ලක්‍ෂ 4 ක හෙරොයින් සමඟ සැකකරුවෝ දෙදෙනෙක් අත්අඩංගුවට

ලක්‍ෂ 4 ක හෙරොයින් සමඟ සැකකරුවෝ දෙදෙනෙක් අත්අඩංගුවට

කොළඹ ප්‍රදේශයේ කුඩු ව්‍යාපාරිකයින් දෙදෙනකු රුපියල් ලක්‍ෂ හතරකට අධික වටිනාකමැති “හෙරොයින්” තොගයක් සමඟ ඊයේ (16) කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. දෙමටගොඩ සමන්තා වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ළඟ බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් ග්‍රෑම් 45 ක් තිබී ඇත. ඒවා ග්‍රෑම් පහ බැගින් ගුලි නවයක් ලෙස සකසා ඉටි ආවරණවල ඔතා තිබුණු බව පොලිසිය පවසයි.

කොළඹ කෝටිපති ව්‍යාපාරිකයකුගෙන් ලබාගත් බව කියන හෙරොයින් තොගය කුඩා පැකට්ටු සෑදීම සඳහා යොදාගන්නා බව ද, මත් ලෝලීන් වෙත විකුණන එම පැකට්ටු විශාල ප්‍රමාණයක් මේවායින් සාදන බව ද ඔවුන් පොලිසියට පවසා තිබේ. දෙමටගොඩ සමන්තා වත්තේ දී එක් සැකකරුවෙක් ඊයේ (16) උදෑසන හෙරොයින් ග්‍රෑම් 20 ක් සමඟ මුලින්ම අත්අඩංගුවට ගෙන ඔහු හෙළිකළ තොරතුරු අනුව අනෙකා හා හෙරොයින් ග්‍රෑම් 25 ක් එදින දහවල් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් තවදුරටත් රැඳවුම් නියෝග මත රඳවාගෙන කොටුව පොලිසිය මගින් ප්‍රශ්න කරයි.

කොළඹ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මැකාති පෙරේරා මහත්වරුන්ගේ උපදෙස් මත කොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක චමිල් රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්‍ෂක ඩබ්ලිව්. එම්. ඩී. නාරංපනාව, පොලිස් කොස්තාපල්වරුන් වන 7060 ප්‍රේමචන්ද්‍ර, 75306 දිමුතු, 49370 චින්තක, 70794 කරුණාරත්න, 70289 පෙරේරා, 40862 වීරසිංහ හා 70513 සංජය යන නිලධාරීහු වැටලීම සිදුකළහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා