රාහුල් ගාන්ධිට අපහාස කළාට රුපියල් මිලියන 5ක වන්දියක්

රාහුල් ගාන්ධිට අපහාස කළාට රුපියල් මිලියන 5ක වන්දියක්

ඉන්දියාවේ නැඟී එන දේශපාලනඥයකු වන රාහුල් ගාන්ධිට ව්‍යාජ ස්ත්‍රී දූෂණ චෝදනා ඉදිරිපත්කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රුපියල් මිලියන පහක වන්දියක් ගෙවන ලෙස ඉන්දීය අධිකරණයක් පෙරේදා නියෝග කළේය. මේ අනුව කිෂෝර් සෑම්රයිට් නම් හිටපු මන්ත්‍රීවරයාට 40 හැවිරිදි ගාන්ධිට අපහාස කිරීමට එරෙහි ව රුපියල් මිලියන පහක් ගෙවන ලෙස නියෝගකර ඇත්තේ ලක්නව් මහාධිකරණය විසිනි.

යම් දිනෙක අගමැතිධූරයට පත්වෙතැයි අපේක්ෂිත, නේරු- ගාන්ධි දේශපාලන පරපුරේ නවතමයා වන රාහුල් ගාන්ධි සහ ඔහුගේ මිත්‍රයන් පස්දෙනකු 2006 දෙසැම්බර් මාසයේ දී 24 හැවිරිදි සුකන්‍යා සිං නම් කාන්තාව සමූහ දූෂණයට ලක්කර ඇති බව සෑම්රයිට් චෝදනා කර තිබිණ. රාහුල්ගේ උපන්බිම වන අමෙති ආසනයේ සංචාරයක නිරත වී සිටිය දී මේ අපරාධය සිදුකර ඇති බව සෑම්රයිට් කියා තිබිණි. නිර්නාමික වෙබ් අඩවියක මෙම දූෂ්‍ය සිද්ධිය වාර්තා වී තිබුණු අතර අදාළ කාන්තාව සොයාගැන්මට දරන ලද ප්‍රයත්නය ව්‍යර්ථ වීමෙන් පසු තමා අධිකරණය හමුවට පැමිණි බව සෑම්රයිට් ප්‍රකාශ කර තිබේ.

මේ චෝදනාව පසුපස දේශපාලන අරමුණක් ඇත් ද යන්න සෙවීමට ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම අවශ්‍යවන බව ද තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අධිකරණයෙන් පැවසී ඇත. සෑම්රයිට් ප්‍රාදේශීය සමාජවාදී පක්ෂයට අයත් හිටපු මන්ත්‍රීවරයෙකි. සමාජ ක්‍රියාකාරිකයකු ලෙස ස්වයං හැඳින්වීමක් කරගන්නා ඔහු මධ්‍ය ප්‍රාදේශ් ප්‍රාන්ත මන්ත්‍රීවරයෙකි. සුකන්‍යා සිං අධිකරණය හමුවේදී කියා සිටියේ ගාන්ධිගෙන් එවන් අතවරයක් තමන්ට සිදු නොවූ බවය. වන්දි මුදලින් මිලියන 2ක් ගාන්ධිට ද මිලියන 2.5ක් සුකන්‍යාට ද ඉතිරිය පොලිසියට ද ගෙවන ලෙස නියෝග ලැබී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා