මිතුරන් ලෙස සසරේ යළි හමුවෙමු මිතුරේ

මිතුරන් ලෙස සසරේ යළි හමුවෙමු මිතුරේ

“ගාමිණි, අද උදේ විනී වෙත්තසිංහ නැතිවුණා.... බොඩි එක තවම හොරණ ඉස්පිරිතාලේ...” ජංගම දුරකතනයට නාට්‍ය ශිල්පී සරත් කුලාංග ඊයේ (10 වැනිදා) පෙරවරුවේ පැවසූ ආරංචියෙන් ලියුම්කරු හට කිසිදෙයක් හිතා ගැනීමටවත් නොහැකිවිය. විනී පිළිබඳ විවිධ මතකයන් රැසක් සිනමා පටයක රූප රාමු ලෙස ලියුම්කරුගේ සිත තුළ කැළැඹෙන්නට පටන් ගත්තේය. “අනේ අසරණයා. හිතේ කිසිම කහටක් නැති මිනිහා...” ඒ වචන ලියුම්කරුගේ මුවෙන් පිටවුණේ ලියුම්කරුටත් නොදැනීම නිරායාශයෙන් වගේ.

විනී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගැමියෙකි. ගම පිළිබඳ මහත් අභිරුචියෙන්, එසේම ඉහළින්ම කතා කරන විනී “අපි රයිගම් කෝරළයේ මිනිස්සු” කියා කියන්නේ අභිමානයෙනි. විනී වෘත්තියෙන් ගුරුවරයෙකි. ඔහු සැබෑම සිංහල ගුරු මහත්තයෙකි. විදුහල් රැසක දුවා දරුවන් සිය දහස් ගණනකට අකුරු කියා දුන් විනී විෂයයක් ලෙස දරුවනට ඉගැන්වූයේ සමාජ අධ්‍යයනය විෂයයි. ඒ විෂය ඉගැන්වීමට ඔහු සියල්ල දැන සිටි ගුරු මහතෙක් විය. නමුත් විෂයයට පමණක් සීමා නොවු විනී දරුවන්ට ‘ලෝකය කියා දුන්නේ’ ගුරුවරයෙකුගෙන් ඉටුවිය යුතු යුතුකම මැනවින් ඉටුකරමිනි.

“අපි ඉතිං ගමේ උන්නේ බං... අපිට ඉන්න පොල් ගහක් යට වුණත් හොඳයි..” විනී නිතරම ලියුම්කරු හමුවූ විට කියන දෙයකි. විනීත් ලියුම්කරුත් දෙදෙනාම රයිගම් කෝරලයේ බණ්ඩාරගම ආසනයේ උපන් අය වීම ඔහු එසේ පැවැසීමට මූලික හේතුවයි. විනීට රංගන ශිල්පියකු ලෙස අලුතෙන් රංගනය ඉගෙන ගැනීමට අවශ්‍ය නොවීය. ඔහු ඉපදුනේම රංගනය සඳහාය. ගැමි ජීවිතයේ අපූර්වත්වය ඔහු රඟපෑ “භූමිකා” ඔස්සේ මැනවින් නිරූපනය විය. සරත් කුලාංගගේ ‘මිදිවැල’ වේදිකා නාට්‍යයෙන් ආරම්භ කළ රංගන චාරිකාව ජනක් පේ‍්‍රමලාල්ගේ ‘රාජකපුරු’, ‘අබුද්දස්ස කෝලම’ හරහාද එච්. ඩී. පේ‍්‍රමරත්නගේ ‘සෙයිලම’ චිත්‍රපටය හරහාද නාලන් මෙන්ඩිස්ගේ ‘දූ දරුවෝ’, ‘නෑදෑයෝ’ දයාරත්න රටගෙදරගේ ‘බෝගල සවුන්දිරිස්’ ටෙලි නාට්‍ය හරහාද ගලා ගියේය.

‘පිනිබර යාමය’

ඔහුත් ලියුම්කරුත් හමුවූ අවසන් අවස්ථාව වූයේ සුමිත්‍රා රාහුබද්ධ රචනා කළ පේ‍්‍රමකුමාර් ජයවර්ධන අධ්‍යක්ෂණය කළ ‘පිනිබර යාමය’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලදී ය.  එම ටෙලි නාට්‍යයේ පත්තර කන්තෝරුවක ඔහුත් ලියුම්කරුත් එකට සේවය කරන පුවත්පත් කලාවේදීන් දෙදෙනෙකි. විනීගේ ඒ අපූර්ව රංගනය ලියුම්කරු රඟපෑ ‘නාගිතගේ චරිතය’ද රඟපෑමට මහත්වු ශක්තියක් විය.

ඒ මතකය අලුත් වනවිට ඔහු පිළිබඳව මහත් සන්තාපයක් ලියුම්කරුගේ සිත තුළ උපදී. මෙවන් අපූර්ව වූ හිත හොඳ මිනිසුන් මෙතරම් ඉක්මනින් අපෙන් සමුගන්නේ කුමන වරදකටද යන්න සිත තුළ නිරායාශයෙන් නැඟෙන ගැටලුවකි. විනී කලාකරුවකු ලෙස, ගුරුවරයකු ලෙස හරිහම්බ කරගත් දෙයක් නැත.  ඔහු සැමදාම නියෝජනය කෙළේ මේ රටේ පෑගෙන පංතියයි. අගහිඟකම් රැසක් තිබුණත් විනී සැමදා ජීවත්වුණේ සතුටෙනි. හිතේ ප්‍රීතියෙනි. ඒ ඔහු නිර්ව්‍යාජ ගැමියෙක් වූ නිසාය.

ඔහු කිසිදෙයක් ඕනෑවට වඩා ගණන් ගත්තේ නැත. ඔහුගේ ප්‍රිය බිරිය ගුරු උපදේශිකා ශ්‍රියානි මංගලිකාත්, ඔහුගේ එකම පුතණුවන් වන සමුද්‍ර වෙත්තසිංහත් ඔහුගේ ජීවිතයේ වටිනාම වස්තූන් දෙක ලෙස ඔහු සැලකුවේය. දයාබර විනී, මේ ආත්මයේ අප හොඳ මිතුරෝ වූයෙමු. ඔබේ සමුගැන්ම සැබැවින්ම වේදනාවකි. අපේ දහමේ හැටියට ඔබට නිවන් සුව පතන අතර නිවන් දකින්නට පෙර තවත් එක් ආත්මයකදී මෙලෙස සැබෑ ගමේ මිතුරන් ලෙස හමුවීමට ප්‍රාර්ථනය කරමි...!

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා