රහතන් වහන්සේගේ කතා සහ උදාන ගීත

රහතන් වහන්සේගේ කතා සහ උදාන ගීත 169

සසර දුකෙන් මිදීම සඳහා ඒ උතුමෝ අපමණ වෙහෙස දැරූහ. චතුරාර්ය සත්‍යය අවබෝධ කැර ගැනීමෙන් පසු දුකෙන් මිදුණහ. දුකෙන් මිදීම නිවනය. ඒ අසිරිමත් අවස්ථාවට පැමිණීමෙන් පසු ලැබූ ශාන්ත සුවය උදාන ගාථා ලෙසින් උන්වහන්සේ පළ කළහ. රහත් උතුමන් දෙසිය සිවුසැට නමක ගේ ලුහුඬු ජීවිත කතා සමඟ ඒ උතුමන් දෙසූ උදාන ගාථා ‘ආලෝකෝ උදපාදි’ සමඟ ඔබට පුදමු.

බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ ඛුද්දක නිකායේ ථෙර ගාථා පාලි කෘතිය මෙහි දී ඇසුරු කැරිණි.

ථෙර ගාථා කියැවීමට පෙර ඛුද්ධක නිකාය ඔබට මේ ඇරියුම කරයි. “ඒ උතුම් රහතුන් ගේ හඬට සවන් දෙන්න.”

මහ කඳු මැද පිහිටි ගුහාවල වෙසෙන නද දෙන, තියුණු දත් ඇති සිංහයන් වැනි දියුණු කළ සිත් ඇති ඒ උතුම් රහතුන්ගේ හඬට සවන් දෙන්න. නොයෙක් නම්වලින්, ගෝත්‍රවලින්, ඒ රහත් උතුමන් හැඳින්ෙවි. උන්වහන්සේ අනලස් ය. සමාපත්තිවලට සමවදිති. ප්‍රඥාවන්ත ය. සියලු දුකෙන් මිදුණහ. විදර්ශනා භාවනාවේ යෙදී නිවන් සුව සාදා ගත් උන්වහන්සේ මේ උදාන ගාථා වදාළහ.

දුකක් නොවිඳ මම ලැබුයෙමි නිවන් සුවය

හිමාලය කඳුවැටිය අසබඩ උක්කට්ඨ නුවර ධනවත් බමුණු නිවසක උපන් අංගානික භාරද්වාජ කුමරු ත්‍රිවේදය හදාරා මහ පඬිවරයකු ලෙස ප්‍රකට විය.

ඔහුට ගිහි ගෙය එපා විය. පිරිවැජියකු ලෙස පැවිදි වී සසර දුක හමාර කරනු පිණිස විවිධ අයුරින් තපස් කම් කළේය. වනයට ගොස් ගිහි දෙවියන් පිදීය. අත්ථකිලමථානු යෝගයට අනුව සිරුරට විවිධ දුක් දෙමින් සසර අග දකින්නට වෑයම් කෙළේය. ඒ සඳහා මග පෙන්වන්නකු සොයා දඹදිව පුරා සංචාරය කෙළේය.

දිනක් ඔහුට බුදු රජාණන් වහන්සේ හමු විය. උන් වහන්සේ දුටු පමණින් ම සිතේ පැහැදීමක් ඇති විය.

“මා සොයන මග මුන් වහන්සේ ළඟ ඇති”

මේ පිරිවැජියාට සිතිණ.

බුදුහු දහම් දෙසූහ.

පිරිවැජියාට තමා මෙතෙක් කල් ගිය ගමනේ මිථ්‍යාව පෙනිණ. ඔහු බුදු සසුනේ පැවිදි විය. කමටහන් ගෙන විදසුන් වඩන්නට වූ අංගණික භාරද්වාජ හිමියෝ නොබෝ දිනකින් ෂඩ් අභිඥාාලාභීව රහත් බවට පත් වූහ.

උන් වහන්සේට සිය නෑදෑයන් ගිහි දෙවියන් පුදමින් ගඟට බැස පව් සෝදමින් ගෙවන, මිථ්‍යාව පිරුණු ජීවිතය සිහි විය.

“ඔවුන්ට සැබෑ දහම හඳුන්වාදීම මගේ යුතුකමය. මම උක්කට්ඨා නුවරට යමි” යි සිතූ අංගණික භාරද්වාජ රහතන් වහන්සේ නෑදෑයන් හමු වුහ.

උක්කුට්ඨා නුවර තරුණයෝ මේ විප්ලවීය අලුත් දහම වහා පිළිගත්හ. වැඩිහිටියෝ ද නව දහමේ සත්‍යය දුටු පසු බුදු සමය පිළිගත්හ. තෙරුවන් සරණ ගියහ. ඉන් පසු කුරු රට කුණ්ඩිය නම් නියම් ගමේ වූ ආරණ්‍ය සේනාසනයක වැඩ වුසුහ.

දිනක් උන්වහන්සේ උග්ගාරාමයට වැඩියහ. එහි දී උත්තරාපථයෙන් පැමිණි හිතවත් බමුණු පිරිසක් හමු විය.

“පින්වත් භාරද්වාජය, ඔබ බමුණු දහම අත්හැර බුදු දහම පිළිගන්නේ කුමක් නිසාද?” යි ඔවුහු ඇසූහ.

උන් වහන්සේ පිළිතුරු දුන්හ.

“භවයෙන් මිදීම පතා වේද ග්‍රන්ථවල සඳහන් පරිදි මම ගිහි දෙවියන්ට පූජා පැවැත්වුයෙමි. ශරීරයට දැඩි දුක් දෙමින් අත්ථකිලමථානු යෝගයෙහි යෙදුණෙමි.

මේ දුෂ්කර ක්‍රියාවලින් පලක් නොවිණ. මට බුදු රජාණන් වහන්සේ ඛ්මු විය. උන් වහන්සේ දහම අනුව ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි මධ්‍යම ප්‍රතිපදාවෙහි ගමන් කෙළෙමි. මට මා පැතූ භවයෙන් මිදීම සසර ගමන අවසන් කිරීම දැක ගත හැකි විය.

ශරීරයට දුක් නොදී සමථ විදර්ශනාදී භාවනාවල යෙදී සුවදායක ලෙස මම ඒ නිවන් සුවය ලැබුයෙමි.

බුදු රජාණන් වහන්සේ ධර්මයේ විශිෂ්ඨත්වය ප්‍රායෝගික අගය දැන ගත්හ.

මම ත්‍රිවිද්‍යාව ලැබුයෙමි. බුදු රජාණන්ගේ අවවාදය අනුව සසර අවසන් කෙළෙමි.

පෙර මම බමුණු ගෙයක උපන් හෙයින් නමට බ්‍රාහ්මණයෙක් වීමි. දැන් මම පව්කම් දුරු කළ හෙයින් සැබෑ බ්‍රාහ්මණයෙක් වෙමි. ත්‍රිවේදය හදාරා ලද දැනුම නිසා පෙර මම තේවිජ්ජ නම් වීමි. දැන් මම ත්‍රිවිද්‍යා අවබෝධ කර ගත් බැවින් තේවිජ්ජ වෙමි. පෙර මම ගඟට බැස පව් සේදූ නිසා ස්නාතක වීමි. දැන් මම ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති ජලයෙහි කෙලෙස් සෝදා හළ හෙයින් නහාතක නම් වීමි. වේද මන්ත්‍ර ධාරියකු වූ හෙයින් පෙර මම සොත්ථිය නම් වීමි.

දැන් මම ධර්මධරයකු වූ හෙයින් සොත්ථිය නම් වෙමි. පව් අත් නොහැර තුන්වේදය හදාළ නිසා පෙර මම වේදගු නම් වීමි. දැන් මම ආර්ය මාර්ග ඥානයෙන් සසර සයුර තරණය කළ හෙයින් ඒ සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබූ හෙයින් වේදගු නම් වෙමි”.

මෙම පිළිතුර බමුණු මිතුරන්ගේ සතුටට හේතු විය. ඔවුහු ද බුදු සසුනට එක්වූහ.

අංගණික භාරද්වාජ මහ රහතන් වහන්සේ සිය මිතුරු බමුණන්ට දුන් පිළිතුªරම පසු කලෙක උන් වහන්සේ සිය උදානය වශයෙන් පළ කළහ.

අනුවණ ලෙස වන මැද ගිනි දෙවි පිදුවෙ මි
එමගින් මේ සසරෙන් මිදුමක් පැතුවෙ මි
දුක නැසුමට සිරුරට දැඩි දුක් දුන්නෙ මි
එහෙත් විමුක්තිය අසලකවත් නොදිටි මි

බුදු දහමේ උත්තම බව බලනු මැන වි
දුකක් නොවිඳ මම ලැබුයෙමි නිවන් සුවය
ත්‍රිවිද්‍යාව හිමි විය මට නිවන සම ග
බුදු රදුන්ගෙ අවවාදය අනුව ගියෙ මි

නිකම් මැ මම බ්‍රාහ්මණව සිටියෙමි පෙර
සැබෑ බ්‍රාහ්මණයෙක් දැන් පව් දුර ලූ

තෙවිජ්ජ වූයෙමි පෙර මම් වේධය දැ න
ත්‍රිවිද්‍යාව දැන දැන් මම තෙවිජ්ජ වෙමි
පව් සෝදා පෙර ස්නාතක වූයෙමි
කෙලෙසුන් සෝදා අද නහාතක වෙමි

මන්ත්‍ර කියා පෙර මම සොත්ථිය වූයෙමි
දහම් දෙසා අද මම සොත්ථිය වන්නෙමි
තුන් වේදය දැන පෙර වේදගු වූයෙමි
සිව් සස් දැන සසර ගෙවා
දැන් මම වේදගුවන්නෙමි

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා