සම්බුද්ධ කාය පිරිනිවුනද සම්බුදු දහම පිරිනිවුන් නොවේ

සම්බුද්ධ කාය පිරිනිවුනද සම්බුදු දහම පිරිනිවුන් නොවේ

සම්බුදුවරයෙකු ලොව පහළ වනුයේ ඉතා කලාතුරකිනි. සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පෙරුම් පුරන බෝසත්වරයෙකු බුදු බවට පත්වනුයේ තම පෞද්ගලික අභිමතාර්ථ ඉෂ්ට කරගැනීමට නොව ලෝක සත්ත්වයාට සසර කතරින් එතෙර වීමට මඟ පෙන්වීම සඳහායි. මිනිසා යනු සංසාරගත සත්ත්වයෙකි. විවිධ ආත්මවල උපත ලබා විවිධ දුක් දෝමනස්සයන්ට මුහුණ දී ලබන මනුෂ්‍යත්වය අර්ථවත් කරගත හැක්කේ සම්බුදුවරයෙකු දේශනා කරන ධර්ම මාර්ගය අනුගමනය කිරීමෙන් පමණි.

සිද්ධාර්ථ බෝසතුන් එදා බුදුවන ආත්මයේ විසි නව වසක් ගිහි ගෙයි කල් ගෙවීය. ළමා කාලයේ සෙසු ළමයින් ගත කරන කෙළිලොල් ජීවිතයට බෝසතුන් ද මුහුණ දුන්නේ ය. තරුණ වයසේ දී සියලු ශිල්ප ශාස්ත්‍ර හදාරා ශිල්ප දක්වා යශෝධරා කුමරිය සමඟ විවාහ ජීවිතයට ද පත් විය. රම්‍ය, සුරම්‍ය, සුභ යන තුන් මහා ප්‍රාසාදවල සියලු සැප සම්පත් වීඳීය, එය ජීවිතයට යථාර්ථවාදීව මුහුණ දීමක් නොවන බව බෝසතුන්ට වැටහුණි. මහල්ලෙක්, ලෙඩෙක්, මළමිනියක් පැවිදි රුවක් යන සතර පෙර නිමිති දැකීමත් සමඟ බෝසතුන් ජීවිතයේ යථාර්ථය ද වටහා ගත්තේ ය.

මෙලොව අප විවිධ සැප සම්පත් විඳීමින් කුමන ලෙස ජීවත් වූව ද මහලු වීම, ලෙඩවීම, මරණයට පත්වීම, යන තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු වෙයි. ඒ තුළින් මිනිසාට විදීමට සිදුවන දුක ඉමහත් ය. එනිසා මේ මනුෂ්‍ය දුක මෙන්ම සංසාර දුකින් එතෙර වීම සඳහා තව තවත් කම් සුව විදිම අනුවනකමකි. මේ ගිහි ගෙයින් නික්ම යා යුතුය. කම්සුව අත්හැර යා යුතුය. එසේ සිතු බෝසතුන් එදා ගිහිගෙය අත්හැරදා ගොස් පැවිදි බවට පත්විය. විවිධ ගුරුවරුන් වෙත සත්‍ය සොයා ගිය බෝසතුන්ට සදාකාලික සුවය ලබන මඟක් ඔවුන් නොදන්නා බව වැටහුනි. එනිසා වසර හයක් දුෂ්කර ක්‍රියා කරමින් විවිධ භාවනා ක්‍රම ප්‍රගුණ කොට සත්‍යාවබෝධය ලබාගැනීමට කළ උත්සාහයේ ප්‍රතිඵලය නිසාම වෙසක් පුර පුන් පොහෝ දිනක සම්මා සම්බුද්ධත්වයට පත්විය.

බුද්ධත්වය යනු චතුරාර්ය සත්‍ය ඇතුළු දතයුතු සියලු ධර්මයන් අවබෝධ කර ගැනීමයි. උන්වහන්සේ හැර වෙනත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් උතුමෙකු මුළු තුන් ලෝකයේ ම නැත.

බුදුන්වහන්සේ තරම් තුන් ලොව පිළිබඳ දත් උතුමෙකු ලොව නොමැති නිසා බුදුවරයෙකු යනු ලොවට ශාන්තියකි සම්පතකි.

සුඛෝ බුද්ධානං උප්පාදෝ
සුඛා සද්ධම්ම දේශනා
සුඛා සංඝස්ස සාමග්ගී
සමග්ගානං තපෝ සුඛෝ

බුදුවරයෙකුගේ උපත ලොවට සුවදායකය. උන්වහන්සේ පවත්වන ධර්ම දේශනවාව සැපයකි. උන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂූන් වන්සේලාගේ සමගිය සැපයකි. සමගි වූ පිරිසගේ තපස සැපයකි. මේ අනුව බුදුරජාණන් වහන්සේ පහළ වීමෙන් ලොවට ලැබෙන ශක්තීන් මැනවින් පැහැදිලි වෙයි. බුදුරදුන් තිස්පස් වන වියේ දී බුද්ධත්වය ලබා එතැන් පටන් අසුවෙනි විය දක්වා ලොවට දම් දෙසමින් යහමඟ පෙන් වූ සේක. මෙලෙස පන්සාලිස් වසක් ලොවට දේශනා කළ ධර්මය ලෝකයාගේ මෙලොව සුවය පරලොව සුවය හා නිවන් සුවය පිණිස හේතු වූහ.

පන්සාලිස් වසක් පුරා විදහා දැක්වෙන බුදු සිරිත පුරා ආදර්ශවත් බව නායකත්වය ධර්ම දේශනා විලාසය චින්තන නිදහස, මහා කරුණාව, මහා ප්‍රඥාව, පරෝපකාරය, සහජීවනය, සන්තුෂ්ට්ඨිය ආදී ගුණාංග රැසක් පිළිබිඹු වෙයි. සම්බුදුරදුන් දුගී පැල්පතටත්, සිටු මැදුරටත් රජමැදුරටත් වැඩම කොට ඔවුන්ගේ ජීවිත අර්ථවත් කර ගැනීමට අවශ්‍ය කරන ධර්මෝපදේශ රැසක් ලබාදී ඇත.

එකල සමාජයේ පැවැති වර්ණභේද, ජාතිභේද, ආගම් භේද ආදිය දුරුකරලීමට බුදුරදුන් නිරතුරුව ධර්ම දේශනා මගින් උත්සාහ ගෙන ඇත. සම්බුදුරදුන්ගේ දහම අකාලිකය. එය එක් කලකට පමණක් සීමා නොවේ.

වර්තමාන සමාජයට ද බුදු දහම අතිශයින් අවශ්‍ය වී ඇත. එදා බෝසතුන් වෙසක් පුන් පෝදිනක ලුම්බිණි සල් උයනේ ඉපිද බෝමැඩදී වෙසක් පෝ දිනකම බුද්ධත්වය ලබා කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවර්ථන සල් උයනේ වෙසක් පුන් පෝ දිනකම පිරිනිවන් පා වදාළ වුවද උන්වහන්සේ දෙසූ දහමින් අපට ලැබෙන සැනසුමෙහි කිසිදු අඩුවක් වර්තමානයේ නොමැත.

සම්බුද්ධකාය පිරිනිවීමට පත් වුව ද සම්බුද්ධ දහම කිසිදු කලෙක පිරිනිවීමට පත් නොවෙයි. එම නිසා වත්මන් සමාජයේ පවතින ගැටලු හා අභියෝග වලට බුදුදහමෙන් විසඳුම් ලබාගත යුතුය.

සබ්බපාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං
ඒතං බුද්ධානුසාසනං

සියලු පව් වැඩ නොකළ යුතුය. කුසල් කළ යුතුයි. සිත පිරිසුදු කරගත යුතුයි. එය බුදුරදුන්ගේ අනුශාසනය වේ. ඉහත අවවාදය පිළිබඳව වත්මන් සමාජයේ සෑම අයෙකුගේම අවධානය යොමු විය යුතුයි. අද සමාජයේ දසතින්ම අසන්නට දකින්නට ලැබෙනුයේ අනුන්ට හිංසා කිරීම, සොරකම, වැරැදි කාම සේවනය, බොරුකීම, කේළම, පරුෂ වචන, මත්වතුර හා දුම්වැටි පානය, සූදුව ආදී දුෂ්චරිතයන්ය. මිනිසාට මේ තුළින් මෙළොව මෙන්ම පරලොව දී විවිධ විපාකයන්ට මුහුණ පෑමට සිදු වෙයි.

කරන කලට පව් මිහිරිය මී සේ
විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ

පුද්ගලයා විවිධ පාපයන් සිදු කරනුයේ තමාට යහපතක් වේයැයි මී පැණි යයි සිතමිණි, නමුත් එහි විපාක මෙලොව හා පරලොව දී විදීමට සිදුවන්නේ ගිනිසේ ය. අද ලොවේ නවීන විද්‍යාවේ දියුණුව නිසා විවිධ උපකරණ අවි ආයුධ යාන වාහන නිපදවා ඇත. ඒ තුළින් මිනිස් සමාජයට පීඩා විදීමට සිදුව ඇත. විෂ වායුව නිසා පරිසරය දිනෙන් දින දූෂණය වෙමින් පවතී. නිපදවා ඇති අවි ආයුධ නිසා මිනිස් සමාජය දිනෙන් දින විනාශයට පත් වෙයි. යමක් නිපදවීමේදී අප පළමුව ඉන් සිදුවන්නේ යහපතක්ද අයහපතක්ද යැයි සිතා යහපතක් වේ නම් පමණක් නිපදවිය යුතුය. නමුත් වර්ථමානයේ නිපදවා ඇති උපකරණ බොහෝ සේ මිනිසාගේ විනාශයටම හේතු වී ඇත.

බුදුරජාණන් වහන්සේ නිරතුරුව ලෝක සත්ත්වයා වෙත ධර්මය දේශනා කොට ඇත්තේ ප්‍රඥාව හා කරුණාව පදනම් කරගෙන ය. බුදු දහමින් ඉගැන්වෙන ධර්මතා තුළ වර්තමානයට හෝ අනාගතයට හානිකර කිසිදු දෙයක් නැත. මිනිසාගේ සදාකාලික සැනසීම සඳහා වූ ධර්මයකි. ඒ නිසා වෙසක් පුන් පොහෝදා සම්බුදුරදුන් අවබෝධකරගත් ධර්මය දෙස අප නිරතුරුව අවධානය යොමුකළ යුතු ය. තමන්ටත් අනුනටත් පරිසරයටත් හිතකාමී ලෙස ජීවත්වීමට අපි කටයුතු කරමු.

සම්බුදු තෙමඟුල අර්ථවත් කර ගැනීමට සැදැහැ සිතින් පන්සල් යමු, සිල් සමාදන් වෙමු, දාන, සීල, භාවනා ආදී කටයුතුවල නියුතු වෙමු. වෙසක් පහන් දල්වමු. පෙරහර යමු, දන්සල් පවත්වමු. බුද්ධ පූජා බෝධි පූජා පවත්වමු. එමෙන්ම අනුන් රවටා තම ආත්මාර්ථය සලසා ගන්නා ක්‍රියාවල නියුතු නොවෙමු. සැබෑ ලෙසම සම්බුදු දහම මෙනෙහි කරමු. කළයුතු හා නොකළ යුතු දේ කුමක්දැයි හඳුනා ගනිමු. තමාටත් අන් අයටත් හිතකර දේ කරමින් සැනසීමෙන් ජීවත් වෙමු. බුදුරදුන් දෙසූ ධර්මය එදාට නොව අදට ය. අපගේ ජීවිතය වෙසක් සඳමෙන් ආලෝකමත් හා ප්‍රබෝධමත් කර ගැන්මට අදිටන් කර ගනිමු.

විතාරන්දෙණියේ වජිරවංශ හිමි
හම්බන්තොට සිංහගිරි විහාරාධිපති,
සූරියවැව ජාතික පාසලේ ආචාර්ය,
ලෝක බෞද්ධ සඟ පෙරමුණේ මාධ්‍ය ලේකම්,
බොදු සංරක්ෂණ සභාවේ සභාපති

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා