ඉතා පැරැණි සිංහල බණ කතා

ඉතා පැරැණි සිංහල බණ කතා

කරකොළ දන්දුන් කථාව

හෙළදිව ගිරිවාජන පදයෙහි භයක් උපන් කල්හි පිරිසුදු ශීලයෙන් යුත් භාවනානුයෝගී වූ ශාන්ත සිත් ඇති භික්ෂූහූ සත් දෙනෙක් චෛත්‍යවන්දනාවේ යාමට අදහස් කළහ. (3) එසේ සිතූ ඔවුහු එකඟව පාත්‍ර සිවුරු රැගෙන මහ මඟට බැස්සාහ. (4) ආහාරයෙන් පීඩිතව යන ඒ භික්ෂූහු දුරදීම කිරිවෙහෙර දුටුවාහ. (5) එය ගමකැයි සිතා “පුණණවේර්‍ධලු” ගමට පැමිණියහ. එහි පිඬු පිණිස හැසිරෙන ඔවුන්ට එය මිනිසුන් අත්හැර ගිය ගමක් බවත් එකම මහලු දුගී ස්ති‍්‍රයක් කරකොළ කමින් එහි ජීවත් වන බවත් දකින්ට ලැබුණි. (7) ඒ භික්ෂූන් ඇය වෙත පැමිණ සිටි විට ඕ තොමෝ ඒ සන්නමට කරකොළ තම්බා දුණි. (8) නැවත තමා සඳහා කරකොළ කඩන්නට ගිය විට පොලඟෙක් ඇයට දෂ්ට කෙළේ ය.

එයින් මරණයට පත් ඕ තොමෝ දඹදිව පාටලීපුත්‍රයෙහි උපණි. (9) ඕ සතළිස්කෝටියක් ධනය ඇති සිටුවරයෙකුගේ දුවක් ව ඉපද සුවසේ වැඩුණි. (10) ඒ භික්ෂූහු ගව් හැට හතරක් ගමන්කොට මැහැල්ලියගේ කරකොළ අනුභව කළහ. නැවත සූසැට ගව්වක් ගමන්කොට මාගමදී දන් වැළඳූහ. (11) එතැනින් විසිඅට ගව්වක් ගොස් නැව්තොටෙහි දී අනුභව කළහ. මෙසේ යම්තම් ආහාරයකින් යැපෙමින් ගොස් නැව් නැඟ මූදෙන් එතෙරට ගියහ. (12) ඉක්බිති ක්‍රමයෙන් ගම් නියම්ගම් පසුකරමින් ගොස් අවුරුදු දහසයක් ගත වූ පසු පැළලුප් නුවරට පැමිණියහ. (13) එහි පැමිණි ඔවුහු පෙරවරු කාලයෙහි සිවුරු පොරවා පාත්‍ර අත්වලින් ගෙන වීථියට බැස්සාහ.

(14) ඒ අවස්ථාවෙහි රූප සම්පන්න වූ යථෝක්ත සිටු දුව උඩුමහලට නැඟී කවුළුව විවෘත කොට වීථිය දෙස බැලීය. (15) එසේ බැලූ සිටුදුවට ප්‍රියශීලී දක්ෂිණාර්හ වූ භික්ෂූන් දකින්නට ලැබී ජාතිස්මරණ ඥානය (පෙර භවය දැනීම) ඇති විය. (16) පෙර තමා කරකොළ දන් දුන්නේ මේ භික්ෂූන්ට යයි දැනගත් ඕ තොමෝ දාසියක් අමතා “මේ භික්ෂූන් මේ ගෙට කැඳවාගෙන එව“ යි කීය. (17) ඒ දාසිය වහා ගොස් භික්ෂූන්ට ගෞරව දක්වා “ස්වාමීනි, මේ සිටාණන් ගේ දියණිය ඔබ වහන්සේට මේ ගෙට වඩින සේ ආරාධනා කෙරේ” යයි කීය.

(18) එවිට ඒ භික්ෂූහු “සොඳුර, අපි ආගන්තුකයෝ වෙමු, මේ නුවරට ආ ප්‍රථම වාරය මෙයයි. අදම මෙහි පැමිණි අප අඳුනන්නෙක් මෙනුවර නැතැ”යි කීය. (19) දාසිය හැරී ගොස් ඔවුන් කී දෙය සිටුදුවට දැන් වීය. එවිට ඕ තොමෝ “මා උන්වහන්සේලා හඳුනන බව කියව“ යි කියා දාසිය නැවත පිටත් කළා ය. (20) ස්වාමිනියගේ කීම ඇසූ ඒ ඟසිය නැවත භික්ෂූන් වෙත ගොස් මෙසේ කීය. (21) ස්වාමිවරුනි, ඔබ වහන්සේ නොදන්නා නමුත් සිටුදුව ඔබ හොඳින් හඳුනයි. එබැවින් ඈට අනුකම්පා පිණිස ඒ ගෙට වඩිනු මැනවැ” යි

(22) ඒ භික්ෂූහු ආරාධනාව පිළිගෙන ඒ ගෙට ඇතුල්ව ආසනවල හිඳ ගත්හ. (23) ප්‍රණීත ආහාර වළදවා පාත්‍ර සේදූ පසු සිටුදුව මෙසේ කීය. (24) ස්වාමිවරුනි, ඔබ වහන්සේ බොහෝ දුර සිට පැමිණියා හ. අතර මඟදී දුකට පත් නොවූවා හු ද ? ලංකාද්වීපයෙහි බුදු සසුන බැබළෙමින් පවත්නේ ද ? (25) “ඔබ උත්පත්තියෙන් තරුණය, බොහෝ දුර තිබෙන රටක ප්‍රවෘත්ති විචාරන්නෙහි, අප ද හොඳින් දනී. මේ කරුණු අපට විස්තර කොට කිව මැනවැ” යි භික්ෂූහු කීය. (26). “ස්වාමිනි, මින්පෙර ආත්මයෙහි මම වේසීගම (?) විසුවෙමි.

කරකොළ තම්බා ඔබට දන් දුනිමි. (27) ඔබ වහන්සේට කරකොළ දී නැවත කොළ කඩන්නට ගිය මම සර්පයෙකු විසින් දෂ්ටකරන ලද බැවින් එයින් චුතව මේ සිටු කුලයෙහි ඉපද හැම සම්පත්තියෙන් යුක්තව වැඩෙමි. (29) ලුණු නැති, තෙලෙන් බැදීමක් නැති කරකොළ, දන් පිළිගැනීමට යෝග්‍යතැන්හි දී මම මේ සැපතට පත්වීමි, මට කිසිවකින් අඩුවක් නැත. (30) මෙසේ දක්ෂිණර්හයන් කෙරෙහි දෙන ලද ස්වල්ප වූ දානයත් සාරවත් කුඹුරක වැපුරූ ධාන්‍යමෙන් මහත් ඵල උපදවයි.

ඕ තොමෝ ඒ භික්ෂූන්ගෙන් එක් එක් නමට නැළි හතරක් පමණ වූ රන්මල් ද සුවඳ සුණු විලවුන් සාදිලිංගම් සුවඳ දුම්කුඩු පහන් තෙල් ආදිය ද බෝධි පූජාව සඳහා දුණි. ගැල්වල පිර වූ මාර්ගෝපකරණ ද මිනිසුන් සමඟ යැවී. මහබෝ වැඳ හැරී ආ ඒ භික්ෂූන්ට ජීවිතාන්තය දක්වා උපස්ථාන කළා ය. ඒ සන්නමද රහත් බවට පැමිණ එහිදීම පිරිනිවියහ. සිටුදුවණියත් ජීවිතාන්තය දක්වා කුසල් කොට දෙව්ලොව උපණි.

පොල්වත්තේ බුද්ධදත්ත මහ නාහිමියන්ගේ
‘ඉතා පැරැණි සිංහල බණ කතා’ පොතෙන් උපුටා ගැනිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා