සංස්කෘතික බලපෑම් රැසකට නතු වූ කටාන

සංස්කෘතික බලපෑම් රැසකට නතු වූ කටාන

ටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මීගමුව ප්‍රදේශයට ආසන්නව පිහිටි ඊට සමගාමීව විවිධ සංස්කෘතික බලපෑම් වලට ලක්වූ ප්‍රදේශයකි. කෝට්ටේ රාජධානි සමයේ දිවයිනේ ප්‍රධාන මුහුදු තොට හා වෙළෙඳ මධ්‍යස්ථානය වූ මීගමුව නගරය ඔස්සේ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ජාතීන්ගේ ආක්‍රමණ හා බලපෑම් නිසා සිදුවූ සමාජ ආර්ථික වෙනස්වීම් මෙම ප්‍රදේශය දක්වාද විහිද ගොස් ඇත.

වෙළෙඳාම, කෘෂිකර්මාන්තය වැඩි දියුණු කරන අතරම විදේශිකයන් අතින් ඊට සමගාමීව යටිතල පහසුකම්ද සංවර්ධනය වූ අතර කටාන ප්‍රදේශය හරහා දිවෙන අඩි 60 පාර, බෙදුම් පාර, රට මැද පාර යනාදී නම්වලින් හැඳින්වෙන බේස්ලයින් මාර්ගය එයට එක් නිදසුනකි. ලන්දේසි පාලන සමයේ මෙම බේස්ලයින් මාර්ගය භාණ්ඩ ප්‍රවාහනයට භාවිත කර ඇතැයි දැක්වේ.

ප්‍රාදේශීය සභා ගොඩනැඟිල්ල

ළමා හා මාතෘ සායනය

කෝවින්න පොදු සුසානභූමියේ ඉදිවන ආදාහනාගාරය

කෝවින්න පාලම අසළ මාර්ගය

මහජන පුස්තකාලය

කඳවල හා අමන්දොළුවේ පිහිටි ලන්දේසි යුගයට අයත් කුළුණුද පණිවිඩ හුවමාරුව හා ප්‍රදේශය සිතියම් ගත කිරීමට යොදා ගැනීමද යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ කදිම නිදසුන්ය.  කටාන ප්‍රදේශයේ බෞද්ධ, කතෝලික ආදි විවිධ ආගම්වලට අයත් ජනතාව ජීවත්වන බව ප්‍රදේශයේ පවතින විවිධ ආගමික සිද්ධස්ථාන වලින් පිළිඹිබු වේ. බෞද්ධ ධර්මය හා ජනතාව විදේශීය ආගම්වලින් රැක ගැනීමට නායකත්වය ගෙන කටයුතු කළ ශ්‍රේෂ්ඨ ජනතා පුත්‍රයන් රාශියක් කටාන ප්‍රදේශයේ උපත ලබා ඇත.

හීනටියන ධම්මාලෝක නාහිමි, බ්‍රහ්මචාරි වලිසිංහ හරිස්චන්ද්‍ර මැතිතුමා වැනි ගිහි පැවිදි පඬිවරුන්ගේ කටයුතු ඊට සාක්ෂි දරයි. විශේෂයෙන්ම කොට්ඨාසයේ පමණක් නොව සමස්ත ජාතියේම නායකත්වය ගෙන බෞද්ධ සිද්ධස්ථාන රැක ගැනීමට, බෞද්ධ සංස්කෘතිය රැක ගැනීමට කටයුතු කළ මොවුන් විදේශීය පාලන කාලයන්හිදි සිරභාරයට පවා පත්වී ඇත. මේ තුළින් කටාන ප්‍රදේශයේ ඇති ඓතිහාසික වටිනාකම හඳුනාගත හැකිය.

කටාන බල ප්‍රදේශය පිළිබඳ විමසීමේදී අද අපට දක්නට ලැබෙන්නේ නාගරීකරණය වෙමින් සංවර්ධනයේ නව ඉසව් සොයා යන ප්‍රදේශයක් ලෙසයි. ඒ සඳහා ප්‍රාදේශීය සභාවෙන් ලැබෙන සහයෝගයද ඉමහත්ය. යටිතල පහසුකම් සෞඛ්‍ය වැනි ජනතාවගේ දෛනික කාර්යයන් පහසුකිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙමින් පසුගිය කාලය තුළ කටාන ප්‍රාදේශීය සභාව සැලකිය යුතු කාර්යයභාරයක් සිදු කර තිබේ.

යටිතල පහසුකම් ගත් කළ මාර්ග පහසුකම් සඳහා ප්‍රධාන ස්ථානයක් හිමිවන අතර වර්තමානයේ මාර්ග සංවර්ධනය සඳහා පමණක් ලක්ෂ 250 ක් වැනි විශාල මුදලක් අයවැයෙන් වෙන් කෙරුණි. මීට අමතරව විමධ්‍යගත අරමුදල් සහ අතිගරු ජනාධිපතිතුමන්ගේ ජාතික සවිය මග නැගුම ව්‍යාපෘති හරහාද විශාල මාර්ග ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කරන ලදී. මේ වන විට ප්‍රදේශයේ මාර්ග පද්ධතියෙන් විශාල ප්‍රමාණයක් කොන්ක්‍රීට් කර, තාර දමා සකස් කර තිබීම විශේෂත්වයකි.

සභාවේ මූලිකත්වයෙන් සිදු කෙරෙන සෑම ඉදිකිරීමක්ම සෘජු ශ්‍රමයට අනුව කම්කරුවන් බඳවා ගෙන කටයුතු කළ නිසා සෑම කොන්ත්‍රාත්තුවකින්ම 20 % පමණ ලාබයක් සභාවේ ඉතිරි කර ගැනීමට සමත් විය. සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය සම්පත් සම්පාදනය කර ගැනීමටද සභාව පසුගිය කාලය තුළදී කටයුතු කර ඇති අතර ට්‍රැක්ටර් රථ 21 ක්, ගලි බවුසරයක්, ජේසීබී යන්ත්‍රයක්, බවුසර් 2 ක්, ගල් රෝලක්, වයිබ්රේටින් රෝලක් ආදි උපකරණ රාශියක් සභාව මිලදී ගෙන ඇත. එය ප්‍රදේශයේ සංවර්ධන කටයුතු වලට මහත් පහසුවක් වී තිබේ.

විදුලි පහන් නඩත්තුවටද ප්‍රාදේශීය සභාව විශේෂ අවධානයක් යොමුකර තිබේ. ප්‍රදේශය පුරා තිබෙන වීදි පහන් සියල්ලම ප්‍රාදේශීය සභාවේ මූලිකත්වයෙන් නිසි පරිදි නඩත්තු කෙරේ. එහිදී ජනතාවගේ අදහස් ලබා ගැනීමේ අරමුණින් පැමිණිලි පොත්ද ප්‍රාදේශීය සභාව තුළ ඇත. රුපියල් ලක්ෂ තිස්පහකට වැඩි මුදලක් වැය කර දෙමංහන්දිය ප්‍රදේශයේ පුස්තකාලයක් කර ඇත්තේ ප්‍රදේශයේ දුවා දරුවන්ගේ නැණස පෑදීමේ අරමුණෙනි. එය මේ වන විට පළමු ශ්‍රේණියේ පුස්තකාලයක් බවට සංවර්ධනය කර තිබේ.

මීට අමතරව ආඬිඅම්බලම ප්‍රදේශයේ තිබෙන උප කාර්යාලය ආශ්‍රිතවද පුස්තකාලයක් ආරම්භ කෙරුණේ එම සේවාව බල ප්‍රදේශය පුරා ව්‍යාප්ත කිරීම සඳහාය. එම ස්ථානයේම ඉදිකර තිබෙන නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාවද ජනතාවට සේවය සපයන තවත් සුවිශේෂී ස්ථානයකි. මාතෘ සහ ළමා සායනද ඊට සමගාමීව පවත්වන අතර එමගින් ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීමට සභාව බලාපොරොත්තු වේ. ග්‍රාමීය ජනතාවගේ සියලුම කාර්යයන් එකම ස්ථානයකදී ඉටු කර දෙන අංග සම්පූර්ණ පොදු කාර්ය ගොඩනැගිල්ලක් මේ වන විට කුස්වල ප්‍රදේශයේ ඉදි වෙමින් පවතී. උදම්මිට ප්‍රජා ශාලාවද ඉදි වෙමින් පවතින අතර එයද තව නොබෝ දිනකදී ජනතා අයිතියට පත් කෙරෙනු ඇත.

පසුගිය කාලයේදී සමෘද්ධි ව්‍යාපාර මඟින් නිවාස කිහිපයක් ඉදිකර අසරණ දුප්පත් ජනතාව වෙත ලබා දුන්නේ ඔවුන්ගේ නිවාස අවශ්‍යතාවය සපුරාලීමේ අරමුණින්ය. මීට අමතරව අඩු ආදායම්ලාභී පවුල්වල ජනතාවට කිරි පට්ටි, කුකුළන්, කෘෂි පැළ සහ පොහොර, බීජ වර්ග බෙදාදීමද සිදු කෙරුණු අතර ඒ තුළින් ජනතාවගේ ආර්ථික සංවර්ධනයට දායකවීමට සභාවට හැකි විය.

ප්‍රදේශයේ ජනතාවගේ මෙන්ම සෑම අංශයකම සංවර්ධනය උදෙසා සුවිශේෂී මෙහෙවරක් ඉටු කිරීම නිසා පසුගිය වසරවලදී පැවැත්වූ පළාත් පාලන තරගාවලියෙන් බස්නාහිර පළාතේ පළමු සහ දෙවැනි ස්ථානය දිනාගැනීමට කටාන ප්‍රාදේශීය සභාවට හැකිවීම සුවිශේෂී ජයග්‍රහණයකි. එක්වරක් දිවයිනේම ප්‍රාදේශීය සභා අතරින් තුන්වන ස්ථානයට පත්වීමට හැකිවූ අතර මේ සියලු ජයග්‍රහණයන් අත් වූයේ ප්‍රාදේශීය සභාව ප්‍රදේශය වෙනුවෙන් සිදු කළ කාර්යභාරය වෙනුවෙනි.
 


ජනතාව මාව ප්‍රතික්ෂේප නොකළේ මම ජනතාවට සේවය කළ නිසයි

ලීලානන්ද සිල්වා
හිටපු සභාපති - කටාන ප්‍රාදේශීය සභාව

* ඔබ තුන් වතාවක් කටාන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළා. ඒ පිළිබඳ යමක් පැවසුවොත්,...

අපි බලයට පත්වන්නේ ජනතාවගෙ ඡන්දයෙන්. වගකිවයුතු ජනතා නියෝජිතයන් ලෙස අපි ජනතාවට අවශ්‍ය සේවාව ලබා දුන්නේ නැතිනම් ජනතාව අපිව ප්‍රතික්ෂේප කරනවා. නමුත් මාව ජනතාව ප්‍රතික්ෂේප කළේ නැහැ. ඒකට හේතුව මම ජනතාවට සේවය කිරීමයි. මම මගේ පාලන කාලයේදී මේ ප්‍රදේශය සංවර්ධනයට විශාල වැඩ කොටසක් සිදු කළා. සාමාන්‍යයෙන් පළාත් පාලන ආයතනයකින් ජනතාවගේ උපතේ සිට මරණය දක්වා අවශ්‍ය පහසුකම් සලසා දීමට බැඳී සිටිනවා. පහුගිය කාලේ ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් සලසා දෙන්න කටාන ප්‍රාදේශීය සභාවට හැකි වුණා. ඒ වෙනුවෙන් මම කැපවී කටයුතු කළා. මම පැය 24 ම මගේ වෘත්තියට කැපවෙලා ඉන්නවා.

* සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය මූල්‍යමය සම්පත් සපයා ගැනීම බොහෝ ප්‍රාදේශීය සභා මුහුණ දෙන ගැටලුවක්. ඔබ ඒ සඳහා මුහුණ දුන්නේ කොහොමද ?

මම මුලින්ම කටාන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත්වුණේ 1997 වසරේදීයි. ඒ වෙන කොට සභාවේ වාර්ෂික ආදායම වූයේ ලක්ෂ 32 පමණ ප්‍රමාණයකුයි. වරිපනම් බදු ප්‍රධාන නගරවලට පමණක් සීමා වෙලා තිබුණා. මම ඒ තත්ත්වය වෙනස් කරලා මුළු ප්‍රදේශයම වරිපනම් ප්‍රදේශයක් බවට පත් කළා. ඒ අනුව 1997 වසරේදී පහළොස් ලක්ෂයක්ව පැවැති වරිපනම් ආදායම අද දෙකෝටි හැත්තෑපන් ලක්ෂයක් පමණ දක්වා වර්ධනය වෙලා තිබෙනවා. ඒ වගේම ව්‍යාපාර බදු, මුද්දර ගාස්තු සහ උසාවි දඩ මුදල් වලිනුත් ප්‍රාදේශීය සභාවට සෑහෙන ආදායමක් ලැබුණා. 97 වසරේ සිට මෙවන් ආදායම් මාර්ග හරහා හැම වසරකම සභාවේ ආදායම ලක්ෂ 50 කින් පමණ වැඩි කර ගන්න අපිට හැකි වුණා. අද සභාවේ ආදායම ලක්ෂ 1332 ඉක්මවලා තිබෙන්නේ ඒ නිසයි.

* බල ප්‍රදේශයේ අලංකාරයටත් සෞඛ්‍යාරක්ෂිත බවටත් කුණු කසළ නිසි පරිදි ත ඉවත් කිරීම අවශ්‍යයි. එම කාර්යය ඔබේ ප්‍රාදේශීය සභාවෙන් සිදු කළේ කොහොමද ?

මම බලයට පත්වන විට මේ ප්‍රදේශයේ කැලි කසළ ඉවත් කිරීම ප්‍රධාන බාධාවක් වෙලා තිබුණා. 97 වසරේ වාර්ෂික අය වැයෙන් කසළ ඉවත් කිරීම සඳහා නව ලක්ෂ අනූදාහක් වැනි මුදලක් තමයි වෙන් කරලා තිබුණේ. නමුත් වර්තමානයේ අය වැයෙන් ලක්ෂ 247 අති විශාල මුදලක් කසළ ඉවත් කිරීමට වෙන් කරලා තිබෙනවා. 2000 වසරේදී අපි ලක්ෂ 70 ක් වැය කර කොම්පෝස්ට් නිෂ්පාදනය කරන කම්හලක් ඉදි කළා. දැන් එය ඉතාම සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. එහි කසළ ප්‍රතිචක්‍රීකරණය සඳහා කසළ ටික වෙන් කරලා දෙන්න ඕන. එය 100 % සාර්ථක කරගන්න අමාරුයි. මේ ප්‍රදේශයේ තිබෙන නිවාසවලින් බොහොමයක් තවමත් වෙන් කරපු කසළ ලබා දෙන්නේ නැහැ. මිශ්‍ර කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීම ප්‍රාදේශීය සභාවට විශාල ගැටලුවක්. ඒ නිසා ඉදිරි කාලයේදී ප්‍රදේශයේ නිවාස සියල්ලේම ජනතාව දැනුවත් කරලා මේ වැඩසටහනට දායක කරගන්න බලාපොරොත්තු වෙනවා.

* පානීය ජල ප්‍රශ්නයත් මේ ප්‍රදේශයේ ජනතාවට තදින් දැනෙන ප්‍රශ්නයක්. ඒ සඳහා ලබා දුන් විසඳුම් මොනවාද ?

මේ ප්‍රදේශයේ ළිංවතුර බොන්න බැහැ. ඒ නිසා ප්‍රදේශයේ ජනතාවට බීමට පිරිසුදු ජලය ලබාදීම සඳහා අපි ජල යෝජනා ක්‍රම කිහිපයක් ආරම්භ කළා. එම ජල යෝජනා ක්‍රම ඉදි කළේ බීමට සුදුසු ප්‍රදේශ තෝරාගෙනයි. දැන් පානීය ජල ප්‍රශ්නයට අපි ස්ථිරසාර විසඳුමක් ලබාදීලා තිබෙනවා.

* පානීය ජල ගැටලුව වගේම ගංවතුර නිසාත් මේ ප්‍රදේශයේ ජනතාව පීඩා විඳිනවා. මේ ගැටලුව විසඳීමට කටයුතු කළේ කොහොමද ?

පහුගිය කාලේ ඇළ මාර්ග අවහිර වීම නිසා පවුල් විශාල ප්‍රමාණයක් ජලයෙන් යට වුණා. ඒ කාලයේදී ආපදා කළමනාකරණ අධිකාරියෙන් අපට බෝට්ටු ලබා දුන්නා. නමුත් අපි මේ ගංවතුර තත්ත්වය වළක්වා ගැනීමට වැඩ කටයුතු කළා. ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් අවහිර වී තිබූ ඇළවල් ප්‍රතිසංස්කරණය කිරීමට අපට හැකි වුණා. ඒ වගේම අපි නිවැරදිව අධ්‍යයනය කර කළපුව සහ මුහුද දක්වා ඇළ මාර්ග සකස් කළා. ඒ සියල්ල සිදු කළේ ගංවතුර උවදුර වළක්වා ගැනීමටයි.

* මේ කටයුතුවලදී ඔබට අනෙකුත් නිලධාරීන්ගෙන් ලැබුණු සහයෝගය කෙබඳුද ?

සෑම කාර්යයකදීම බැසිල් රාජපක්ෂ මහතාගේ ආශිර්වාදයත් සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියගේ සහයෝගයත් නිරන්තරයෙන් ලැබුණා. ඒ වගේම පළාත් සභා මන්ත්‍රීවරුන් සහ ප්‍රාදේශීය සභාවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ දේශපාලන සහයෝගය මට ලැබුණා. සභාවේ ලේකම්තුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයත් මගේ වැඩකටයුතු වලට විශාල සහයෝගයක් ලබා දුන්නා. මේ සියලු දෙනාගේම සහයෝගය නිසා තමයි මෙච්චර දුරක් එන්න අපට හැකියාව ලැබුණේ.

* සිවුවැනි වතාවටත් ඔබට මේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වීමට හැකි වුවහොත් ඔබේ ඉදිරි සැලසුම් මොනවාද ?

අතුරු මාර්ග කිහිපයක් හැරෙන්න මේ ප්‍රදේශයේ ඉතිරි මාර්ග පද්ධති සියල්ලම නිම කර අවසන්. ඒ අතුරු මාර්ග කිහිපයත් සකස් කර මාර්ග පද්ධතිය සම්පූර්ණයෙන් සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉදිරියේ්දී කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා මේ ප්‍රදේශයේ වැව් 2 ක් සකස් කිරීමේ සැලසුමකුත් තිබෙනවා. සංවර්ධනය ග්‍රාමීය ප්‍රදේශ කරා ගෙනයමින් පොදු සභා ගොඩනැගිලි සෑම ග්‍රාමසේවා වසමකම ආරම්භ කිරීමට කටයුතු කරනවා. සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මැතිනියගේ මූලිත්වයෙන් තවත් ජල ව්‍යාපෘති කිහිපයක් ජනතාවට ලබාදීමට බලාපොරොත්තු වෙනවා. පළාත් සභා අමාත්‍ය නිමල් ලාන්සා මැතිතුමාගේ මැදිහත්වීමෙන් කිරිහරක් සහ එළුවන් ලබාදී ජනතාවගේ ආර්ථික සංවර්ධනයට කටයුතු කරනවා. මේ සංවර්ධන කාර්යයන් හරහා කටාන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දියුණුතම හා සංවර්ධිත ප්‍රදේශයක් බවට පත්කිරීම මගේ බලාපොරොත්තුවයි.
 


අඩුපාඩු රැසක් තිබෙනවා

මංගලිකා - ගෘහණියක්

අපේ ප්‍රදේශයේ ඉස්සරට වඩා සංවර්ධනයක් සිදුවෙලා තිබෙනවා. ඒ වගේම තව අඩු පාඩුත් රාශියක් තිබෙනවා. දම්නගහවත්ත ප්‍රදේශයේ මාර්ග පද්ධතිය හොඳ නැහැ. පාර බාගයයි කොන්ක්‍රීට් කරලා තිබෙන්නේ. ඒ නිසා වහින කාලෙට පාරේ යන්න බැහැ මඩ. ඒ පාරට පස් ගෙනත් දාලා තිබෙන නිසා වහිනකොට මඩ. පායනකොට දූවිල්ල. මේ නිසා ඒ ප්‍රදේශයේ ජනතාව විශාල දුෂ්කරතා වලට මුහුණ දෙනවා.
 


පහසුකම් රැසක් ලබාදී තිබෙනවා

නිශාන්ත - යුද හමුදා නිලධාරියෙක්

ඉස්සර මේ ප්‍රදේශයේ මාර්ග පද්ධතිය ඉතාමත් අබලන් තත්ත්වයෙයි තිබුණේ. නමුත් දැන් පාරවල් සියල්ලම පාහේ නැවත සකස් කර ජනතාවගේ දෛනික කාර්යයන් සඳහා පහසුකම් ලබාදී තිබෙනවා. ප්‍රාදේශීය සභාවේ මූලිකත්වයෙන් පෙර පාසල්, මාතෘ සහ ළමා සායන පවත්වනවා. ඒ තුළින් විශාල සේවයක් ඉටු වෙනවා. අපිට එය ලොකු පහසුවක්.
 


කඩිනමින් සේවා සපයනවා

රංජිත් අප්පුහාමි - කොන්ත්‍රාත්කරුවෙක්

ප්‍රාදේශීය සභාවේ සේවාව බොහෝම හොඳයි. සංවර්ධන ව්‍යාපෘති දෙපාර්තමේන්තු ක්‍රමයට කරන නිසා සභාවට විශාල මුදලක් ඒ ව්‍යාපෘති වලින් ඉතිරි වෙනවා. එය ඉතාමත් හොඳ කාර්යයක්. දැන් මේ ප්‍රදේශයේ පාරවල් ටික බොහොම ලස්සනට සකස් කර තිබෙනවා. කුණු කසල ටිකත් වෙලාවට අස්කරන නිසා ජනතාවට වඩාත් පහසුයි. සභාපතිතුමා ඇතුළු සියලුම නිලධාරී මඩුල්ල එකම මතයක සිටින නිසා අවංක සේවාවක් ජනතාවට ලබා දෙනවා.
 


අධීක්ෂණය ප්‍රමාණවත් නෑ

එස්. ඩී. මුණසිංහ - ගුරුවරයෙක්

ප්‍රාදේශීය සභාවෙන් වැඩ කටයුතු ප්‍රමාණයක් සිදු කෙරිලා තිබෙනවා. ඊට වඩා අඩු පාඩු රාශියක් මේ ප්‍රදේශයේ තිබෙනවා. බේස්ලයින් පාරේ පොලිස් අභ්‍යාස විද්‍යාලයත් සමුපකාරයත් අතර පාරේ විදුලිය නැහැ. ඒ නිසා ඒ ප්‍රදේශයේ අනතුරු ආපදා බොහොමයක් වෙන්න පුළුවන්. මුල් වකවානුව තුළ ප්‍රාදේශීය සභාවෙන් හොඳට වැඩ කරගෙන ආවා. නමුත් කාලයක් යන විට වැඩ වැඩිවීම නිසා ප්‍රදේශයේ ගැටලු පිළිබඳ නිරන්තර අධීක්ෂණයක් වෙන්නේ නැහැ. කේ. ඩී. ද සිල්වා ජනපදයේ වැහි වතුර එකතුවීම නිසා වතුර ගලනවා. ඒකට නිසි වැඩපිළිවෙළක් සකස් කර නැහැ. බේස්ලයින් පාරේ කාණු පද්ධතිය නිසි පරිදි සකස් කෙරෙන්න ඕනෑ. මේ ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතුවලට අදාළ ඇළ වේලි, කාණු පද්ධති, තිබෙනවා. මේවා පිළිබඳවත් බලධාරීන්ගේ අවධානය යොමු වෙනවා නම් හොඳයි.
 


ඩෙංගු මර්දනය සාර්ථකයි

ලලිතා රුක්මනි - ව්‍යාපාරික

ඉස්සරට වඩා දැන් මේ ප්‍රදේශය හැම අතින්ම දියුණුයි. මාර්ග පද්ධති සියල්ලම පාහේ ඉතාමත් හොඳට හදලා තිබෙනවා. ප්‍රාදේශීය සභාවේ සේවාවත් හොඳයි. ප්‍රාදේශීය සභාවේ මූලිකත්වයෙන් පවත්වන පෙර පාසල් මාතෘ සහ ළමා සායන හොඳින් ක්‍රියාත්මක වෙනවා. පසුගිය කාලේ ඩෙංගු මර්දනය සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. ඒවා ඉතාමත් සාර්ථක වුණා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා