රහතන් වහන්සේගේ කතා සහ උදාන ගීත - 172

රහතන් වහන්සේගේ කතා සහ උදාන ගීත - 172

සසර දුකෙන් මිදීම සඳහා ඒ උතුමෝ අපමණ වෙහෙස දැරූහ. චතුරාර්ය සත්‍යය අවබෝධ කැර ගැනීමෙන් පසු දුකෙන් මිදුණහ. දුකෙන් මිදීම නිවනය. ඒ අසිරිමත් අවස්ථාවට පැමිණීමෙන් පසු ලැබූ ශාන්ත සුවය උදාන ගාථා ලෙසින් උන්වහන්සේ පළ කළහ. රහත් උතුමන් දෙසිය සිවුසැට නමක ගේ ලුහුඬු ජීවිත කතා සමඟ ඒ උතුමන් දෙසූ උදාන ගාථා ‘ආලෝකෝ උදපාදි’ සමඟ ඔබට පුදමු.

බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ ඛුද්දක නිකායේ ථෙර ගාථා පාලි කෘතිය මෙහි දී ඇසුරු කැරිණි.

ථෙර ගාථා කියැවීමට පෙර ඛුද්ධක නිකාය ඔබට මේ ඇරියුම කරයි. “ඒ උතුම් රහතුන් ගේ හඬට සවන් දෙන්න.”

මහ කඳු මැද පිහිටි ගුහාවල වෙසෙන නද දෙන, තියුණු දත් ඇති සිංහයන් වැනි දියුණු කළ සිත් ඇති ඒ උතුම් රහතුන්ගේ හඬට සවන් දෙන්න. නොයෙක් නම්වලින්, ගෝත්‍රවලින්, ඒ රහත් උතුමන් හැඳින්ෙවි. උන්වහන්සේ අනලස් ය. සමාපත්තිවලට සමවදිති. ප්‍රඥාවන්ත ය. සියලු දුකෙන් මිදුණහ. විදර්ශනා භාවනාවේ යෙදී නිවන් සුව සාදා ගත් උන්වහන්සේ මේ උදාන ගාථා වදාළහ.

නොපමාව දහමෙහි හැසිරෙනු මැන

ධනීය ද සිය පියා මෙන් වළං තැනීමේ හපනෙක් විය. සකෙහි තැබූ මැටි ගුලිය විසිතුරු ව බඳුනක් වන හැටි ළමා වියේ සිටි දුටු ධනිය සක පෝරුව ළඟට මැටි ගෙනැවිත් දීමෙන් මුල දී පියාට උදව් විය. පසුව ඔහු පියාට වඩා දක්ෂ වළං තනන්නෙක් විය.

තරුණ ධනිය රජගහනුවර මහ වෙළෙඳ පොළට ද වළං යැවීය. ඔහුගේ වළංවලට ලොකු ඉල්ලුමක් තිබිණ. වළං ගොඩ ගැසීමට මහ ශාලාවක් තැනීමට ද ඔහුට සිදු විය. ඒ කුඹල් හල ඉදිරියෙන් වැටුණු මහ වීදියේ ගමන්කරන බොහෝ දෙනාට විවේක ගැනීමට ද එහි ඉඩ තිබිණ.

දිනක් උස මහත පුරුෂයෙක් මේ කුඹල්හලට ඇතුළු විය.

“අද රෑ මට මෙහි නවාතැන් ගත හැකිද?” ඔහු ඇසීය.

“ඔය ඕනෑ තරම් ඉඩ තියෙන්නේ. නතර වෙන්න.” ධනිය කීය.

හැන්දෑ අඳුර වැටුණු පසු කුඹල්හලට ඇතුළුවන පැවිද්දකු ධනියට දක්නට ලැබිණ.

“පින්වත, මට අද රෑ මෙහි නතරවිය හැකිද?” මිහිරි හඬකින් ප්‍රශ්නයක් නැඟිණ.

“ස්වාමිනී මෙහි වැඩ සිටින්න. හැබැයි සවස තවත් කෙනෙක් ඇවිත් ඉන්නවා. ඔහුට කරදර නොවන පරිදි හැසිරෙන්න” ධනිය කීය.

මඳ වේලාවක් ගෙවිණ. අමුත්තන් දෙදෙනා ම අඳුරේ සැතැපෙනු ඇතැයි ධනියට සිතිණ.

එහෙත් මැදියම් රැයේ කුඹල් හලෙන් මිහිරි හඬක් නැඟිණි. මිහිරිව නැෙඟනුයේ අර පැවිදි හඬය. උස මහත පුරුෂයා ඒ හඬට කන් දී සිටී. අවසානයේ දී අර පුරුෂයා සාදු කාරයක් දුන්නේ ය.

“මට සමාවෙන්න. මා අතින් සම තත්ත්වයේ ලා සලකා කළ නිගරුබවට මට සමාව දෙන්න. මා සොයා යමින් සිටි බුදු රජාණන් වහන්සේ ඔබ බව මට දැන් වැටහෙනවා. මා සෙවූ දෙය මට ලැබුණා. මගේ සිත දැන් මහා සැනසිල්ලකින් පිරී තිබෙනවා. මහා නිවීමක් තුළ මා දැන් පසුවෙනවා. ස්වාමීනි මට ඔබ වහන්සේ ළඟ පැවිදි වීමට වුවමනායි.”

ධනිය නිදා සිටි තැනින් නැගිට්ටේය.

හැන්දෑ අඳුරේ අපේ කුඹල් හලට වැඩම කොට තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ. මා උන් වහන්සේ ගැන අසා තියෙනවා. දැකලා නැහැ. අර අනෙක් පුද්ගලයා මහා නිවීමක් ලද බව කියනවා. පැවිදිවීමේ වුවමනාවක්ද තියෙනවා. මේක නම් සීනයක් වගෙයි. ධනිය තව දුරටත් කන් දී සිටියේය.

“සිවුරු පාත්‍ර නැතිව පැවිදි කරන්න බැහැ.” ඒ මිහිරි හඬ යළි නැඟිණ.

“මම හෙට උදේම සිවුරු පාත්‍රා සොයා ගෙන එන්නම්.” පුරුෂයා කීය.

ඉර පායන්නටත් පෙර ධනිය මැටි සපයා ගැනීම සඳහා ඈත ගමකට ගැලකින් ගියේය.

ඔහු ආපසු එන විට කුඹල්හල පාළුව තිබිණ. ගොනකු ඇන මරා දැමූ අයකුගේ මළ සිරුරක් පාරේ ඇති බව ධනියට මිතුරෙක් කීය. ධනිය ඒ මළ සිරුර බැලීමට ගියේය.

මේ අන් කිසිවෙක් නොවේ. ඊයේ රෑ අපේ කුඹල් හලේ සිටි තැනැත්තායි. ඔහු ඒ මළ සිරුර හඳුනා ගත්තේය. රියකින් බැස ආ සිටු වරයෙක් ඒ මළ සිරුර දැක හිසේ අත් ගසා ගත්තේය.

“මේ පුක්කුසාතී රජතුමා. මා ඇසුවා ඔහු රජකම අතහැර බුදු රජාණන් වහන්සේ දැකීමට පයින්ම ගමනක් ඇරැඹූ බව. අනේ අවාසනාවක හැටි. ඔහු බුදු රජාණන් වහන්සේ නොදැක මිය ගිහින්.” සිටුවරයා කීවේය.

ධනිය ඉදිරිපත් විය.

“ඔහු ඊයේ රෑ සිටියේ අපේ කුඹල් හලේ. එතැනට බුදු රජාණන් වහන්සේ වැඩියා. බණ කිව්වා. ඔහු සිත නිවී ගිය බව කීවා. පැවිදිවීම සඳහා පාත්‍රා සිවුරු සොයා ගැනීමට උදයෙන්ම යන බව කීවා.”

“එහෙනම් මේ පාත්‍රා සිවුරු සොයන්නට පාරට ආ ගමන් වෙන්න ඇති. සිත නිවීගිය බව කීවා නම් ඔහුට අවශ්‍ය දේ බුදු රජාණන් වහන්සේගෙන් ලැබෙන්න ඇති. මා හිතනවා ඔහු නිවන් දකින්න ඇති”

“බුදු රජාණන් වහන්සේ බණ කීවේ සුළු වේලාවයි. ධාතු ගැන කීවා මට මතකයි. මට ඇහුණේ ටික ටික.”

“මා අහලා තියෙනවා. ධාතු ගැන කීවා. නම් ඒක ගැඹුරු දේශනාවක්. ඒ දේශනාවෙන් සිත පැහැදුණා නම් පැවිදි වෙන්න හිතුණා නම් නිසැකවම පුක්කුසාති රජතුමා නිවන් දකින්න ඇති...”

පසු දිනෙක ධනියට ඒ ගැන ද අසන්නට ලැබිණි.

“පුක්කුසාති රජු මිය ගියේ නිවන් දුටු අයකු වශයෙන්. බුදු රජාණන් වහන්සේ වදාරා තිබෙනවා.”

“එබස් ඇසූ ධනිය මේ ධර්මය වහා ප්‍රතිඵල ලබා ගත හැකි එකක්. පැය කීපයක් බණ අසා සිත හදා ගෙන අර රජතුමා සසරෙන් එතෙර වුණා. මාත් ඒ අනුව ඒ මාර්ගයම අනුගමනය කළ යුතුයි.” සිතුයේය.

පසුදාම බුදුරජාණන් වහන්සේ දැක පැවිදි වූයේය.

පැවිදි වුවද විදසුන් වැඩීමේ වුමවනාවක් ධනීය හිමියනට නොතිබිණ. උන් වහන්සේ සිය කුටිය අලංකාර කිරීමට කාලය ගත කළේ ය.

මෙය බුදු රජාණන් වහන්ස්ට අසන්නට ලැබිණ. උන් වහන්සේ ධනීය හිමියනට අවවාද කළහ.

“නුඹ පැවිදි වූයේ ගෙවල් හැඩ වැඩ කර කර ඉන්නද? සසර දිනන්නට ඔහොම බැහැ. අවට සිටින භික්ෂූන් දෙස බලා වහා කමටහනක් ලබා ගෙන විදසුන් වඩන්න.”

ධනිය හිමියෝ සංඝයා සතු වෙනත් කුටියකට ගොස් විදසුන් වඩන්නට වූහ. වැඩි කලක් නොගොස් රහත් වූහ. පසු කලෙක ධනීය රහතන් වහන්සේ සිය උදානය මෙසේ පළ කළහ.

පැවිදි බවෙහි සුවසේ රැඳුමට නම්
සඟ සතු සිවුරට දනට නොගරහනු
පැවිදි බවේ සුවසේ රැඳුමට නම්
මීයකු සැරූ ගුලට ඇදී යන

නයකු ලෙසින් සෙනසුන්හි රැඳෙනු මැන
පැවිදි බවේ සුවසේ රැඳුමට නම්
ලද පමණින් සතුටට පත්වනු මැන
නොපමාව ම දහමෙහි හැසිරෙනු මැන

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා