මෙරට අසම්මත නාට්‍ය කලාව අවුලක හිරවෙලා

මෙරට අසම්මත නාට්‍ය කලාව අවුලක හිරවෙලා

ප්‍රවීණ රංගනවේදී මු. දු. රංජිත් ද සිල්වා

ශ්‍රී ලාංකේය වීදි නාට්‍ය කලාවේ මූලාරම්භක ආචාර්ය ගාමිණි හත්තොටුවගමගේ විවෘත වීදි නාට්‍යය කලාව හරහා වේදිකා නාට්‍යය ක්ෂේත්‍රයට සම්බන්ධ වූ මු. දු. රංජිත් ද සිල්වා සිනමා හා රූපවාහිනි රංගන ශිල්පියෙක් ලෙස දක්ෂතා දැක්වූවෙකි. මෑතකදී ඔහු විසින් පරිවර්තනය කරන ලද ඉයුජින් අයනෙස්කෝගේ නාට්‍ය පිටපත “ගැලවෙන්නේ කොහොමද” නමින් සිංහලට පරිවර්තනය වුණි. මේ සංවාදය ඒ ආශ්‍රයෙන් අසම්මත නාට්‍ය කලාව පිළිබඳවය.

* ඔබ රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වීම සඳහා අතිශය කැපකිරීම් කළ යුතු තාරකා ගුණය නොමැති වීදි නාට්‍යය කලාව තෝරා ගත්තේ ඇයි?

මම උසස් පෙළ විභාගයට පෙනී සිටියට පස්සේ කොළඹ ආවා වරලත් ගණකාධිකරණ පන්තියකට. එහිදී කුලසිරි බුදවත්ත මහතාගේ නැටුම් ඉගෙන ගෙන වෙස් නැට්ටුවෙක් බවටත් පත්වුණා. අධ්‍යාපන කටයුතුවලට සහභාගි වන ගමන් නගරයේ තිබෙන විවිධ සංස්කෘතික ක්‍රියාකාරකම්වලටත් මම සම්බන්ධ වෙනවා. එහෙම වතාවක් මට අහම්බෙන් වගේ වීදි නාට්‍යයක් දකින්න ලැබුණා. ගාමිණි හත්තොටුවගම මහතාගෙන් විවෘත වීදි නාට්‍යය කණ්ඩායමට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ඉල්ලුවත් එකපාරටම අපිට නාට්‍යය සාමුහිකයට බඳවා ගත්තේ නැහැ. වැඩමුළුවකින් පස්සේ එකසිය පනහකින් පමණ දෙදෙනෙක් බඳවා ගත්තා. මමත් ඒ දෙදෙනාට අයත් වුණා.

* රංගනය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම්, අධ්‍යාපනවේදියෙක් විදිහට ඉදිරියට යාමේදී වැදගත් වුණේ කොහොමද?

මම උසස් පෙළට අධ්‍යාපනය ලැබුවේ ගණිත අංශයෙන්. නමුත් විශ්වවිද්‍යාල උපාධිය ලැබුවේ ව්‍යාපාර සංඛ්‍යානයට. ආසාවට රංගනය ඉගෙන ගත්තට ඒ පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් මුල් අවදියේ තිබුණේ නැහැ. පසුකාලීනව කෙළවරක් නැති නාට්‍යය කලා වැඩමුළු රාශියකට සම්බන්ධවීම නිසා නාට්‍යය කලාව පිළිබඳ ප්‍රායෝගික මෙන්ම මූලධර්ම පිළිබඳ දැනුමක් ලැබුණා. නාට්‍යකරණය පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් ලැබීමට පශ්චාත් උපාධිය සඳහා අයදුම් කළත් මූලික උපාධිය නාට්‍යකරණයට අදාළ නොවීම නිසා මුල් වටයෙන්ම එම අයදුම්පත ප්‍රතික්ෂේප වුණා. නමුත් එම ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අත්දැකීම් ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් මාව එම පශ්චාත් උපාධි පාඨමාලාවට තෝරා ගනු ලැබුවා.

* වීදි නාට්‍ය කලාව දීර්ඝ කාලීන පරිචයක් ලැබුවෙක් විදිහට ඔබ එම නාට්‍යය කලාව හා අසම්මත රංගනය අතර දකින සම්බන්ධය කුමක්ද?

වීදි නාට්‍යය කලාව සම්මත වේදිකාවට එරෙහිව ගොඩනැඟුණත් නාට්‍යය කලාවේ දක්නට ලැබෙන සෑම ලක්ෂණයක්ම පාහේ වීදි නාට්‍යය කලාව තුළත් දක්නට ලැබෙනවා. නමුත් ප්‍රොසීනියම් වේදිකාවේ දක්නට ලැබෙන සුසාධිත බව එහි ඇතුළත්ව ඇත්තේ නැහැ. අසම්මත රංගනය වෙනමම වර්ධනය වූ රංගන ක්‍රමවේදයක්. එහි ඇතැම් ලක්ෂණ වීදි නාට්‍යය කලාවට ඇතුළුවෙලා තිබෙනවා. හත්තොටුවගම මහතාගේ “වෙසක් දැක්ම” වීදි නාට්‍යයේ තාත්විකත්වයෙන් බැහැරවන අසම්මත ලක්ෂණ රාශියක් දක්නට ලැබෙනවා. සම්මතය තුළ තිබෙන පීඩනය, දරිද්‍රතාවය අසම්මත රංග ශෛලිය තුළින් නිරූපණය කිරීමේ පොදු ගතිලක්ෂණයක් ලාංකික වීදි නාට්‍යය කලාව තුළ තිබෙනවා.

* අයනෙස්කෝ සිංහල වේදිකාවට වඩාත්ම බලපෑමක් ඇති කළ බටහිර නාට්‍යකරුවා වීම පරිවර්තන සඳහා පිටපතක් තෝරා ගැනීමේදී බලපෑවාද?

අයනෙස්කෝගේ බොහෝ නාට්‍ය සිංහලට පරිවර්තනයවී හා නිෂ්පාදනයවී තිබෙනවා. “ගැලවෙන්නේ කොහොමද?” ඔහුගේ නාට්‍යය අතරින් වඩාත් දීර්ඝතම නාට්‍යය වෙනවා. එනිසාද කියන්න බෑ බොහෝ දෙනෙක් මේ පිටපත පරිවර්තනය කරන්න ඉදිරිපත් වුණේ නැහැ. මම මේ නාට්‍යය පිටපත කෘතියක් ලෙස ඉදිරිපත් කිරීමේදී නාට්‍යය පිටපතට අමතරව අසම්මත නාට්‍යය කලාව පිළිබඳ සවිස්තරාත්මක රචනාවක් ද ඇතුළත් කළා. අයනෙස්කෝගේ නාට්‍යය පිටපතක් තෝරා ගත්තේ ඔහුගේ ප්‍රතිරූපය මත නෙවෙයි. නමුත් අයනෙස්කෝගෙන් වෙන්කර අරගෙන අසම්මත නාට්‍ය කලාව ගැන කතා කරන්න බැහැ.

* ඔබ විසින් පරිවර්තනය කරන ලද අයනෙස්කෝගේ නාට්‍ය සුදත් මහදිවුල්වැව “සහතික නොකළ මරණියක්” නමින් වේදිකාවට ගෙනැවිත් තිබෙනවා. මේ දෙක එක හා සමකාලීනව සිදුවන්නේ විකාරරූපී නාට්‍යයවල දක්නට ලැබෙන අනිවාර්ය අහම්බයක් ලෙස ද?

ඔව්. එය එක්තරා විදිහක අහම්බයක්. මම මේ නාට්‍යය පරිවර්තනය කළේ 2006 දී, මගේ පශ්චාත් උපාධි නිබන්ධනය සඳහා. පසුගියදා සිදුවුණේ එහි මුද්‍රිත පිටපතක් වශයෙන් එළිදැක්වීමයි. දිවුලාගේ ව්‍යායාමය නිසා මගේ නිර්මාණයටත් ආලෝකයක් ලැබුණා. ඒ ගැන ඔහුට ස්තුති කළ යුතුයි.

* ශ්‍රී ලාංකේය අසම්මත නාට්‍යය කලාව යනුවෙන් හඳුනාගත හැකි සුවිශේෂ වූ නාට්‍යය කලා ප්‍රවණතාවයක් තිබෙනවාද?

හැටේ දශකයේ අගභාගයේ සුමන ආලෝක බණ්ඩාර නිෂ්පාදනය කළ “නිදි කුම්බා” නාට්‍යයෙන් පටන් ගත්විට ඉතා විශාල ස්වතන්ත්‍ර අසම්මත නාට්‍යය කලාවක් අපට තිබෙනවා. පතිරාජ එල්. එස්. දයානන්ද, එස්. කරුණාරත්න, සයිමන් නවගත්තේගම, කපිල කුමාර කාලිංග, රොයිස්ටන් ජූඩ්, ප්‍රසන්න ජයකොඩි ආදීන් මෙරට ප්‍රමුඛතම ස්වතන්ත්‍ර අසම්මත නාට්‍යය රචකයින් ලෙස හැඳින්විය හැකියි. ඔවුන් සියලු දෙනාටම විදේශීය අසම්මත නාට්‍යය කලාවේ පෙළඹවීම බලපා තිබෙනවා. මෙම ආභාෂයෙන් බිහි වූ සාර්ථක නාට්‍යය මෙන්ම අසාර්ථක නාට්‍යයන් ද තිබෙනවා. ප්‍රසන්න ජයකොඩිගේ “සෙවනැලි සහ මිනිස්සු” සාර්ථක ස්වතන්ත්‍ර අසම්මත නාට්‍යයක්. ඒ වගේම ශෛලිගත හා යථාර්ථවලදීත් අසම්මත ලක්ෂණ දක්නට ලැබෙනවා. වර්තමාන ලාංකීය තරුණ නාට්‍යකරුවන් බොහෝ දෙනෙක්ගේ නාට්‍යවල අසම්මත ලක්ෂණ දක්නට ලැබෙනවා. ඒ අනුව නුතන දේශපාලනයට තවත් ආකාරයකින් දක්වන ප්‍රතිචාරයක් බවට අසම්මත රංග ශෛලිය පත්ව තිබෙනවා. නමුත් ඔවුන් ස්වාධීන කියැවීමක නිරත නොවීම නිසා ලාංකික අසම්මත නාට්‍යය කලාව අවුලක සිරවී සිටිනවා.

* අසම්මත නාට්‍යය කලාව තුළ ශූන්‍යතාවය ඔසවා තැබීමක් දක්නට ලැබෙනවා නේද?

මතුපිටින් බැලුවහොත් අසම්මත නාට්‍යය තුළ ශූන්‍යතාවාදයක් දක්නට ලැබෙනවා යැයි කිව හැකියි. නමුත් ගැඹුරට කල්පනා කළොත් එතැනින් නොනැවති ඉදිරියට යා යුතුය යන පහන් සංවේගයක් අසම්මත නාට්‍යවලින් කියැවෙනවා. මෙවැනි නාට්‍යවල එක් නිශ්චිත අවසානයක් වෙනුවට විකල්ප කිහිපයක් යෝජනා කරන්නේ ඒකයි. පේ‍්‍රක්ෂකයා පුළුල් කියැවීමක නොමැති නම් එම නාට්‍යමය හරය මතුකරගත නොහැකියි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා