කාන්තාවට ලැබිය යුත්තේ සම තැන නොව නිසි තැනයි

කාන්තාවට ලැබිය යුත්තේ සම තැන නොව නිසි තැනයි

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
පාර්ලිමේන්තු මන්ත්‍රිනී, විශේෂඥ වෛද්‍ය

මෙවර කාන්තා දිනය නිමිතිකොට ගනිමින් ලාංකීය කාන්තාවගේ අද දවස දෙසත්, රට ගොඩනැඟීමේ දී ඇය ගේ භූමිකාව හා තවදුරටත් වර්ධනය විය යුතු තත්ත්වයන් ගැනත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සමඟ කරන ලද සාකච්ඡාවකි.

* ජාත්‍යන්තර කාන්තා දිනයේ මෙවර තේමාව සම්බන්ධ කරමින් ලාංකීය කාන්තාවගේ අද දවස දෙස ඔබ බලන්නේ කොහොමද?

අද ලාංකීය කාන්තාව බොහෝ ක්ෂේත්‍රවලින් ඉහළට ඇවිත්. විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය ගත්තොත් ප්‍රාථමික අධ්‍යාපන මට්ටමේ දී ගැහැනු, පිරිමි අනුපාතය 1:1 වගේ වුණත් උසස් පෙළ, විශ්වවිද්‍යාල මට්ටමට එනකොට කාන්තා නියෝජනය වැඩියි. මේකෙන් පෙනෙන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැහැනු, පිරිමි විසමතාවන් නැති බවයි. සමහර ගැටලු සහගත පවුල්වල දරුවන් පාසල් හැර යාම වගේ කාරණාවලදී ගැහැනු, පිරිමි භේදයක් නෑ. නමුත් මම කියන්නේ කාන්තාවන් වීම නිසා ම විසමතාවකට ලක්වන්නේ නෑ කියන එකයි.

මේ පසුබිම තුළ සාක්ෂරතාවත් 90% වගේ ඉහළ මට්ටමක තියෙනවා. නමුත්, ඇතැම් ක්ෂේත්‍රවල තවමත් යම් පසුගාමී තත්ත්වයක් තියෙනවා. ඇතැම් රැකියා කාන්තාවන්ට නුසුදුසු බවට ඇති ආකල්ප නිසා ඇයට ලැබෙන අවස්ථාව අඩු වෙනවා. නිදසුනක් විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රය මේකට හේතුව කාන්තාව සියුමැලියි. සංවේදියි කියා සිතීමයි. ඒකෙන් වෙන්නේ කාන්තාවට යම් ක්ෂේත්‍රවල ඉහළට එන්න තියෙන ඉඩ ප්‍රස්ථා සීමාවීමයි. පුරුෂාධිපත්‍ය මතවාදයක් තමයි ඒවායෙන් ඉස්මතු වෙන්නේ. ඒ නිසා මේ ආකල්ප නම් වෙනස් වෙන්න ඕන. කාන්තාවක් වීම නිසා ම යම් ක්ෂේත්‍රයක් අසාර්ථක වෙයි කියලා කියන්න බෑ.

ඕනෑ ම ක්ෂේත්‍රයක අසාර්ථක ගැහැනු, පිරිමි දෙකොටස ම ඉන්නවා. සමස්තයක් ලෙස අද අපේ රටේ කාන්තාව හොඳ මට්ටමක සිටිනවා. විශේෂයෙන් මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ එක්සත් ජාතීන්ගේ තේමාව අධ්‍යාපන, පුහුණු, විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍ර සඳහා සම ප්‍රවේශයක් යන්නයි. මෙරට දී අපි කාන්තා දිනය “දේශය නැඟුමට ඇයගේ දැනුම හා ශක්තිය” මැයෙන් විශේෂී තේමාවක් යටතේ සැමරුවා. එම තේමා විග්‍රහ කරන විටත් අපේ කාන්තාවට ඇති තැන ගැන අවබෝධ කර ගන්න පුළුවන්.

* කාන්තාවට පවුල තුළ මෙන්ම සමාජයේ ඉහළ තැනක්, පිළිගැනීමක් ඇතිවීමට අපේ ආගමික පසුබිමත් බලපා ඇතැයි කිව හැකිද?

අම්මා උතුම් කොට සලකන්න අපි පුරුදු, පුහුණු වුණේ ඒ පසුබිම තුළයි. බුදුදහමට අනුව අම්මාට උත්තරීතර තැනක් හිමි වෙනවා. ගෙදර බුදුන් අම්මා හැටියටයි සලකන්නේ. ගර්භණී මාතාවකට වැඩි සැලකිල්ලක් දක්වන්නත් මේ ආගමික හුරුව හේතුවුණා. කිතු දහම ගත්තත්, ජේසු තුමන් ගේ මව, මරිය තුමියට උත්තරීතර තැනක් හිමියි. ඒ අනුව කිතුණුවනුත් අම්මා උතුම් කොට සළකනවා. මේ විදිහට සෑම ආගම් දර්ශනයකම වගේ අම්මාට උතුම් පිළිගැනීමක් ලැබී තිබෙනවා. නමුත්, සංකීර්ණ සමාජ පසුබිමක ඇයට ඇති එම පිළිගැනීම, ගරුත්වය නැති වෙමින් යනවා ද යන කාරණය ගැනත් අපේ අවධානය යොමුවිය යුතුයි. මෙහි දී වතුකරයේ සමාජ පසුබිම, නිදහස් වෙළෙඳ කලාප ආශ්‍රිත තත්ත්වය වගේ නිදසුන් විමසා බලන්න පුළුවන්.

කාන්තාවට සම තැන ලැබිය යුතුයි කියලා කතා කිරීමත් ඇයට ඇති ගරුත්වය උතුම් බව අහිමිවීමට බලපානවා. සම තැන නෙවෙයි, නිසිතැනයි ලැබෙන්න ඕන. අපි අතීතයේ පටන් පුරුදු පුහුණු කළ හොඳ ගුණාංග ඉදිරියටත් පවත්වාගත යුතුයි. ගැබිණි මවක් ඉන්නවා නම් ගමේ අය එයාට කෑමවේලක් දෙන එක එවැනි ගුණාංගයක්. අද මේවා ටිකෙන් ටික මඟහැරෙමින් යනවා. මවට නිසි පෝෂණයක් ලැබීම, දරුවාට මුල් ළමාවිය රැකවරණය, දරු නැළවිලි ගී ආදිය ගැන පවා අද විද්‍යානුකූලව ඔප්පු වන කාරණා ගැන එවැනි තේරුම් ගැනීමකින් තොරව වුණත් අපේ පැරැන්නන්ට හොඳ අවබෝධයක් තිබුණා. යහපත් සමාජයක් ඇති වුණේ ඒ සියල්ල එකතු වීමෙන්.

* මේ කාරණය ඔබටත් සංවේදී වූවක්. තිස් අවුරුදු යුද සමය තුළ දරුවන් අහිමි වූ අම්මලා ගැන, වැන්දඹුවන් ගැන පියවරු අහිමි වූ දූවරු ගැන අපි අවධානය යොමුකළොත්.... එසේම අද මේ තත්ත්වය වෙනස් වෙලා තිබීම ගැනත්...?

යුද්ධය නිසා වගේ ම 87’ – 89’ භීෂණ යුගය නිසාත් මෙවැනි තත්ත්වයක් නිර්මාණය වුණා. යුද්ධයේ දී මේ කාරණය උතුර, නැඟෙනහිරටත් අදාළයි. ඒ ප්‍රදේශවල දරුවෝ රැකගන්න අම්මලාට බැරිවුණා. ඔවුන් බලහත්කාරයෙන් යුද්ධයට ඇදගෙන ගියා. නමුත්, ගරු ජනාධිපතිතුමාගේ නිවැරැදි නායකත්වය යටතේ මෙන් ම අපේ රණවිරුවන් ගේ ඉමහත් කැප කිරීමක් හේතුවෙන් අද යුද බිය තුරන් වෙලා. තවදුරටත් යුද්ධය නිසා කාන්තාව අසරණ වන්නේ නෑ. ඒක විශාල දෙයක්. යුද සමය තුළ දිවිදුන්, ආබාධිත වූ අපේ රණවිරුවන් වෙනුවෙන් රණවිරු සේවා අධිකාරිය විශාල වැඩ කොටසක් කරනවා.

ඒ අතර ම යුද්ධය නිසා පීඩාවට පත් සෙසු අයටත් සාධාරණය ඉටුවිය යුතුයි. බෝම්බවලින් සැමියන් මෙන්ම පියවරු මිය ගිය පවුල්වල වැන්දඹුවන්ට දරුවන්ට ඇති ආර්ථික ප්‍රශ්න ප්‍රබලයි. සමාජය මේ කාන්තාවන් දෙස බලන්නේ වැරැදි ඇසකින්. ඔවුන් කොන් කරනවා. මේ නිසා එවැනි පවුල්වල අම්මලා අසරණ වෙනවා. මානසික පීඩාවට ලක් වෙනවා. එවැනි අය රැක බලා ගැනීම වෙනුවෙනුත් තිරසාර වැඩපිළිවෙළකට අප යා යුතුයි. සමහරවිට රට වෙනුවෙන් ජීවිතය දුන් අය මතක් කරන්න තරම්වත් යොමුවන්නේ නෑ. ඒක කනගාටුදායක තත්ත්වයක්.

* දේශපාලනයේ කාන්තා නියෝජනය ගැන යම් සංවාදයක් සමාජයේ තියෙනවා. ඒත් මෙහි දී අපි තවමත් තෘප්තිමත් මට්ටමකට ළඟා වී නෑ නේද?

අපේ දේශපාලනයේ කාන්තා නියෝජනය හැමදාම වගේ සියයට 4 යි, 5යි. පාර්ලිමේන්තුවේ එවැනි ප්‍රතිශතයක් තිබුණත් පළාත් පාලන ආයතනවල බොහොම අඩු කාන්තා නියෝජනයක් තියෙන්නේ. මේ තත්ත්වයට වත්මන් මැතිවරණ ක්‍රමයත් බලපා තියෙනවා. මේ ක්‍රමය තුළ කාන්තාවනට ඉහළට ඒම ඉතාමත් අමාරුයි. කිසි ම දේශපාලන පසුබිමක් නැත්නම් එය කොහොමත් දුෂ්කරයි. මනාප ක්‍රමය නිසා තරගය විශාලයි. ඡන්ද ව්‍යාපාරයක් මෙහෙයවීමත් කාන්තාවට පහසු නෑ. කාන්තාවක් ඉල්ලනවා නම් මඩ ප්‍රහාරත් වැඩියි. අවුරුදු 5 ක් නිකම් ඉන්න අයත් ඡන්දය කිට්ටු වුණා ම සල්ලි වියදම් කරලා දිනන ක්‍රමයක් තමයි තියෙන්නේ. මේ නිසා පවතින දේශපාලන ක්‍රමය තුළ රැඳෙන එක කාන්තාවට පහසු නෑ.

අනෙක, තමයි කාන්තාවට පැවරෙන භූමිකාව. ඇය මවක හා බිරිඳක ලෙස සිය යුතුකම් ඉටුකරන විට දේශපාලනය කරන්න අමාරුයි. මම වුණත් මුලින් හිතන්නේ හොඳ මවක, බිරිඳක වීම ගැන. අන්තිමට ම මේ දේවල් අත්හැරියාට පසු අපට ඉන්නෙත් පවුල විතරයි. වැඩ අරගෙන බලය වෙනස් වෙද්දී අත්හැරලා දාන සමාජ ක්‍රමයක පවුල අමතක කරලා දේශපාලනය ගැන සිතන්න අමාරුයි. මේවා අපේ රටේ කාන්තාවට පමණක් අදාළ කාරණාත් නෙවෙයි. හැබැයි, අපට සාපේක්ෂව කලාපයේ සෙසු රටවල දේශපාලනයේ කාන්තා නියෝජනය ඉහළයි. මේ ගැන අවධානය යොමුකර අපේ ප්‍රධාන දේශපාලන පක්ෂ තමන් ගේ ජාතික ලැයිස්තුවලින්වත් කාන්තාවන්ට යම් ප්‍රතිශතයක් වෙන් කිරීම ගැන අවධානය යොමු කරනවා නම් හොඳයි.

* අපේ රටේ කාන්තාවට අදාළව තවදුරටත් වර්ධනය විය යුතු තත්ත්වයන් ලෙස ඔබ හඳුනා ගන්නේ මොනවාද?

වතුකරය ගත්තොත් පෝෂණ ගැටලු රැසක් තිබෙනවා. මත්පැන්, මත්ද්‍රව්‍ය ආදිය නිසාත් ඇතැම් පවුල් ඒකක පිරිහිලා. එවැනි පවුල්වල දරිද්‍රතාවත් ඉහළයි. ගෘහස්ත ප්‍රචණ්ඩත්වයත් අවධානයට ලක්විය යුතු කාරණයක්. නිදහස් වෙළෙඳ කලාපය ආශ්‍රිත කාන්තාවන් සහ විදේශ රැකියාවන්හි නියුතු රටට විදේශ විනිමය රැගෙන එන අපේ කාන්තාවන් විශේෂයෙන් අවධානයට ලක්විය යුතු තවත් දෙපිරිසක්. යුද්ධයෙන් පසු නැවත පදිංචි කළ පවුල්වල කාන්තාවන් හා වැන්දඹුවන් ගැනත් විශේෂ අවධානයක් දැක්විය යුතුයි. උපදේශන සේවා ආදිය ලබා දෙමින් ඔවුන් නඟාසිටුවීම වැදගත්. මෙවැනි කාන්තාවන් ආර්ථිකව සවිබල ගැන්වීම සඳහාත් වැඩපිළිවෙළ අවශ්‍යයයි.

පවුලක ආර්ථික කළමනාකරණය බොහෝ විට සිදුවන්නේ කාන්තාවගෙන්. ශක්තිමත් පවුලක් සඳහා එය අවශ්‍යයයි. එය මනාව සිදුවන්නේ ඇය ආර්ථිකව සවිබල ගැන්වීමෙන්. තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ, පරිපාලන තන්ත්‍රයේ ඉහළ තනතුරුවල යම් කාන්තා නියෝජනයක් දැන් දකින්න තියෙනවා. ඒත් දේශපාලනයේ එම නියෝජනය වැඩිවිය යුතුයි. ඇතැම්විට පෞද්ගලික අංශයේ රැකියාවන්ට බඳවා ගැනීමේදී කාන්තාවන්ට අවස්ථා ලැබීමේ සීමාකමක් දකින්න තියෙනවා. හේතුව දරුවකු ලැබීමෙන් පසු මාතෘ නිවාඩු ලබා ගන්නා බව දැන සිටීම. මෙය හොඳ තත්ත්වයක් නෙවෙයි.

පවුලක විශාල බරක්, වගකීමක් කාන්තාවට තියෙනවා. මේ නිසා පවුලක තීරණ ගැනීමේ දී පුරුෂාධිපත්‍යයටම ඉඩදීමත් පවුලේ දියුණුවට බාධාවක්. සහයෝගයෙන් අවබෝධයෙන් ක්‍රියාකිරීමයි වඩා සුදුසු. තවමත් බොහෝවිට පවුල් සංවිධානය වගේ කාරණාවලදී, පුරුෂයාගේ මතයටයි ඉඩ ලැබෙන්නේ. කාන්තාවට තීරණ ගන්න බෑ. පෝෂණය සම්බන්ධයෙනුත් මේ තත්ත්වය දකින්න තියෙනවා. මේවා වෙනස්විය යුතුයි.

මේ බොහොමයක් කාරණ “මහින්ද චින්තන ඉදිරි දැක්ම” මඟින් තේරුම් ගෙන තියෙනවා. ජනාධිපතිතුමා, කාන්තාව සවිබල ගන්වා පවුල ශක්තිමත් කොට, ගම හදා රට හදමු කියන සංකල්පය ක්‍රියාවට නංවන්නේ මේ අවබෝධයෙන් යුතුවයි. දැන් ක්‍රියාවට නංවා ඇති ගෘහ ආර්ථික ඒකක දස ලක්ෂයේ වැඩපිළිවෙළ තුළත් කාන්තාව සවිබල ගැන්වීම ප්‍රමුඛයි. එසේ ම මතින් තොර සමාජයක් සඳහා ක්‍රියාකරන්නෙත් මේ අවබෝධය ඇතිවයි. එනම්, අපි දැන් නිවැරදි ප්‍රවේශය ලබාගෙනයි තියෙන්නේ. සමාජය මීට වඩා ලස්සන කරන්න නම් කාන්තාවට ගරු කිරීමත්, ඇයගේ නියෝජනය ලැබීමත් අවශ්‍යමයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා