා අමතක නොවනා ලෙස මගේ සිතේ සටහන් වී ඇත.

රාත්‍රී හතට පමණ ජේතවනාරාමයේ ගන්ධ කුටිය අසල රැස් වූ පිරිසගෙන් බොහෝ දෙනෙක් සිය ඩිජිටල් කැමරාවලින් හිස් අහස දෙස බලමින් ඡායාරූප ගන්නා අයුරු දක්නට ලැබිණි. ඒ ගැන විමසිලිමත් වූ මට දැක ගන්නට ලැබුණේ ඒ කැමරාවලට කුඩා එළි රාශියක් සටහන් වී ඇති අයුරු ය. මේවා පියවි ඇසට පෙනෙන්නේ නැත. බොහෝ දෙනා පැවැසුවේ මේවා දේවතා එළිවන බවයි.

මේ පින්කමේ අසිරිය දැක ජේතවනාරාම භූමියට දෙවියන් ද පැමිණි බව පැහැදිලි ය. පසුවදා උදේ කඨින පෙරහර පැවැත්වුණු අතර දහවල ශතාධික මහා සංඝරත්නය විෂයෙහි පැවැති සංඝගත දක්ෂිණාවෙන් පසුව මෙම පින්කම නිමාවට පත් විය.

ඇත්තෙන්ම කඨින චීවර පූජාවකට සහභාගි වීමට ලැබිමම මහා පිනකි. කලාතුරකින් කරන්නට ලැබෙන මෙම පින්කම හැකිතාක් ඉහළින් පැවැත්වීම බෞද්ධයන්ගේ සිරිතයි. ශාන්ති බුද්ධභූමි සංවිධානය එහි අධ්‍යක්ෂ සුමිත් පළිහවඩන මහතාගේ පූර්ණ මඟ පෙන්වීම යටතේ 2005 දී බුද්ධගයාවේ දී කඨින පින්කම පැවැත්වූ අතර 2006 දී සැවැත්නුවර දී ද, 2007 දී කුසිනාරා නුවර ද, 2008 දී බරණැස් නුවර ද 2009 දී නැවත බුද්ධගයාවේ දී ද කඨින පින්කම මහත් හරසරින් පවත්වනු ලැබීය.

බොහෝ දෙනා තමන්ගේ පිරිවර සමඟ දඹදිව වන්දනාවේ යනමුත් මෙවැනි පින්කම් සංවිධානය කිරීමක් ගැන අප අසා නැත. එහෙත් තුෂාර පළිහවඩන මහතාගේ සුවිශේෂී හැකියාව නිසාම මෙවැනි පින්කම් බුදුරජාණන් වහන්සේ උපන් භූමියේ පවත්වන්නට හැකියාව ලැබී ඇත.

එය සමස්ත සිංහල බෞද්ධයන්ට ගෞරවයක් බව සටහන් කළ යුතු ය. මේ පින්කම් කිහිපයකටම සහභාගි වීමට අවස්ථාව ලැබීම පෞද්ගලිකව මා ලැබූ භාග්‍යයක් ලෙස සලකමි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා