උතුරු දකුණු කොරියා සාකච්ඡා බිඳ වැටේ

උතුරු දකුණු කොරියා සාකච්ඡා බිඳ වැටේ

තත්ත්වය තවත් උණුසුම් අතට

උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර ගොඩ නැගී ඇති උණුසුම්කාරී තත්ත්වය සමනය කිරීමට පැවැති සාකච්ඡා පෙරේදා (බදාදා) බිඳ වැටී තිබේ. මේ අතර, දකුණු කොරියාව සමඟ තවදුරටත් සාකච්ඡා පැවැත්වීම නිශ්ඵල බව උතුරු කොරියාව ප්‍රකාශ කර තිබේ. මේ සාකච්ඡා බිඳ වැටීම සම්බන්ධයෙන්, නිල ප්‍රවෘත්ති නියෝජ්‍යායතනය තුළින් උතුරු කොරියාව නිල ප5ප්‍රකාශනයක් නිකුත්කර ඇත.

දකුණු කොරියානු ආරක්ෂක ඇමැති සහ ඒකාබද්ධතා ඇමැති ඇතුළු රාජද්‍රෝහි සුළු පිරිසක් සාකච්ඡා කඩාකප්පල් කිරීමට වගකිව යුතු බවට එමඟින් චෝදනා කර තිබේ.  පසුගිය නොවැම්බර් 23 වැනි දින යොංපියොන් දූපතට උතුරු කොරියාව ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව දෙරට අතර පැවැති ප්‍රථම සාකච්ඡා වටය මෙයයි. එම සාකච්ඡා වටය දින දෙකක් පුරා පැවැතිණි. යොංපියොං දූපතට ප්‍රහාර එල්ල කිරීම සහ පසුගිය මාර්තු මාසයේ දී දකුණු කොරියානු යුද නෞකාවක් ගිල්වා දැමීම සම්බන්ධයෙන් උතුරු කොරියාවට සමාව අයදින ලෙස දකුණු කොරියාව ඉල්ලා ඇත.

මෙය ප්‍රතික්ෂේප කරමින් උතුරු කොරියානු නියෝජිත පිරිස සාකච්ඡා මේසයෙන් බදාදා ඉවත්වූ බව වාර්තා වේ. මේ දෙදින සාකච්ඡාවල මූලික අරමුණ වූයේ ඉහළ මට්ටමේ හමුදා රැස්වීමක් පැවැත්වීමේ දිනය සහ එහි න්‍යාය පත්‍රය පිළිබඳව එකඟතාවකට පැමිණීමටයි. උතුරු කොරියාව සාකච්ඡා මේසයෙන් ඉවත්ව යාම නිසා දෙරට අතර අවංක සබඳතා තහවුරු කර ගැනීමට තිබූ හොඳ අවස්ථාවක් ගිලිහී ගිය බව අමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව චෝදනා කර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා