බුදුබවට සුදුසුකම්

බුදුබවට සුදුසුකම්

ද මෙම ලිපියේ මුල් කොටස් පසුගිය කලාපවල පළ විය. අද පළවන්නේ අවසන් කොටසයි.

සත්‍ය පාරමිතාව

බුදුබවට අවශ්‍ය කරන දස වැදෑරුම් ගුණ ධර්මයන් අතර හත්වැන්න සත්‍යවාදී බවයි. බොරු නොකීම, සැර පරුෂ වචන භාවිතා නොකිරීම, ඔවුනොවුන් භේද නොකිරීම, කේළාම් බස් කීමෙන් වැලැකීම සහ එලොව මොලොව දෙකටම වැදගැම්මක් නැති හිස් කථා ආදියෙන් වැලකීම ද බුදු බව ලබා ගැනීමට අවශ්‍යම නැතිවම බැරි ගුණයක් බව දැනගත යුතු ය. කට නිසි පරිදි රැක නොගැනීම නිසා මිනිස් වර්ගයාම ඔවුනොවුන් වාදභේද හදාගෙන එකිනෙකා මරා ගන්නා අයුරු කාට වුවද පැහැදිලිව දක්නට ලැබෙන කරුණකි. යමෙක් සත්‍යවාදීව අසත්‍යයෙන් බොරුවෙන් වැලකී කටයුතු කරන්නේ නම් ඔහු හෝ ඇය නිසා සමාජයට සිදුවන සේවාව යහපත කියා නිම කළ නොහැකි තරම් ය.

අප මහ බෝසතාණන් වහන්සේ පාරමිතා ධර්ම පුරණ කාලය තුළ යම් යම් වැරැදි සිදු වී ඇතත්, කවරදාවකවත් කිසිම භවයකදීවත් ජීවිතයකදීවත් නොකළ වැරැදි දෙකක් පිළිබඳව හාරිත ජාතක අට්ඨ කථාවෙහි සඳහන් කොට ඇත. කුමන කරුණක් නිසාවත් අසත්‍යවාදී වීමක්. බොරු කීමක් සිදු කොට නැත. දෙවැන්න කවර අවස්ථාවකදීවත් අකෘතඥ වී නැත. එනම් කෙළෙහි ගුණ අමතක කර නැත. බොරුව කෙළෙහි ගුණ නොසැළකීම යන අකුසල් දෙකෙන් වැලකී සිටීම මහා බෝසතාණන් වහන්සේගේ උත්තරීතර ගුණාංග දෙකකි.

මෙයින් පැහැදිලි වන්නේ සත්‍යවාදී බව කෙතරම් වටිනා පුණ්‍ය කියාවක් ද යන්න ය. සත්‍යවාදි බව නිසා ඇතැම් අවස්ථාවලදි තමන්ටත් අන් අයටත් විපත් වන වෙලාවල් ද ඇත. එබදු මොහොතක් පැමිණෙන බව දැනගතහොත් සම්‍යක් උපායෙන් ඒ අවස්ථාවෙන් මඟ හැරිය යුතුය. සෑම කටයුත්තකටම ප්‍රඥාව තිබිය යුත්තේ යැයි දක්වා ඇත්තේ එහෙයිනි. බුද්ධිය ඇති පුද්ගලයා නුවණින් යුතුව සිතා බලා වරදට නොබැදි අසත්‍යයක් පළ නොකොට අවස්ථාවෙන් ගැලවීමට දැන ගනියි. සත්‍ය පාරමිතාව බලපාන්නේ ප්‍රධාන වශයෙන් ම කථාවටයි. වචනයටයි. බොරු පෙන්වීම් ද නැති ආටෝප සාටෝපකම් දැක්වීම ද අසත්‍යයටම වැටෙන අකුසලයෙකි. කථා කිරීම පිළිබඳව අභයරාජ කුමාර සූත්‍රයේ දී බුදුරදුන් විසින් ඉතා වටිනා කාරණා හයක් දක්වා ඇත.

දිනක් අභයරාජ කුමාරයා නිගණ්ඨනාථ පුත්ත දකින්නට ගියේ ය. නිගණ්ඨ නායකයා නිරන්තරයෙන්ම සිතන්නේ බුදුරදුන්ට හානියක්ම සිදු කිරීමට ය. ඒ අනුව අභයරාජ කුමාරයාට කථා කොට, ඔබ ශ්‍රමණ භවත් ගෞතමයන් වෙත ගොස් සුහදව කතා බස් කිරීමෙන් පසු, මෙන්න මේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න. “ගෞතමයන් වහන්ස ඔබ වහන්සේ අන් අයගේ සිත් සතන් අසතුටු වන අයුරින් කතා කරන්නේද ?

සිත් රිදෙන අයුරින් කතා කරන්නේ ද ?” ඔව් අභයරාජ කුමාරයාණෙනි ඇතැම් අවස්ථාවන්වලදී එසේ කතා කරන්නෙමි යි කිවහොත්, මෙසේ අසන්න, “එහෙනම් ස්වාමීනි ගෞතමයන් වහන්ස ඔබ වහන්සේත් සාමාන්‍ය මිනිසුන් අතරත් වෙනසක් නෑ නොවේ ද ? පුහුදුන් අපිත් අන් අයගේ සිත් රිදෙන දේවල් කියනවා ඔබ වහන්සේ කතා කරන්නෙත් එසේම නම් අපි අතර ඇති වෙනස කුමක් ද ? භවත් ගෞතමයන් වහන්සේගේ පිළිතුරෙන් ඔබට උන්වහන්සේ පරදවන්නට පිළිවනි.

“නැත අභ්‍යරාජ කුමාරයාණෙනි, කාගේවත් සිත් රිදෙන කතා නොපවසම් කිවහොත් ආපසු මෙසේ අහන්න. එහෙම නම් ඔබ වහන්සේ දෙව්දත් තෙරුන් පිළිබඳව ආපායිකෝ දේවදත්තෝ නේරයිකෝ දෙවදත්තෝ අතේකිච්චෝ දෙවත්තෝ යනුවෙන් දෙව්දත් තෙරුන් අපාගත වන කෙනෙකි. දෙව්දත් නරකාදියට යන කෙනෙකි. දෙව්දත් කිසිදු පිළියම් කිරීමකින් සුව නොකළ හැකි මානසික රෝගයෙකි යනුවෙන් දේවදත්ත ගැන ඔබ වහන්සේ අවස්ථා කිහිපයක දී පවසා ඇත. එයින් දෙව්දත් වඩ වඩාත් කෝපයට පත්ව ඇත.

මෙය උභතෝකෝටික ප්‍රශ්නයකි. දෙපැත්තම කැපෙන ආයුධයක් වැනි ය. අභය රාජ කුමාරයා මේ ප්‍රශ්නය බුදුරදුඹන්ගෙන් විමසූ විට පිළිතුරු දුන්නේ මෙසේ ය.

01. අන් අය අසන්නට අපි‍්‍රය දෙයක් බුදුවරු ප්‍රකාශ නොකරති.

02. සත්‍ය දෙයක් වුණ ද අවැඩදාය නම් එබදු දේ ද ප්‍රකාශ නොකරති.

03. සත්‍ය දෙයක්, සත්‍ය කරුණක් නම් අන් අයට එයින් වැඩක් වේ නම් කෙනෙක් අසතුටු වුව ද අන් අයගේ යහපත පිණිස සුදුසු අවස්ථාව බලා පවසති.

04. අසත්‍ය - අවැඩදායක දෙයක් අන් අය ඇසීමට පි‍්‍රය වුවත් එවැන්නක් නොකියති. (මේ කියන්නේ ලස්සනට ගෙතූ බොරු කථාවන් ගැනය.)

05 . සිදු වූ අවැඩ දායක වූ ඇසීමට ප්‍රිය වු දෙයක් ද නොකියති.

06. ඇත්ත කරුණක් වුව ද අන් අය ඇසීමට ප්‍රිය වුව ද ප්‍රකාශ විය යුතුම අවස්ථාව බලා බුදුවරු ප්‍රකාශ කරති.

එයට හේතුව අභයරාජ කුමාරයාණෙනි, දැන් වාඩි වී සිටින ඔබේ ඔඩොක්කුවේ කුඩා දරුවෙක් සිටියි. ඒ දරුවා පෙන්වා “මේ දරුවා කනබොන විට උගුරේ යමක් හිර කරගත හොත් ඔබ කුමක් කරන්නේ ද ? එය මම ඇගිල්ල දමා ප්‍රවේශමෙන් ඉවත් කරනවා. පහසුවෙන් ඉවත් කරන්නට බැරි වුවහොත් ? “ස්වාමීනි මම උගුරට ඇගිල්ල යවා දරුවා වේදනාව සහිත වුවත් උගුරේ හිර වූ කටුව ඉවතට ගන්නවා. එසේ නොකළහොත් දරුවාට මාරාන්තික විපතක් විය හැකි නිසා ය.” ඒ ආකාරයෙන්ම අභයරාජ කුමාරයාණෙනි බුදුවරු ද අන් අයට ඇති කරුණාව නිසා කෙනෙකු අසතුටුවන අවස්ථාවක දී වුණද වැඩි දෙනාගේ යහපත පිණිස කිය යුතු දේ කියනවා යැයි ද කළ යුතු දේ කරනවා යයි වදාළ හ.

අභයරාජ කුමාරයාණෙනි දේවදත්ත තෙරුන්ගේ පාපකාරී ක්‍රියාවන් පිළිබඳව එසේ ප්‍රකාශ නොකළ හොත්, බොහෝ දෙනා ඔහු කරන දේ නිවැරැදි යයි සිතා බරපතළ අකුසල් සිදු කර ගන්නවා ඇත. එයින් ඔවුන් වළක්වා ගැනීම මා විසින් කළ යුත්තකි.” මෙම දේශනාවෙන් අභයරාජ කුමාරයා බලවත් සේ සතුටට පත් විය. මෙයින් පැහැදිලි වන්නේ බුදුවරු කතා කරන ආකාරය පිළිබඳවයි. යමෙක් සත්‍යවාදීව දැහැමිව කටයුතු කොට එකී සත්‍ය බලය පිළිබඳව මෙනෙහි කොට මේ සත්‍ය බලයෙන් යම් දෙයක් ඉටු වේවායි අසනීපයක් නම් සුවපත් වේවායි තමන් පිළිබඳව හෝ අන් කෙනෙක් පිළිබඳ අධිෂ්ඨාන කරගත්විට එය ඉටුවන අවස්ථාවන් බොහෝ ය. සත්‍යක් ක්‍රියාව නමින් දැක්වෙන්නේ මෙයයි.

මෙතෙක් සැකෙවින් සඳහන් කෙළේ සත්‍යවාදී බව ගැන ය. එය බුදුබව ලැබීමට අවශ්‍යම සුදුසුකම වශයෙන් සළකා කටට ඇතුළු කරන දේ පමණක් නොව කටෙන් පිට කරන දේ පිළිබඳ ද මනා ලෙස ආරක්ෂා විය යුතුයි. කටෙන් ඇතුළු කරන දේ නරක් වුවහොත් නිරෝගීතාවය නැතිවිය හැකි ය. කටෙන් පිට කරන දේ වැරැදි සහගත වුවහොත් මෙලොව පරලොව දෙකම විපත්තිදායක විය හැකිය. එබැවින් කට පරිස්සම් කර ගන්න යන පැරැණි කියමනට මුල් තැන දී සත්‍යවාදී බවම ආරක්ෂා කර ගැනීම උදාර ගුණයක් සේ දක්වා තිබේ.

මුලදී සඳහන් කළ බෝසත්වරු කවරදාවකවත් නොකරන දෙවැනි වරද නම් කෙළෙහි ගණ අමතක නොකිරීමය. මව්පිය ගුරුවරු ආදී කවර කෙනෙකුගෙන් වුවද පිහිටක් ලැබී ඇත්නම් බෝසත් ගුණ ඇති අය කවරදාකවත් ඒ ගුණය අමතක නොකරති. උදව් උපකාර කළ කාට වුව ද හැකි පමණින් උපකාරි වෙති. නැත්නම් අඩුම තරමින් එබදු අයට කිසිදු විරුද්ධකම් පෑමක්වත් නොකරති. බුදුබව පතන බෝසතුන් තුළ සත්‍යවාදි බවත් කෙළෙහි ගුණ සැලකීම යහ ගුණ දෙක නිරන්තරයෙන්ම පැවැති බව හාරිත ජාතක අට්ඨ කතාවේ එන ප්‍රකාශයෙන් පැහැදිලි වේ.

අධිෂ්ඨාන පාරමිතාව

බුදු බවට සුදුසුකම් ලෙස සැළකෙන දස වැදෑරුම් ගුණයන්ගෙන් අටවැන්න ස්ථිර අධිෂ්ඨානයක් ඇති බව යි. මා තුළ පවත්නා දාන, ශීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා වීර්යය, ශාන්ති, සත්‍ය, අධිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා යන මෙම ශ්‍රේෂ්ඨ ගුණ ධර්ම බුදුබවට පත්වන ආත්මභාවය දක්වා අඛණ්ඩව පවත්වාගෙන යන්නෙමි යන ස්ථිර අදහස ප්‍රාර්ථනාව අධිෂ්ඨාන පාරමිතාව ලෙස සැලකිය යුතු ය. ලෝකයෙහි මිනිසා ප්‍රධාන කවර සත්ත්වයෙකුට වුව ද පාපය මිස පින කුසලය ඒ තරම් ප්‍රිය මනාප දෙයක් නොවේ. නිතරම අපේ සිත ඇදී යන්නේ නරක පැත්තටම ය. අකුසල පැත්තටමය.

එයට හේතුව මාර බලයයි. මාර බලය යනු පාප බලයයි. අප වැරැදි දේ කර කියා ගත් තරමටම නැවත නැවත සසර උපදින්නට සිදු වන්නේ නැත්නම් සසර දික්ගැස්සෙන මාරයාගේ අවශ්‍යතාවය සසර දුකින් අප මුදවාලීම නොව අතන මෙතන උපත ලබමින් සසරම රඳවා ගැනීම ය.

මේ සසර ගමන සැප ඇති ලෝකවලට වඩා ඇත්තේ සැප නැති ලෝකයෝ ය. තිරිසන් ලෝකය පේ‍්‍රත ලෝකය, අසුර නිකාය අවීචි මහා නරකය යන ස්ථාන හතරකි. මනුෂ්‍ය ලෝකය සහ දිව්‍ය ලෝක හයකි. මේ ස්ථාන එකොළොස කාම ලෝක නමින් හඳුන්වති. බ්‍රහ්ම ලෝක දහසයක් අරූපිය බ්‍රහ්ම තල හතරක්ද එකතු වු විට තිස් එක් පොළකි. සංසාරය නමින් හඳුන්වනු ලබන්නේ මේ තිස් එක් තලයටයි. මෙයින් සතර අපාය බෙහෙවින්ම දුක්ඛිතය අවීචි මහා නරකය තුළ සංජීව, කාලසූත්‍ර ආදී වශයෙන් තව බොහෝ දුක්ඛිත තැන් ඇත.

ඒ ඒ ලෝකවල උපත ලද විට තව තවත් පාප කර්මයන් සිදුකර ගැනීමට අවස්ථාව සැලකේ. ඒ නිසා සසර තිබෙන ඉතා දුක්ඛිතම ස්ථාන මේ සතර අපායයි.

මීළඟට ඇත්තේ මිනිස් ලෝකයයි. යහපත් දේවල් කර කියා ගැනීමට , ආනිසංසදායි බලවත් පින්කම් කර ගැනීමට මෙහි සඳහන් බුදු බවට සුදුසුකම් දැක්වෙන ගුණාංගයන් පාරමිතාවන් දියුණු කර ගැනීමට පවතින එකම ලෝකය මිනිස් භවය බව සැළකිය යුතුය. මේ සැපවත් ලෝකයේ උපත ලැබූ අය අතර ද පෙර ආත්මවල කර කියා ගත් පාප කර්මයන් නිසාම බලවත් සේ දුක් පීඩා ලබන්නෝ සිටිති. ලෝභය, ද්වේශය, මෝහය යන අකුසල් මූලයන් නිසා අපේ සහෝදර මනුෂ්‍යයන් විසින් කර නොගන්නා පාපයන් නැති තරම් ය. තම තමන් කර ගන්නා පාප කර්මන්යන්ගේ විපාක වශයෙන් ද මොලොව දීම බොහෝ දුක් විදින්නෝ සිටිති.

බුද්ධිමත් දැන උගත් අය දහමට නැඹුරු වී පාපයන්ගෙන් වැළකී කුසල් දහම් – යුතුකම් සපුරා ගනිති. ඒ සඳහා අවශ්‍ය ප්‍රධානම ගුණාංගය වන්නේ වැරැදිවලින් වැළකීම පිළිබඳව පවත්නා දැඩි අධිෂ්ඨානයයි. යහපත් දේවල් සපුරා ගැනීම පිණිස පවත්නා වෙනස් නොවන අධිෂ්ඨානයයි. තම සිත් සතන් තුළ පවත්නා මේ දැඩි ඕනෑකම, කැමැත්ත, රුචිකම බුදු බවට අවශ්‍යම ගුණයක් වශයෙන් දක්වා ඇත්තේ ඒ නිසාම ය. අධිෂ්ඨානය යනු තම සිත් සතන්හි පවත්නා කුසලයට ඇති ස්ථිරසාර රුචි බවයි.

බුදු බව ලබනතාක් මේ ස්ථිර ගතිය අඛණ්ඩව නොවෙනස්ව පවත්වාගෙන යාම එසේ මෙසේ කෙනෙකුට කළ හැකි දෙයක් නොවේ. එතරම්ම එය බල සම්පන්න ගුණයකි. මේ උත්කෘෂ්ට ධර්මතාවය නොවෙනස්ව භවයෙන් භවයට - උපතින් උපතට පවත්වාගෙන යන පුද්ගලයාට නියමිත පාරමිතා ධර්ම සම්පූර්ණ කරගත් විගස බුදුබවට පත්විය හැකිය. යමෙක් මේ ශ්‍රේෂ්ඨ ගුණ ධර්ම සම්පූර්ණ කරගත් විට අනාදිමත් කාලයක් පුරා වඩන ලද ඒ ගුණ ධර්මයන් විසින්ම ඔහු ලොව්තුරා බුදුබවට පත්කරන්නේය.

බුදුන් දවස සැවැත් නුවර දැන උගත්, යමක් කමක් ඇති පවුලක “දත්ත” නමැති තරුණයෙක් සැදැහැ සිතින් පැවිද්දට පත්විය. මහ වනය මැද දමන ලද අලුත් මළ මිනීවල එතූ රෙදි ගෙන සෝදා පිරිසිදු කොට කපා, මසා පඬු පොවා, පිළියෙල කරගත් පාංශුකූලික දෙපට සිවුරුත් තනිපතට සිවුරුත් – අඳනය සහ ඒ කෑලි රෙදි යොදා මසා ගත් පටිය ද පරිහරණය කළේය. මේ අනුව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දත්ත තෙරුණුවෝ පාංශුකූලික භික්ෂුවකි. සොහොනෙහි ගිනි නිවීමට වතුර ගන්නා ගස් මුට්ටියක බඳෙන් උඩ කොටස කඩා ඒ කලගෙඩි බාගය පාත්‍රයක් වශයෙන් පරිහරණය කළේය. ගලකින් අතුල්ලා මෙම පාත්‍රය කට වටා සිනිදු බවට පත් කරගත්තේය. ගං ඉවුරක තල් කොළ තුන හතරක් සෙවිලි කළ තල් කොළ කිහිපයකින් වටා ආවරණය කරගත් පස් රියනක් පමණ වූ කුටියක් තුළ වෙසෙමින් “මම මේ ජීවිතෙන් තොර වීමට පෙර රහත්විය යුතුමය” යි යන අධිෂ්ඨානයෙන් භාවනාවෙහි යෙදුනි.

ගඟ අයිනයෙහි විසූ බැවින් මේ තෙරණුවෝ ගංගා තිරිය යන නමින් ප්‍රකට විය. කවුරුත් හඳුන්වනු ලැබූ මුන් වහන්සේ කිසිකෙනෙකු සමගවත් වචනයක්වත් කතා කරන්නේ නැත. දිනපතා ළඟ පිහිටි ගමකට දවාලට පමණක් පිණ්ඩපාතය වඩති. කිසිවෙකු සමඟ වචනයෙක්වකුත් කථා නොකළ මේ හාමුදුරුවෝ ගොළුවෙක් වෙන්නට ඇතැයි බොහෝ දෙනා සිතූහ. දිනපතා පිණ්ඩපාත බෙදන එක් කාන්තාවක් මුන් වහන්සේ ගොළුවෙක්ම දැයි දැනගනු පිණිස පරීක්ෂා කිරීමට පාත්‍රයට කිරි පූජා කළේය.

ප්‍රමාණයකට වත් කරද්දීම උන්වහන්සේ තම අතින් පාත්‍රය වසා ගත්තේය. ඇය ඒ ගැන නොතකා දිගටම පාත්‍රයට කිරි වත් කරගන්නට පටන් ගත්තීය. නැවත ද අතින් වැසූ නමුත් මේ ස්ත්‍රිය ඒ ගැන නොතකා දිගටම කිරි වත් කරගෙන ගියාය. එවිට ගංගා තිරිය තෙරණුවෝ නැගණියනි, මේ ඇතැයි දෙවරක්ම කීවේය. උන් වහන්සේ ගොළුවෙක් නොවන බව ගම්වාසීන් දැන ගත්තේ මේ සිද්ධියෙන් පසුවයි. මෙසේ එදා කතා කළ නමුදු නැවත ද කා සමඟවත් කතා කිරීමකින් තොරව, මහත් වූ දුෂ්කර ජීවිතයක් ගත කරමින් කමටහන් වඩා තුන් වසරක් පිරෙත්ම ගංගා තිරිය තෙරණුවෝ සෘද්ධිබල සහිතව මහා රහත් බවට පත්වූහ. රහත් වීමෙන් පසු මෙබඳු ප්‍රීති වාක්‍යයක් - උදානයක් උන් වහන්සේ පළ කළහ. උදානය මෙසේ ය.

තීණං මේ තාල පත්තානං - ගංගාතීරේ කතා කුටී
ජව සිත්තෝව මේ පත්තෝ - පංසුකූලං ච චීවරං
ද්වින්නං අන්තර වස්සානං - ඒකාවාචා මේ භාසිතා
කතියේ අන්තර වස්සමිහි – තමොක්ඛන්ධෝ පදාලිතෝ

ගංගා තීරයෙහි පිහිටි මාගේ කුඩා කුටිය තල්පත් තුන හතරක් සෙවිලි කරන ලද්දකි. මාගේ පාත්‍රය සොහොනයෙහි ගිනි නිවීමට ගන්නා දිය ඉසින ගස් මුට්ටියක් කපා හදා ගත්තකි. තනිපට දෙපට සිවුරු දෙක සහ අඳනය ද පටිය පාංසුකූලික සිවුරුය. මා විසින් අවුරුදු දෙකක් තුළ කතා කරන ලද්දේ “ඇති ! නැගණියෙනි” “ඇති! නැගණියෙනි” යන වචන දෙක පමණයි. තුන්වන වසරෙහි මම කෙලෙසුන් නසා සෘද්ධි බල සහිතව උතුම් වූ රහත් බවට පත් වුනෙමි. මාගේ අචල අධිෂ්ඨානය අද මුදුන් පත් වූයේය. “මෙය මාගේ අන්තිම උපතයි. නැවත මාගේ උපතක් නැතැයි” ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළේය.

අධිෂ්ථානයෙක ඇති බලය ගංගා තිරිය තෙරුන් වහන්සේගේ මේ කථා පුවතින් පැහැදිලි වන්නේය. උන් වහන්සේ තම අධිෂ්ඨානය මුදුන්පත් කරගැනීම පිණිස දැරූ පරිශ්‍රමයක මහත මෙයින් විදහා දැක්වේ. එබැවින් බුදුබවට අවශ්‍ය සුදුසුකමක් වූ මේ අධිෂ්ඨාන ගුණයද අපේ මෙලොව පරලොව දියුණුවට හේතු වන්නාක් බව සැලකිය යුතුයි. එසේම නූතන භික්ෂූන් වහන්සේලා වන අපට පැරණි පැවිදි උතුමෙකු වූ ගංගා තිරිය තෙරුන්ගේ මෙම ජීවන රටාව ගැන කියවෙන කථාව ආදර්ශයක්ම විය යුත්තේය.

මෛත්‍රී පාරමිතාව

අපේ සිත කය වචනය යන තුනෙන්ම අන් කෙනෙකුට කිසිදු හිංසාවක් නොවන පරිදි සැමටම සැපක් වන අයුරින්ම යොමුකර ගැනීම මෛත්‍රියයි. ලෝකයට හිත සුව පිණිස ක්‍රෝධ කෝප ආදියෙන් තොරව සැමටම යහපතක් වන අයුරින් තම ජීවිතය සකස් කර ගැනීමයි. “මෙත්තා” යන වචනයෙහි තේරුම මිත්‍රත්වය යන්නයි. කා සමඟ වුවද සුහදව මිත්‍රත්වයෙන් ජීවත්වීම මේ මෛත්‍රී ගුණයෙහි ලක්ෂණයයි. බුදු බවට අවශ්‍ය සුදුසුකම් වලින් මේ මෛත්‍රිය ද තමන් තුළ පිහිටුවා ගතයුතුම ධර්මයකි. මෙකී උදාර ගුණය අපේ සිත් සතන් තුළින් බැහැර කරන්නේ ;ක්‍රීධය, කෝපය, වෛරය පලිගැනීම, ඊර්ෂ්‍යාව බඳු අකුසල කර්මයන් විසිනි.

ඉහත කී අකුසල කර්ම පිළිබඳව නිසි පරිදි අවබෝධයක් ලබාගෙන ඒ පාප කර්මයන්ගෙන් සිත මුදා ගැනීම මෛත්‍රිය දියුණු කිරීමේ ඒකායන මාර්ගයයි. බොහෝ වට රාගය නමින් හඳුන්වනු ලබන ආසාව ද මෛත්‍රියෙහි මුහුණු වරින් අපේ සිත් සතන් තුළ බැස ගන්නා ක්ලේශයෙකි. කරුණාවේ මෛත්‍රියේ මුහුණුවරින් ලස්සන දෙයට අපේ සිත දුවන්නේය. එය අවංකවම මෙත් සිතක් නොවේ. හොඳ ඇඳුමකින් සැරසුණු පාට පෙනුම ඇති කෙනෙකු දුටු විට ඔහුට නැත්නම් ඇයට සලකන්නට උපකාර කරන්නට සිත යොමු වේ.

එය රාගයේ මුහුණුවරින් ඉදිරිපත් වන ක්ලෙශයක් මිස නියම මෛත්‍රියක් නොවේ. මෙවැනි ක්ලෙශයන් වංචක ධර්ම පුද්ගලයා නොමග යවන කරුණු වශයෙන් ධර්මයෙහි දක්වා ඇත. නියම මෛත්‍රියෙහි ස්වභාවය නම් අවලස්සන අපිරිසිදු රෝගී අසරණ දරුවෙක් හෝ කෙනෙක් හෝ දුටුවිට අර ලස්සන දරුවාට තිබුණු කරුණාවම අප තුළ ඇති වන්නේ නම් එය නියමම මෙත් ගුණයයි. මෙයින් පැහැදිලි වන්නේ රාගය නැත්නම් ආසාව බොහෝ විට කරුණාවේ හෝ මෛත්‍රියේ මුහුණුවරින් අපේ සිත් සතන් ඩැහැගන්නා ආකාරයයි.

මෛත්‍රිය පටන් ගත යුත්තේ තමන්ගෙනි. තමාගේ නීරෝගී භාවය චරිතවත් බව රැකගෙන පළමුවෙන්ම මට සැපයක් වේවා මම සුවපත් වෙම්වායි තමන්ගේ සිත කය වචනය පැහැපත් කරගත යුතුය. තමන්ගේ ගෙදර දොර අය ගම්වාසී, රටවාසී, ලෝක වාසී සියල්ලන් කෙරෙහි ද මෙත් වැඩිය යුතුය. තමාගේ සිත් තුළ තව කෙනෙකුට හිංසාවක් , පීඩාවක් අහිතක් කිරීමේ සිතුවිලි මාත්‍රයක්වත් ඇති වීමට ඉඩ නොතැබිය යුතුය. වචනය ද එයාකාරයෙන් සංවර කරගත යුතුය. බොරුව පරුෂ වචන කේලාම් සහ අනර්ථකාරී හිස් කථාවන්ට ඉඩ නොතැබිය යුතුය. ප්‍රාණගාතාධී හිංසාකාරී ක්‍රියා දැඩි ලෝභී බවට සහ වැරදි ඇදහීම් දෘෂ්ටිවලට හිත ඇදී යන්නට ඉඩ නොතැබිය යුතුය. මේවායින් තමන්ටම අවංක පුද්ගලයෙක්ව සැමට අහිතක් නොවන පරිදි කාගෙත් සැපට කැමැත්තෙන් යුතුව කළ හැකි ක්‍රියාකාරකම් උපකාරයන් ඇති කරගෙන ජීවත්වීම බුදුබව පතන මහා බෝසතාණන් වහන්සේලාගේ ස්වභාවයයි. මෙත්තානිසංස සූත්‍රයෙහි දක්වා ඇති පරිදි ඉහත කී අයුරින් මෛත්‍රී සහගතව ජිවත් වන පුද්ගලයාට අනුසස් එකොළසක් ලැබෙන බව දක්වා තිබේ.

01. සුවසේ නින්ද යාම,

02. සුවසේ පිබිදීම.

03. නපුරු දරුණු සිහි නොපෙනීම,

04. කා අතරත් ප්‍රිය කෙනෙකුන් බවට පත්වීම.

05. තිරිසන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් විසින් ද ප්‍රිය කරන්නෙකු වීම.

06. දෙවියන්ගේ ආරක්ෂාව සහ බැල්ම ලැබීම.

07. ගිනි, වස, විෂ, ආයුධ ආදියෙන් විපතට පත් කිරීමට නොහැකි වීම,

08. කවර ප්‍රශ්නයකදී වුවද හිත කලබලකාරී බවට පත්කර නොගෙන තැන්පත්ව අපක්ෂපාතී තීරණ ගැනීමට හැකි වීම.

09. සිත තුළ ඊර්ෂ්‍යාව කුහ ගති නැති නිසා මුහුණේ අවංක අව්‍යාජ දුටුවන්ගේ සිත් සතන් පහදවන ස්වභාවයක් ඇතිවීම.

10. වද වේදනාවකින් තොරව වරු ගණන් දින ගණන් පණ ඇදීකින් තොරව, තමා කර කියාගත් යහපත් කුසලයක්ම මෙනෙහි කරගෙන අවසන් හුස්ම හෙළීමට හැකිවීම.

11. ඊළඟ භවය ස්ථිර වශයෙන්ම දිව්‍ය ලෝක ආදී සුගතියක ඉපදීමට ලැබීම මෛත්‍රියෙහි දැක්වෙන අනුසස් එකොළහ බව දත යුතුය.

මෛත්‍රියෙහි අනුසස් දැක්වෙන මෙබඳු කථා පුවතක් විසුද්ධි මාර්ගයෙහි මෙත්තා භාවනා ගැන කියවෙන තැන දක්වා තිබේ. අනුරාධපුර රාජ සමයෙහි දඹදිව පැළලුප් නුවර එනම් පාටලීපුත්‍ර නගරය ධර්මාශෝක අධිරාජ්‍යයාගේ රාජධානිය විය. එහි විසාක නමින් තොග වෙළෙඳ ව්‍යාපාරිකයෙක් විසීය. ඔහු මහධන සිටුවරයෙකි. වෙළඳ බඩු ගෙන්වීම සහ නගර ගම් නියම් ගම් පුණ ගැල් මගින් බෙදා හැරීමත්, ඒ නියම් ගම් වලින් ගැල් ආපසු එනවිට ඒ ප්‍රදේශ වලින් නගරයට අවශ්‍ය බඩු ගෙන ඒමත් වෙළඳ ව්‍යාපාරිකයාගේ වාණිජ පිළිවෙතයි. ඔහු දානපතියෙකි. ආගම ධර්මයට නැඹුරුය. තම කඩ - සාප්පු ද බෝජුන් හල් සහ තානායම්වලට එන යන අය සම්ග ද නිහතමානීව ප්‍රියශීලීව කතා කරයි.

ඒ නිසා පැළලුප් නුවර හරහා ලංකාවට යන එන චීන - නේපාල් - කාම්බෝජ - ලාඕස් ටිබෙට් – ඇෆ්ගනිස්ථාන එනම් අවකම් රට ආදී දේශවලින් එන ගිහි පැවිදි සංචාරකයින් යැයි දෙනා විසාක් වෙළඳ ව්‍යාපරිකයා සමඟ සම්බන්ධකම් පැවැත්වූහ. පුතුන් දෙදෙනෙකුගේ සහ දියණියන් දෙදෙනෙකුගේ පියෙකු වූ ඔහු පනස් පස් වැනි විය වනතුරු ගිහි ජීවිතය සාර්ථක ලෙස ගත කොට එක්තරා තීරණයකට බැස ගත්තේ ය. තම දියණිවරුන් දෙපළ සහ බෑණවරුන් දෙපලත් පුතුණුවන් දෙපළ සහ ලේලිවරුන් දෙපළත් මවත් සමග නව දෙනා සහ ඔහුත් මේ පවුලේ දස දෙනාම එක්ව එක් රාත්‍රියක එකට ආහාර ගෙන මෙසේ සාකච්ඡා කළහ.

“දරුවෙනි, අද මගේ පනස් පස්වෙනි උපන් දිනයයි. මම මෙබදු තීරණයක් ගෙන සිටිමි. මා සතු පනස් කෝටියක රන් රිදී මුතු මැණික් තිබෙනවා. ඉඩකඩම් වතු පිටි කුඹුරු අතහැරයි ඒ වස්තුව ! මේ සියලු දේපළ මෑණියන්ටත් දරුවන් හතර දෙනාටත් මා බෙදා දෙනවා. මෑණියන්ට දස කෝටියක් හැමෝටම දස කෝටිය බැගින් මේ දේපළ දැහැමි ලෙස පරිහරණය කරගෙන මා පවත්වාගෙන ආ වෙළඳ ව්‍යාපාරයන් වඩ වඩාත් දියුණු කරගත යුතුයි. මේ දේපළ වලින් නැති බැරි අයටත් ආධාර උපකාර කළයුතු අයටත් කරුණා පෙරදැරිව පරිත්‍යාග කරන්නටත් ඕනෑ ! එසේම අපේ පැළලුප් නුවර අශෝකාරාමය මහා විහාරය ඇතුළු විහාරාරාමවල අඩුපාඩු සොයා බලා ඒවාටත් උදව් උපකාර කරන්නටත් ඕනෑ.

රෝගාතුර භික්ෂූන් වහන්සේලාටත් ඈත එපිට පළාත්වලින් ම ප්‍රතිකාර ලැබීමට පැමිණ සිටින ධර්මාශෝක මහා රජු කරවන ලද මේ අශෝකාරාම විහාර භූමියට ඈතින් පිහිටුවා ඇති ගිලන් භික්ෂු රෝහලට සිවුපස පහසුව පිණිස - බෙහෙත්හේත් සඳහා අවශ්‍ය වියදම් දරන්නන්ටත් ඕනෑ. මම මම තීරණයක් කරගෙන තිබෙනවා මේ සියලු දේපළත් මෑණියනුත් දරුවන් වශයෙන් ඔබ හතර පොළට පවරා ධර්ම ද්වීපයට යන්නට. ඒ ධර්ම ද්වීපය නමින් හඳුන්වන ලක්දිව පුදුමාකාර සෞභාග්‍ය සම්පන්න ගුණවත් රටක් ! මේ පැළලුප් නුවර හරහා ඒ ධර්ම ද්වීපයට යන එන මිනිස්සු මට හමුවෙනවා! භික්ෂූන් වහන්සේලා ද මට හමුවෙනවා! ඔවුන්ගෙන් දැනගෙන තිබෙන පරිදි අපේ මේ දඹදිවට ආසන්නයම දකුණු දිශාවන් පිහිටි පොඩි දිවයින දැහැමි රජ කෙනෙක් රජකම් කරන රටක්! දේශගුණය බොහොමත්ම හොඳයි.

උෂ්ණ දේශගුණයකි. රට තරමක් ඇතුළට ගිය විට සමශීථෝෂ්ණ දේශ ගුණයයි. රටට මැද කඳුකරයට ගියවිට ශීතල දේශගුණයයි. කවර දේශගුණයකට වුවද, හුරු පුරුදු කෙනෙකුට මේ කියන ධර්ම ද්වීපයෙහි පහසුවෙන් ජීවත්වීමට පිළිවනි ! සියල්ලෝම බෞද්ධයෝය ! රටම කාසාය වස්ත්‍රයෙන් බබළයි! (හැම ගමකම පන්සල් - භික්ෂූන් වහන්සේලා වැඩ සිටින බව මෙයින් කියවේ) අපේ දඹදිව උපත ලද සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරියට පිළිපදින රටකි. ආගන්තුක සත්කාරය බොහෝම ඉහළින්ම සලකන රටකි ! ඒ මිනිසුන් අතර හොරකම් කපටි කාෂ්ටකම් නැත! ඒ ධර්ම ද්වීපවාසී මිනිසුන් පිටරටකින් ආ කෙනෙකුට වුවද කිසිදු වෙනසක් නැතිව තමන්ගේම පවුලේ කෙනෙකු ලෙස සලකති. කුඩා ළමයින් තරුණයින් පවා කරුණා මෛත්‍රියෙන් යුක්තය.

“දරුවෙනි, මේ ධර්ම ද්වීපයට ගොස් පැවිද්දට පත්ව ඉතිරි අවුරුදු දහය පහළොව මහණදම් පිරීම මාගේ අධිෂ්ඨානයයි! ඒ සඳහා ඔබලා අහිතක් ඇති නොකර ගත යුතුය. මගේ උතුම් වූ අදහස ඉටුකර ගැනීමට භාර්යාවෙනි, ඔබත්, දියණිවරුනි ඔබ දෙපළත් පුතණුවනි, ඔබ දෙපළත් බෑණනුවවරුන් ලේලිවරුන් ඔබ හතර දෙනාත් මට මේ මහණ දම් පිරීමේ මහා පිංකම සාර්ථක කරගැනීමට අනුමැතිය දියයුතුය.!

ලක්දිව අනුරාධපුර රාජධානියේ මහා විහාරයෙහි සංඝ නේතෘන් වහන්සේට මා පිළිබඳව හඳුන්වා දෙනු ලබන හසුනක් මේ පැළලුප් නුවර අශෝකාරාම මහා විහාරාධිපතින් වහන්සේගෙන් ලබා ගතිමි. මේ පුස්කොළ සංදේශය එයයි. එම සංදේශය පෙන්වා කියවා දරුවන්ගේ අනුමැතිය ගෙන එයින් සතියකට පමණ පසු ලක්දිවට පැමිණීමට පැළලුප් නුවරින් පිටත් විය.

ලක්දිව උතුරේ දඹකොළ පටුනට පැමිණීමට නියමිත රුවල්නැවකට නැගීම පිණිස කාවේරි මුහුදු වරායට පැමිණ නමුදු දේශගුණ විපර්යාසයක් නිසා වර්ෂාව මීදුම සහ සුළි සුළං හේතු කොටගෙන මාසයක්ම නැව්තොටෙහි රැඳී සිටීමට සිදුවිය. එක එක දේශවලට යන එන රුවල් නැව් සිය ගණනාවක් එහි රැඳී තිබිණි. දහ දොළොස්දහසක් පමණ සෙනඟ ද පිටත යා ගත නොහැකිව එහිම රැඳී සිටියෝය. විසාක දක්ෂ වෙළඳ ව්‍යාපාරිකයෙකි. ඔහු ගමන් වියදම් සඳහා තමා ළඟ තිබූ මුදල යොදවා ඒ මාසය තුළ වරාය තුළ සුළු වෙළඳාමක් කළේය. ඒ කෙටි කාලය තුළ වුවද ඔහුගේ දක්ෂකම් නිසා විශාල මුදලක් උපයා සපයා ගැනීමට හැකිවිය.

මාසයක්ම නැව් තොටේ පමාවී ලක්දිව දඹකොල පටුනට ගොඩබැස අනුරාධපුර මහා විහාරයට පැමිණියේය. අශෝකාරාම මහරහතැන් වහන්සේගෙන් ගෙනෙන ලද තමා හඳුන්වා දී ඇති ලිපි ලේඛන ද ඉදිරිපත් කරන ලදී. රුවන්වැලි සෑය, ශ්‍රී මහා බෝධිය, ථූපාරාමය ආදී අටමස්ථාන සහිත අනුරාධපුර ශුද්ධ නගරයෙහි සිටියේදී විසාක වෙළඳ පුත්‍රයාට දේශීය විදේශීය බොහෝ මිත්‍රයෝ ද මුණ ගැසුණේය. ඒ නිසාම නොබෝ දිනකින්ම මහණ වීමට දින නියම කර ගැනීමට අපහසුවක් නොවීය.

මහා විහාරයේ මහා තෙරුන්ගේ අනුමැතිය පරිදි පැවිද්ද ලෝවාමහා ප්‍රාසාදයෙහි බිම් මහලෙහි යොදා ගන්නා ලදී. එදා සම්භාවනීය භවතුන්ගේ වැදගත් ආගමික උත්සවයන් සඳහා මේ ස්ථානය තෝරා ගෙන ඇති බව පෙනේ. පැවිදි වන දවසේදී තම මහණකම දැකීමට පැමිණි සියල්ලෝම හිස් අතින් නොයෙත්වායි” පවසා තමා ළඟ තිබූ මසුරන් ලක්ෂ ගණනක මහ පසුම්බිය, කාටත් අහුලා ගැනීම පිණිස ඒ අසල පිහිටි ගල් තලයක් මත හැළූයේය. මෙසේ මහ පරිත්‍යාගයක් කොට පැවිද්දට පත් වූ මෙතුමෝ සැමදා නොකඩවා දියුණු කළේ මෛත්‍රී භාවනාවයි. පස් වසරක්ම මහා විහාරයෙහි වෙසෙමින් ධර්ම විනය හදාරා නිම කොට එතැන් පටන් එක ප්‍රදේශයක සාර මාසය බැගින් වෙසෙමින් ලක්දිව පුරාම සංචාරය කළේය.

පසු කලක සිතුල්පව් වෙහෙරට ගොස් සාර මසක් වාසය කොට වස්සාන කාලයක් නිමවා හෙට උදෑසන සිතුල් පව්වෙන් පිටත් වෙමි සිතා “ පුරුදු මෛත්‍රී භාවනා කරමින් නින්දට ගියේය. කෙනෙකුගේ මහ හැඩීමක් මැදියම් රැයෙහි උන් වහන්සේගේ කුටිය ඉදිරිපිට ඇසුණි. කුටිය දොර ඇර එළියට ආ විට තම සක්මන් මළුවේ කෙළවර මහා මයිල ගසේ සිට ඒ හැඩීම ඇසුණු බැවින් එතැනට ගොස් හඬන්නේ කවරෙක්දැයි ශබ්ද නගා ඇසීය.

“ස්වාමීනි, විශාක තෙරුන් වහන්ස හඬන්නේ මමයි පවසමින් මහා ආලෝක ධාරාවක් විහිදුවා බබලන දිව්‍ය පුත්‍රයෙක් අහසට පැන නැගී” ඔබතුමන් හෙට මේ සිතුල්පව් ප්‍රදේශයෙන් යන බැවින් මම හඬමි. ඔබතුමන් මේ ප්‍රදේශයට වැඩම වූ දා පටන් යක්ෂ ප්‍රේත භූතයන් අතරට ද භූමාටු දෙවියන් අතර ද මිනිසුන් අතරට ද පුදුමාකාර එකමුතු බවක් සුහදශීලී බවක් සාමකාමී බවක් පවතී. මෙයට හේතුව විමසා බැලුවෙමි. සිල්වත් බවින් යුතුව ඔබ වහන්සේ වඩන අපරිමිත මෛත්‍රී සිතිවිලි ධාරාව නිසා මේ තත්ත්වය ඇති වූ බව මම දැන ගත්තෙමි.

මේ ප්‍රදේශයට අධිගෘහිත ප්‍රධාන භූමාටු දිව්‍ය පුත්‍රයා වශයෙන් තව කලක් වැඩ සිටින ලෙස ඔබ වහන්සේට ආරාධනා කරමි” අධිපති දිව්‍ය පුත්‍රයා බලවත් ඇවිටිල්ලකින් යුතුව කරන ලද ඒ ආරාධනාව පිළිගෙන විශාක තෙරුණ්ට දිගටම සිතුල්පව්වේ නැවතීමට සිදුවිය. මෙසේ භූම්මාටු දෙවිවරුන්ගේ ඇප උපස්ථාන ලබමින් සිතුල් පව්වෙම වැඩ සිට නොබෝ කලකින් උන් වහන්සේ කෙලෙසුන් නසා සෘද්ධි බල සහිතව මහරහත් බවට පත්වූ සේක. විශාක මහා තෙරුණ්ගේ පිරිනිවන් පෑම සිදුවූයේ ද සිතුල් පව්වේ දීමය.

මෙතරම් උසස් සැලකිලි සහිතව ජීවත් වූයේද මෛත්‍රී කර්මස්ථානයම පාදකකොට ගෙන, රහත් බවට පැමිණීමට හැකි වූයේද මෛත්‍රිය නිසි පරිදි වැඩීම සහ පුරුදු කිරීම නිසා බව සැලකිය යුතුය. බුදුබව පතන උතුමෝ මෛත්‍රීය පාරමිතාවක් වශයෙන් පුරුදු පුහුණු කරන්නේ එයාකාරයෙනි. මේ කථා ප්‍රවෘත්තියෙන් මෛත්‍රියෙහි ඇති බලයත් දේවියන්ගේ සැලකිල්ලත්, එදා ලක්දිව පැවති සෞභාග්‍ය සම්පන්න බවත් අපේ ජනතාව තුළ පැවති උදාර මානෂික ගුණ පිළිබඳවත් පැහැදිලිව දැක්වෙන නිසාත් මේ කථාව තරමක් දිග් වූ බව සඳහන් කළ යුතු තිබේ. නිසි පරිදි මෛත්‍රිය වඩන්නේ නම් දැනුදු මෙවැනි අනුසස් ලබාගත හැකි බව ඉඳුරාම කිව යුතුව ඇත.

උපේක්ෂා පාරමිතාව

යමෙක් පිළිබඳව හෝ යමක් පිළිබඳව ගැටීමකින් තොරව කා කෙරෙහිත් සම සිත පතුරවාලීම උපේක්ෂාවයි. තමන්ට ස්තුති ප්‍රශංසා කරන විට ගරු බුහුමන් දක්වන විට - උපකාර කරනවිට - ලැදිකමින් ඇසුරු කරද්දී, ඒ අය කෙරෙහි බලවත් ඇල්මක් ඇති කර ගැනීමක් ද නොමැතිව, තමන්ට කවුරු හෝ අවමන් කරන හිංසා පීඩා කරන අවස්ථා වලදී විරුද්ධවාදීකම් කරද්දීත් කලකිරීමක් හෝ අසතුටු බවකුත් නැතිව මේ අවස්ථා දෙකේදීම තම සිත සමසේ පවත්වා ගැනීමට පුරුදු වීම උපේක්ෂාවයි. තාදී ගුණය යනු උපේක්ෂාවටම භාවිතා කරන ධර්මයෙහි එන තවත් වචනයෙකි.

ලාභො අලාභො අයසො යසොච
නින්දා පසංසාචසුඛංච දුක්ඛං
එතෙ අනිච්චා මනුජෙසු ධම්මා
අසස්සතා විපරිනාම ධම්මා

අෂ්ටලෝක ධර්මයන් වශයෙන් දැක්වෙන ලාභ, අලාභ, නින්දා, ප්‍රශංසා, යස, අයස, සැප - දුක් යන මේ ස්වභාව ධර්ම අටට බුදු පසේ බුදු මහරහතුන්ගේ පටන් කවර කෙනෙකුට වුවද මුහුණ දීමට සිදු වන්නේමය. මේ ලෝකයෙහි වෙසෙන අපි සැමදෙනාට යමක් ලැබෙන අවස්ථාවන් තිබේ. ගොවිතැන වෙළඳාම, රැකී රක්ෂාවකින් හෝ ධනවතුන්ගේ උපකාරයෙන් යම්කිසි දෙයක් ලැබෙන කාල වකවානු තිබේ. එසේම, යම් යම් කරදර යෙදී තිබෙන දේත් නැති වී විනාශ වී යන වකවානු ද ඇත. මේ ලාභ අලාභ දෙකය. සමාජයෙන් අපමණ නින්දා අපහාස ලැබෙන අවස්ථාවන්ද ඇත. තමන් බලාපොරොත්තු නොවූ අයුරින් පවා සමාජයෙන් ලෝකයෙන් ස්තුති ප්‍රශංසා ගරු නම්බු ලැබෙන කාල ද ඇත. නින්දා ප්‍රශංසා යනු මේ දෙකයි.

කිසිවෙකු නැති, කාගේවත් ඇස් බැල්මකට හසු නොවී අනාථ පුද්ගලයෙකු සේ අසරණ තත්ත්වයෙන් ජීවත් වීමට සිදුවන වකවානු ද ඇත. තව කලකදී එය වෙනස්වී යසස නමින් දැක්වෙන මහා පිරිස් බලයක් ඇති – කා අතරත් ජනප්‍රියත්වයකින් යුතුව ජීවත් වීමේ අවස්ථාවන්ද පැමිණේ. යස - අයස යනු මෙයයි.

අඩු පාඩුවකින් තොරව සියලු සැප පහසුකම් ඇතිව ජීවත් වීමට හැකිවන අවස්ථාවන් සේම අපමණ දුක් කරදර නැති බැරිකම් අග හිඟකම්වලින් අසීමිත ලෙස පීඩා විඳීමට සිදුවන කාලයෝ ද මිනිසාට පැමිණේ. ඒ සෑම අවස්ථාවකම හිත කළකිරවා නොගෙන, අසවලා නිසා හෝ අසවලුන් නිසා මට මේ කරදර අලාභ සිදු වේ යයි කෝප, ක්‍රෝධ ආදිය හිතේ ඇති කර නොගෙන මෙහි සඳහන් අටලෝ දහමට සම සිතින් මහුණ දීමට හුරු පුරුදු විය යුතු ය. සුඛංච ජක්ඛං යනු ඒ දෙකයි. අටලෝ දහමට මුහුණ දිය හැකි බව මහා ගුණයකි. එය එසේ මෙසේ කෙනෙකුට පවත්වා ගත හැකි ගුණයක් නොවේ. ඒ නිසා මේ කියන අටලෝ දහමට සම සිතින් යුතුව මුහුණ දීමට හිත දියුණු කර ගැනීම උපේක්ෂා ගුණයයි.

ලැබෙන පරිභවවලට – හිංසා පීඩාවලට අසතුටකින් තොරව මුහුණ දීමටත් සැප පහසුකම් තාන්නමාන්න ලැබෙන විට හිස උදුම්වා ගන්නේ නැතිව එයටත් නිහතමානීව සම සතින් යුතුවම පිළිපැදිය යුතුය. මේ කියන උපේක්ෂා ගුණය නැති පුද්ගලයා යමක් ලැබුණු විට තැනක් ලැබුණු විට දඟලති. කෑකෝ ගසති. අන් අය හෙළා දකිති එය නූතන ලෝකයෙහි අප අතර පවත්නා පහත් පෙළේ සිරිතක් ව ඇත.

එසේම අගහිඟකම් ඇති වන විට කරදර කම්කටොලුවලට මුහුණ දීමට සිදුවන විට අන් අයට අවලාද කරමින් – රණ්ඩු සරුවල් ඇති කරගනිමින් සිදු කරන පාපයන් පිළිබඳව නොදන්නා කෙනෙක් නැත. මේ දුර්ගුණය නිසා උදාර ගුණයන්ගෙන් අපි පිරිහීමට පත්ව ඇත. එන එන කවර අර්බුදකාරී ප්‍රශ්නයකට වුවද මුහුණ දී සිත සමව පවත්වාගනු පිණිස ගත් උදාර පරිශ්‍රමයක් පිළිබඳව ලෝම හංස ජාතක කතාවෙන් පැහැදිලි වන්නේ ය.

අප මහා බෝසතාණෝ ඈත කාලයක බොහෝ සම්පත් ඇති පවුලක උපත ලබා දිසාපාමොක් ආචාරීන් වෙතින් උසස් අධ්‍යාපනය ද නිම කොට මේ උපේක්ෂා පාරමිතාව සම්පූර්ණ කර ගැනීමට අදිටන් කර ගත්තේය. පැවිදි වුවහොත් එය හරි හැටි සපුරා ගැනීමට නොලැබෙන බැවින් තමන්සතු සියලු දේපළ අරෝග්‍යශාලා පාඨශාලා මඟ යන එන අයට නැවතීමට විශ්‍රාම ශාලා - එදා පැවැති ආගමික ආයතනවලට පුදා නැති බැරි අයට ද ඉතිරි සියල්ල ද පරිත්‍යාග කොට අනගාරික බවට පත් වී බ්‍රහ්මචාරී පුද්ගලයෙක්ව මිනිසෙකුට මුහුණ දීමට සිදුවන කෙබදු ප්‍රශ්නයකට වුවද, පුරුදු වීම පිණිස මහ මඟට බැස්සේ ය.

හොඳ මිනිසුන් වෙසෙන ගම්වල ද එසේම නපුරු මිනිසුන් ඉන්න ගම්වල ද සැරිසරමින් දුක සැප දෙකටම එක සේ මුහුණ දී සම සිත් – මැදිහත් බව ඇතිවම එක රැයක් පමණක් එක ගමක ගත කෙළේ ය. හොඳ ගම්වලදි සැප පහසුකම් ලැබුණේ යයි සිතා කිසිවිටෙකත් අමුතු සතුටක් ඇතිකර නොගත්තේ ය. නපුරු ගමකට ගිය විට අනාදරයෙන් හිරිහැර කළ ද හිත වෙනස් කර නොගත්තේ ය. පහරදීම්, මුහුණට කෙළ ගැසීම් බඳු අදමිටුකම් කරන මිනිසුන් වෙසෙන ගම්වලට ගිය ද ඒ හිරිහැර විඳීමින් ඒ දවස ගත කෙළේ ය. සමහර ගම්වලදී දෙකනට කෝටුවලින් අනින අශිෂ්ට කොලු කුරුට්ටන් ගෙන් ද හිරිහැර ඇති විය.

මේ කිසිවකුටත් කම්පා නොවී මාගේ මේ දුෂ්කර ව්‍යායාමය සම්මා සම්බෝධියට පත්වීම සඳහා උපේක්ෂා පාරමිතාව බවට පත් වේවායි ප්‍රාර්ථනා කළහ.

සුබ දුක්ඛේ තුලා භූතෝ - යසේසු අයසේස්‍රච
සබ්බත්ථ සමකෝ හෝමි – ඒසා මේ උපේක්ඛා පාරම

සැප දුක් – යස අයස ආදී අටලෝ දහමෙහි මම සෑම අවස්ථාවකදීම මැදිහත්ව සම සිතින් යුතුවම උපේක්ෂා පාරමිතාව සම්පූර්ණ කර ගතිමි. ලෝම හංස බෝසත් තාපසයන් වහන්සේ ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළ අයුරු ඉහත සඳහන් ගාථාවෙන් පැහැදිලි වන්නේ ය.

අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා