සමාධිය

සමාධිය

මෙම ලිපියේ මුල් කොටස පසුගිය සතියේ පළ විය.

අන්‍ය දෘෂ්ටිකයන්ගේ සමාධිය හෝ ධ්‍යානය ‘මිථ්‍යා සමාධිය’යි කිය යුතු නොවේ. මිථ්‍යා සමාධිය නම් අකුසල් සිත්හි ඇති ඒකාග්‍රතාවයයි අප විසින් යට දක්වන ලදී. එය බෞද්ධයන්ට ද ඇත්තේමය. අපේ පොත්වල ධ්‍යාන ලැබීමට අරමුණු වශයෙන් පස් දිය ගිනි වාතය, නිල්වන් පැහැය, රන්වන් පැහැය, රතු පැහැය, සුදු පැහැය ආදිය දක්වන ලදී. ඒවා එක් ආගමකට අයත් දේවල් නොවෙති. කාටත් සාධාරණ වූ සිත එකඟ කර ගැනීම සඳහා වූ ද්‍රව්‍ය වෙති. පූර්ව භවයෙහි පුරුදු කරන ලද සමාධි ඇත්තන් හට කලවිටක් හෝ දැල්වෙන ගින්නක් හෝ වැව් පොකුණු ගංගාදියෙහි ජලස්කන්ධයක් හෝ දුටුවිට ද ඒ ඒ අරමුණෙහි සිත පිහිටුවා සමාධිය ඉපදවිය හැකියයි දක්වන ලද හෙයින් ලෝකය තුළ සිත එකඟකර ගැනීමට උපකාර වූ දහස් ගණන් ද්‍රව්‍යයන් ඇති බව පෙනේ.

පූර්වයෙහි ලක්දිව අහසේ ගමන් කළ ධ්‍යානලාභී සෘද්ධිමතුන් නිසා වී වේලා ගැන්මට බාධා පැමිණියාහයි නූගත් මිනිසුන් අතර පවත්නා කථාව නුවණින් කරුණු සලකන කිසිවකු විසින් පළිගැන්ම නොහැකියි. නමුත් මේ කථාවෙන් තේරුම් ගත යුතුව තිබෙන්නේ පූර්වයෙහි ලක්දිව බොහෝ සෘද්ධිමතුන් සිටි බවයි. චිත්ත සමාධිය ඇතිකර ගැන්මට සමර්ථ වූ බොහෝ සිංහලයන් පූර්වයෙහි සිටි නමුත් දැන් වික්ෂිප්ත නොවී පැය ගණනක් එක් වැඩක යෙදී සිටින්ට සමර්ථ වූ සිංහලයකු සොයා ගැන්ම ද අමාරුවෙන් කටයුතුව තිබේ.

බෞද්ධ ධර්මයෙහි දැක්වූ ලෙස සමාධි ඉපදවීම සඳහා අරමුණු වශයෙන් ගත යුතු කමටහන් (කම්මට්ඨාන හෝ කර්මස්ථාන = භාවනා කර්මයට කාරණයෝ) සතළිස් දෙනෙක් දක්වන ලදහ. එනම් කෂිණයෝ දශ දෙනෙක, අසූභයෝ දශ දෙනෙක, උනුස්සතීහු දශ දෙනෙක, මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා යන බ්‍රහ්ම විහාරයෝ සතරදෙනය, අරූපධ්‍යාන සතරය, පටික්කුලසඤ්ඤාය චතුධාතුවවත්‍ථානය යන මොහුයි. මොවුන් අතරෙන්

1. බුද්ධානුස්සති 2. ධම්මානුස්සති, 3. සංඝානුස්සති, 4. සීලානුස්සති, 5. චාගානුස්සති, 6. දේවතානුස්සති, 7. මරණානුස්සති, 8. උපසමානුස්සති යන අනුස්සති අටදෙන හා 9. පටික්කුලසඤ්ඤා, 10. චතුධාතුවවත්‍ථාන යන කමටහන් වැඩීමෙන් උපචාරසමාධිය පමණක් ලැබිය හැකිවේ. අර්පණා සමාධිය නොලැබිය හැකි, ප්‍රථමාදි ධ්‍යාන වශයෙන් ගණිනු ලබන්නේ අර්පණා සමාධියයි.

එබැවින් මෙකී කමටහන් දශය වැඩීමෙන් කිසියම් ධ්‍යානයක් නොලැබිය හැකි බව දත යුතුයි. මේ දශය හැර ඉතිරි කමටහන් තිසම ධ්‍යාන ලබාදීමෙහි සමර්ථ වෙයි. එහිද කායගතාසතිය හා දශ අශුභයෝ ප්‍රථමධ්‍යානය පමණක් එළවන්නාහ. මෙත්තා කරුණා මුදිතා යන මොහු ප්‍රථම චිතීය – තෘතීය ධ්‍යානයන් එළවත්. ඉතිරි වූ ආණාපාණසතිය හා කසිණයෝ දශ දෙන ප්‍රථම - චිතීය – තෘතිය – චතුර්ථ යන සියලු ධ්‍යානයන් එළවත්. එබැවින් මෙහිදී සියලු ධ්‍යානයන් ඉපදවිය හැකි අරමුණු ගැන විස්තරයක් කිරීම වටී.

කමටහන් වඩනු කැමැත්තහු විසින් පළමුකොට විවේකස්ථානයක් සොයාගත යුතුයි. (භාවනාවට අයොග්‍ය වූ තැන් විශුද්ධි මාර්ගයෙහි විස්තර කරන ලදහ. ඇතැම් කෙනෙක් ඒ විස්තරයම බලා මේ දෝෂයන්ගෙන් දුරුවූ භාවනාවට යෝග්‍ය ස්ථානයක් සොයා ගැනීම පහසු වැඩක් නොවේයයි සිතා මුලදීම පසු බසිත්. භාවනාවට යොග්‍ය වූ තැන් සොයා ගැන්ම මේ සිතන තරම් බැරෑරුම් නොවේ. ඊට යෝග්‍ය වූ තැන් ලක්දිව බොහෝ වෙති.) ආවාසය, කුලය, ලාභය, ගණය ආදී පළිබෝධයෝ දුරුකටයුත්තාහ. එහි සියලු විස්තරය විශුද්ධිමාර්ගයෙන් දත යුතුයි. 1. පඨවීකසිණය සෑදීමට නානාවර්ණ ඇති මැටි නොගෙන ගල් මුල් ආදියෙන් තොර වූ අරුණවත් මැටි ගත යුතු යයි දක්වන ලදී.

මේ වනාහි වර්ණය බලා සිහියේ තබාගෙන වඩන්නා වූ වර්ණකසිණයක් නොවේ මෙහි ඇතුළත්ව තිබෙන්නේ පස්යයි සිතාගෙන වැඩිය යුත්තකි. නානා වර්ණවත් පස් ඇතත් පසේ සාමාන්‍ය වර්ණය අරුණවන් හෙයින් අරුණවන් මැටි ගැනීමට නියමකරන ලදැයි සිතිය යුතු. එබැවින් නිල – රතු - සුදු – කසා පැහැති මැටි නොගෙන අරුණවන් මැටි පමණක් ගෙන ගල් – වැලි - මුල් - රොඩු ඉවත්කොට තමන් කැමැති තැනකට ගෙන යා හැකි වෙන සේ ලී කෑලි සතරක වස්ත්‍රයක් හෝ සමක් හෝ අන්කිසි පැදුරුකැබලි ගෝනි කැබලි ආදියක් හෝ බැඳ ඒ මත්තෙහි එකී පස් ජලයෙන් හනා පුරවා එක් වියත් සතරඟුල් පමණ පළල ඇති සේ වටකොට සෑදිය යුතුයැයිද, එතනම තිබෙන්ට නම් පොළොවේ පියුම්කෙමියක් මෙන් සිටින්ට ලී කෑලි සිටුවා ඒ මත්තෙහි පස් දමා සෑදිය යුතු යැයි ද දක්වන ලදී. මෙහි උසද එක්වියත් සතරඟුල් පමණයි.

මැටි මඳක් වියලුණු පසු මට්ටම් වූ ගලකින් උළා කසිණයේ මුහුණත සමකොට එක් වියත් සතඟුල් පමණ වූ ම ආසනයක හිඳ පෘථිවි නාමයන් අතුරෙන් තමාට රුචිවූ නාමයක් කියමින් භාවනාව කළ යුතුයයි දක්වන ලදී. මෙහි හිඳිනා ආසනය ද කසිණය ද සම ප්‍රමාණ වූ උසින් පිහිටිය යුතු බව දැක්වීම පිණිස එක් වියත් සතරඟුල් ප්‍රමාණය දක්වන ලදී. ආසනය උස් වී කසිණය පහත් වුවහොත් බෙල්ල නමා බැලිය යුතුවෙයි. ආසනය මිටි වී කසිණය උස්වුවහොත් බෙල්ල ඔසවා බැලිය යුතුවෙයි. දෙකම මීට වඩා මිටිවුවහොත් පාදෙක නමා හිඳිය යුතු හෙයින් අයෝග්‍ය වෙයි.

ආසනය හා කසිණය යන දෙකම සමප්‍රමාණයට උස්වීමෙහි වරදක් නොකියන ලදී. මෙහිදී තම තමන්ගේ සිත් එකඟ කර ගැන්මට පහසු ක්‍රමයම සොයාගත යුතුයි. තවද ලීකෑලි උඩ සෑදිය යුතු යයි පොතෙහි කී පමණින් අන්‍ය ද්‍රව්‍යයන් තහනම් කරන ලදැයි නොසිතිය යුතු. කොයි ආකාරයකින් නමුත් එක්වියත් සතරඟුල් පමණ කොට අරුණවන් මැටියෙන් පුරවන ලද මුහුණත සම වූ නිමිත්තක් සම්පාදනය කරගැන්ම මෙහි අදහස් කරන ලදැයි දත යුතු.

2. ආපෝකසිණය නම් එක් වියත් සතරඟුල් පමණ ඇති වටවූ යම්කිසි භාජනයක පිරිසිදු ජලය පුරවා ඒ ජලය භාවනාවට නිමිත්ත කර ගැනීමයි.

3. තෙජෝකසිණය නම් දැල්වෙන්නා වූ ගින්නක් සමීපයෙහි යටකී ප්‍රමාණ වූ සිදුරක් ඇතිවෙන සේ කපන ලද පැදුරක් හෝ අන් කිසිවක් එල්වා නැතහොත් ලෑල්ලක එතරම් සිදුරක් කපා ගින්න ඉදිරියෙහි තබා ඊට මෑතින් හිඳ ඒ සිදුරෙන් පෙනෙන ගින්න නිමිත්ත කොට ගැනීමයි.

4. වායෝකසිණය සමවූ මුදුන ඇති ගසක පත්‍ර සෙලවෙන කල්හිද බිත්ති සිදුරකින් හෝ කවුළුවකින් වාතය ඇතුල් වී තමාගේ ශරීරයෙහි වැදෙනවිටද ඒ වාතය භාවනාවට නිමිත්තකොට ගැනීමයි.

5. නීලකසිණය සාදන්නහු විසින් නිල්වන් මල් රැසක් ගෙන නැටි ආදිය නො පෙනෙනසේ එක්වියත් සතරඟුල් පමණකොට ඇතිරීමෙන් හෝ, නිල් වස්ත්‍රයක් එපමණ වට ඇතිවන සේ යම් කිසිවක බැඳීමෙන් හෝ නීලවර්ණ ඇති යම්කිසි ද්‍රව්‍යයක් එකී ප්‍රමාණයට වටකොට ගැන්මෙන් හෝ නිල් සායම් ගෙන වස්ත්‍ර ලෑලි ආදියක ගෑමෙන් හෝ සෑදිය යුතුයි.

6. පීතකසිණය කසාවන් පැහැති මල් පිළී සායම් ආදියෙන් ද,

7. ලෝහිතකසිණය, රතු පැහැති මල් පිළී සායම් ආදියෙන්ද,

8. ඔදාතකසිණය, සුදු පැහැති මල් පිළී සායම් – ඊයම් ආදියෙන් ද සෑදිය යුතු වෙත්.

කසිණයක් සාදා ගැන්ම ඉතා අපහසු වැඩක් ලෙස බොහෝ දෙන සලකත්. නීලපීතාදි වර්ණකසිණ සතරින් එකක් සාදා ගැන්ම ඉතා පහසු වූ වැඩකි. මේ වර්ණ සතරට අයත් වස්ත්‍ර ද කඩදාසි ද සායම් ද මේ කාලයෙහි අතිශයින් සුලභ වෙති. යම්කිසි කෝප්පයක් වැනි භාජනයක මෙකී වර්ණ ඇති වස්ත්‍රයක් බැඳ ගැනීමෙන් හෝ ලෑල්ලක් හෝ ඝන වූ කඩදාසියක් (වටකුරු) මණ්ඩලාකාරයෙන් කපා එහි නිල් - රතු ආදී පැහැති කඩදාසියක් ඇලවීමෙන් හෝ ලෑල්ලක හෝ ලෝහ තහඩුවක නියම ප්‍රමාණයෙන් (වටකොට) සායම් ගෑමෙන් හෝ කසිණයක් සාදාගත හැකිවේ. ඝන කඩදාසියක් හා නීලපීතාදී වර්ණවත් කඩදාසියක් ගෙන කසිණයක් සෑදීම ඉතා පහසු වූ ද සුළු වියදමකින් කළ හැකි වූ ද එකකි. වර්ණකසිණයන්හි කසිණයට නියම ප්‍රමාණයට පිටතින් ඒ වර්ණය (කැපී) වෙන් වී පෙනෙනෙ ලෙස අඟල් දෙකක් පමණ පළල ඇතිසේ අන්‍ය වර්ණයක් වටේට යෙදිය යුතු බව සැලකිය යුතුයි.

9. ආලෝක කසිණය බිත්ති සිදුරකින් හෝ පියසි සිදුරු ආදියකින් ඇතුළට පිවිස මණ්ඩලාකාරයෙන් සිටි සූර්්‍යයාලෝකය හා චන්ද්‍රාලෝකය ද එසේ නැතහොත් කළ ආදී භාජනයක් ඇතුළේ පහනක් දල්වා භාජනයේ කට වසා පැත්තකින් සිදුරක් කොට ආලෝකය බිත්තියකට වැටෙන සේ තබා ඒ බිත්තියෙහි මණ්ඩලාකාරයෙන් වැටුණු ආලෝකය බලමින් ‘ආලෝකය’, ආලෝකය” යි කියමින් භාවනා කටයුතු.

10. ආකාස කසිණය බිත්ති සිදුරක හෝ කවුළු සිදුරක ඇති අවකාශය හෝ සමක පැදුරක හෝ අන් කිසිවක එක්වියත් සතරඟුල් පමණකොට සිදුරක් කපා ඒ මධ්‍යයෙහි වූ අවකාශය හෝ මෙනෙහි කරමින් ‘ආකාශය, ආකාශය’යි කියමින් වැඩිය යුතු.

කමටහන් වඩනු කැමැත්තහු විසින් කමටහන් වැඩීමෙහි පුරුදු ඇති එහි පිළිවෙළ දත් ගැඹුරු ධර්මයන් ලිහිල්කොට කියාදීමෙහි දක්ෂ වූ ඒකාන්ත හිතවත් අභිවෘද්ධිපක්ෂයෙහි පිහිටි කරුණා ගුණසම්පන්න ආචාර්යවරයකු සොයා ගොස් උන්වහන්සේගෙන් කමටහන් වැඩීමේ පිළිවෙළ විස්තර වශයෙන් අසා දැනගෙන උන්වහන්සේගේ ආශ්‍රය ද ඇතිව කමටහන් වැඩීම කටයුතු යයි දක්වන ලදී. මෙකල්හි මෙවැනි ආචාර්යවරයෙකු සොයා ගැන්ම අපහසු බැවින් කමටහන් වැඩීමක් නොකට හැකියයි ධූරනික්‍ෂෙපයද නො වටී. ඒ වඩන පිළිවෙළ පොත්වල කියා තිබෙන හෙයින් ඒ ග්‍රන්ථයන් ගුරුතන්හි තබාගෙන තමාම එහි පරිචය ඇතිකර ගැනීමට උත්සාහ වැඩිය යුතු.

අග්ග මහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්න මහා නාහිමියන්ගේ
“මගේ බණ පොත” ග්‍රන්ථයෙන් උපුටා ගැණිනි.
(1920 දී පළ වූවකි)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා