ගුවන් විදුලි නාට්‍ය නැවතත් ජනතාවට සමීප කළ යුතුයි

ගුවන් විදුලි නාට්‍ය නැවතත් ජනතාවට සමීප කළ යුතුයි

තිලකරත්න අධිකාරි

තිරපිටපත් රචක

ශක දෙකකට අධික කාලයක සිට තිරපිටපත් රචකයෙක් ලෙස හා රංගන ශිල්පියකු ලෙස නමක් දිනාගෙන සිටින තිලකරත්න අධිකාරි සමඟ කළ සංවාදයකි මේ.

* ඔබ මීට කලකට පෙර තිර කතා රචකයකු ලෙස රට තුළ ප්‍රකට නමක් දිනාගත් අයෙක්. එදා ඔබ තිලක් අධිකාරි ලෙසයි ප්‍රකටව සිටියේ. එහෙත් අද ඔබ හඳුන්වනු ලබන්නේ තිලකරත්න අධිකාරි නමිනුයි. ඔබේ නම් මාරුවට හේතුව මොකක්ද?

මට වඩාත් හිතවත් අයෙක් තමයි කීවේ ඔබගේ තිලක් කියන නමට වඩා තිලකරත්න කියන නම හොඳයි කියලා. ඒ අනුව තමයි මා තීරණ කරන්නේ මගේ නම තිලකරත්න අධිකාරි කියලා වෙනස් වෙන්නේ ඒ විදිහටයි. ඒ වගේම මා දිගු නිහැඬියාවකින් පසුව තමයි යළිත් කලා ක්‍ෂේත්‍රයට එන්නේ. ඒ නිසාත් මේ නම් වෙනස වඩාත් ගැලපෙනවා කියලා මා සිතන්නේ.

* ඔබගේ කලා පසුබිම ගැන පැහැදිලි කිරීමක් සිදුකළ හැකි ද?

එදා ටීටර් සංස්කෘතිය රට තුළ ඉතාමත් ජනපි‍්‍රය කලා අංගයක්ව තිබුණා. මගේ අයියලා, වැඩිමහල් මිතුරන් මේවායේ රඟපෑවා. අපිත් පුංචි ළමයි විදිහට මේවා ඉතාමත් ආශාවෙන් රඟපෑවා. පාසල් වේදිකාව තුළත් මා රඟපෑවා. එම රඟපෑම් ගැනත් මගේ ගුරුවරු ඇගැයීම් කළා. ඒ සියල්ල නිසා මට කලාව ගැන විශාල ආශාවක් ඇති වුණා. එදා ඇති වූ ඒ ආශාව නිසා තමයි මා මෙතරම් කලා ක්‍ෂේත්‍රයේ දුරක් ආවේ. කුණ්ඩලකේෂි, සොල්දාදු උන්නැහේ යන චිත්‍රපටවලට හා එයට අමතරව පසුකාලීනව ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයට පැමිණීමේදී බර්ට්‍රම් නිහාල් මහතා සහයෝගය ලැබුණා. මේ කාලය තුළ මගේ ජීවන වෘත්තිය වූණේ පාසල් නාට්‍ය දර්ශනවාර පැවැත්වීමයි.

* ඔබ කාලයක් පුද්ගලික ගුවන් විදුලියක පිටපත් රචකයකු විදිහට වැඩ කළා. මේ ගැන සිහිපත් කළ හැකිද?

ඔව්. මා පුද්ගලික ගුවන් විදුලියකට සම්බන්ධව ගුවන්විදුලි නාට්‍ය රචකයකු විදිහට දිගු කාලයක් කටයුතු කළා. ඒ කාලයේදී මේ ගුවන් විදුලි නාට්‍ය ඉතාමත් ජනපි‍්‍රය වුණා. ඊට අමතරව මෙම කාලය තුළ දී වෙළෙඳ දැන්වීම් රැසකට ද හඬ කවනු ලැබුවා.

* ඔබේ දෙවන ආගමනයෙන් පසු මොන විදිහේ ටෙලිනාට්‍ය වලටද දායක වෙලා තිබෙන්නේ ?

මා විසින් රචනා කළ තිර පිටපතක් අනුව සැකැසුණු ‘පුංචි අස්සයා’ ටෙලි නාට්‍යයේ කටයුතු දැනටමත් ආරම්භ කර අවසන් අදියරේ තිබෙන්නේ. එය ඉතාමත් නුදුුරු දිනෙකදී සිරස රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරය වීමට නියමිතව තිබෙනවා. මෙහි කතා තේමාවට මුල් වී තිබෙන්නේ ළමුන් ගේ ජීවිත ආශි‍්‍රත කතා පුවතක්. ඒ වගේම දියතක සෙනෙහස 1 දිව්‍ය පාරමි නමින් තවත් ටෙලි නාට්‍යකටත් තිරකතා පිටපතක් නිර්මාණය කර දී තිබෙනවා. එම ටෙලිනාට්‍යයේ වැඩ කටයුතුත් ආරම්භ වීමට නියමිතයි.

* ඔබට රංගන ශිල්පියකු ලෙසද යම් හැකියාවක් තිබෙනවා. මේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැතිද?

මාත් ආසයි මගේ රංගන හැකියාවෙන් ප්‍රයෝජනයක් ගැනීමට. ඉදිරියේදී යළිත් තිලකරත්න අධිකාරි කියන තිර පිටපත් රචකයාට වැසී සිටි රංගන ශිල්පියත් ඉස්මතුවේවි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා