විදසුන් උපදෙස්

විදසුන් උපදෙස්

පසුගිය සතියෙන් ඉතිරි

මේ ඇහැයි මේ රූපයයි, මේ කනයි මේ සද්දයයි කියල. මෙන්න මේ තත්ත්වය දැකීමට යොදපු වචනය, අපට කියන්න පුළුවන්, ‘ආයතනුප්පාදය’ කියල. ආයතන හටගන්න ආකාරය. ඉතාමත්ම වටිනා දේශනාවක් තියෙනව අංගුත්තර නිකායෙ ඡක්ක නිපාතයෙ සොණ සූත්‍රයෙ. ඒ සූත්‍රයෙ වටිනා ගාථා කීපයක් සඳහන් වෙනව, එක ගාථාවක් තමයි :-

’තණහක්‍ඛයාධි මුත්තස්ස
අසමෙමාහඤච චෙතසො
දිස්වා ආයතනුප්පාදං
සම්මා චිත්තං විමුච්චති

‘තණ්හඛ්ඛයාධිමුත්තස්ස අසමේමාහඤච චෙතසො’ - තෘෂ්ණාව ක්‍ෂය කිරීමෙහි යෙදුනු, ඊට හිත යොදා ගත්තු තැනැත්තාගේ, යෝගාවචරයාගේ – ඒ වගේම, අසමේමාහඤ්ච චෙතසො’ සිතෙහි අසමේමාහය - සිත මුළාවෙන් මුදාගැනීම සඳහා යෙදුනු යෝගාවචරයා පිළිබඳව - ඊළඟට කියවෙන්නෙ මොකක්ද ? ‘දිස්වා ආයතනුප්පාදං සම්මා චිත්තං විමුච්චති’ - ආයතනයන්ගේ හටගැනීම දැකල, ඒ යෝගාවචරයාගේ සිත විමුක්ත වෙනව.

හොඳින් විමුක්ත වෙනව. එතකොට, ආයතනයන්ගෙ හටගැනීම දැකීමෙන් සිත විමුක්ත වෙනව. එයින් අපට හිතාගන්න පුළුවන්, ආයතනයන්ගෙ හටගැනීම නොදැකීමෙන් තමයි, මේ බන්ධනය - මේ සංසාර බන්ධනය – යන්නෙ දිගට. අපි අර කිව්වෙ කලින්ම - අර දෙකොන පිළිබඳ ඒ අවබෝධය නැතිතාක්, මැදටත් ඉඩක් ලැබෙනව. ඇසත් රූපයත් කියන ඒ දෙකොන අල්ලාගන්න තාක් චක්‍ඛු විඤ්ඤාණයට ඉඩ ලැබෙනව. ඒ මොකද ? චක්‍ඛු විඤ්ඤාණය කියල කියන්නෙම ඇසත් රූපයත් දෙකක් හැටියට ගැනීමමයි.

හරියට අර මිරිඟුව ගැන කථා කරනව නම්, මුවා කල්පනා කරනව - ‘මා මෙතනයි වතුර අතනයි’, ‘මා මෙතනයි වතුර අතනයි’, එහෙම හිතාගෙනයි මුවා අර මිරිඟුව දෙසට දුවන්නෙ. හිතට දීලා තියන ‘විඤ්ඤාණය’ - වෙන් කර ගැනීම - වැරදියි, මුල ඉදලම. ඒක නිසයි මුවා කෙළවරක් නැතිව දුවන්නෙ. යන්න යන්න, අර පෙනෙන වතුර ඈත්වෙනව. ඔන්න ඔය විදියෙ තත්ත්වයක්. එතන තියෙන්නෙ මිරිඟුව. එතන ඒ මුවා ක්‍රියාත්මක වෙන්නෙ, මුවාගෙ හිතට වැදිලා තිබෙන විඤ්ඤාණයෙන් චක්ඛු විඤ්ඤාණයෙන්. අන්න එතකොට අර කුඤ්ඤ දෙකක් ගැහුව වගේ.

‘මගේ ඇහැ මෙතන තිබෙනව, අතන වතුර තිබෙනව. ඒක නිසා එතෙන්ට ගියාම ඒ වතුර දකින්න පුළුවන්, බොන්න පුළුවන්, කියල හිතාගෙන දුවනව. ඒ වගේ දෙයක් මෙතනත් , ඇසත් රූපයත් කියන මේ දෙකොන. එතන කුඤ්ඤ ගහගත්ත. ඇසත් රූපයත් තියනව කියල ඒවට සත්‍ය තත්ත්වයක් දුන්න. දීල, එතකොට ඒ වෙන් කිරීමම තමයි විඤ්ඤාණය කියල කියන්නෙ.

මේ තත්ත්වය හොඳටම අවබෝධ වන අවස්ථාව තමයි කෙනෙකුට, අර මෙනෙහි කිරීම ඉතාමත්ම ශීඝ්‍රව කරන කොට, සිතට එන අදහස පවා - සිතට එන සිතිවිල්ලක් - ඊට මුළාවනු වෙනුවට ඒක සිතිවිල්ලක් හැටියට මෙනෙහි කරනව. ඒක එතනම නතර වෙනව - හිතීමක් හැටියට. එතනම නතරවෙනව. සාමාන්‍යයෙන් අරමුණ කියන්නෙ එල්බ ගන්න දේ. හිතේ ස්වභාවය, මෙච්චර දීර්ඝ කාලයක් සංසාරයේ එල්බ ගැනීමෙන් පුරුදු කරගත්තු හිතේ ස්වභාවය, එන එන හැම එකකම මොහොක හරි, පිදුරු ගහක ඛ්රි, එල්ලෙනව. මේ භවයෙ රැඳීමට තිබෙන ආසාව නිසා.

 මහා ප්‍රපාතයකට වැටෙන මිනිහෙක් පිදුරු ගහක හරි එල්ලෙන්න වගේ, මේ පැවැත්මෙ කොයිතරම් දුක් කරදර වින්දත්මේකට තියන ආසාව, තණ්හාව නිසා, දැඩි ආසාව නිසා, ‘පොනොහවික’ තණ්හාව නිසා, මේක අල්ලගෙන මේකෙ කොතනක හරි එල්ලිලා ඉන්නයි බලන්නේ, ඒ විදියට, දැන් මෙතනත් මේ අරමුණ මනස ඒ අරමුණෙහි එල්බ ගන්න ස්වභාවයක් තියෙනව. ඇසට යමක් නොපෙනුණත්, කනට යමක් නොඇහුනත්, සිතට එන සිතිවිල්ල අරමුණක් වශයෙන් ගෙන, මේ හිතන්නේ මමයි, මේ මගේ හිත ට එන අරමුණක්’ කියල ඒක පිළිබඳව දෙකක් හැටියට අල්ලා ගැනීමේ සිරිතක් තිබෙනව.

ඒ අල්ලගන්නතාක් ඔන්න මනෝවිඤ්ඤාණයට තැන ලැබෙනවා. විඤ්ඤාණය කියන්නෙ මායාවක් නම්, මේ මායාව තේරුම් නොගත්ත ස්වභාවයක් ඒ මනොවිඤ්ඤාණයෙ පැවතීමෙන් පෙන්නුම් කරන්නෙ. ‘දිස්වා ආයතනුප්පාදං සම්මා චිත්තං විමුච්චති’ කියල ප්‍රකාශ කළේ ඒ සළායතනයන් පිළිබඳව එන අරමුණු ශීඝ්‍රයෙන් මෙනෙහි කරල, සියුම්ව මෙනෙහි කරල, ඒවයි එල්බගන්නෙ නැතිව, ඒ ඒ තැනම ‘ ලත් තැනම ලොප් කිරීමෙ’ විදියට ඒ මනසිකාරය කරගෙන යන යෝගාවචරය යම්කිසි අවස්ථාවක, බලාපොරොත්තු නැති අවස්ථාවක සමහරවිට, අර සිතට එන සිතිවිල්ලත් - ඒකත් - ශීඝ්‍රයෙන් මෙනෙහි කිරීම නිසාම, අන්තිම මොහොතෙ ඒක හිටිනව, ‘අසමෙමාහඤ්ච වෙතසො’ - ඔන්න එතෙන්දි මෝහය ඉවත් වෙනව. ආයතනයන් හටගැනීම දැකීමම තමයි ආයතනයන්ගේ නිරෝධය. ඒක මහා පුදුම කියමනක්, බැලූ බැල්මට. ආයතනයන්ගෙ හට ගැනීම දැකීමෙන්ම ආයතනයන් නිරුඬවෙනව.

ඒ මොකද ? නිරුධ වීම - නිරෝධය - මෙතෙක් නොපෙනුනෙ අරක නොදැකීම නිසයි. ඒ කියන්නෙ. අර තෘෂ්ණාවේ තියන ඇලීම නිසා, නැවත නැවත මේක හටගන්වා ගැනීමට තියන උත්සාහය නිසා, සමුදය පක්ෂය දිහාම බලාගෙන හිටිය නිසා, නිරෝධය පෙනුනෙ නැහැ. ඒක තමයි අර සුත්ත නිපාතයේ ද්වයාතනුපස්සනා සූත්‍රයෙ එහෙම සඳහන් වන්නෙ.

‘යෙ ච රූපුපගා සත්තා යෙ ච
අරූ පටඨායිනො
නිරොධං අප්පජානන්තා
ආගන්තාරො පුනබ්භවං

රූප ලෝකවල ඉන්න අයත් අරූප ලෝකවල ඉන්න අයත් හැමදෙනෙක්ම - නිරෝධං අප්පජානන්තා’ – නිරෝධය තේරුම් නොගැනීම නිසයි නැවත නැවත භවයට එන්නෙ. ඒක සියුම්ව තේරුම් ගත්තොත්, එතන තියෙන්නෙ, සමුදය පක්ෂයෙහි හිත යෙදීම නිසා නිරෝධය සැඟවිලයි තියෙන්නෙ. යමක් නිරෝධවෙනවත් එක්කම සමුදයටයි හිතයන්නෙ. තණ්හාවෙන් ඒක “ ‘පොනොහවිකා’ - තල්ලු කරනවා ‘මේක නැතිඋනාට අන්න අනිත් එක අල්ලගන්න’ කියල ඉතින් ඒ විදියට අර ශීඝ්‍රව මෙනෙහි කිරීම මෙතන මාරයත් එක්ක කරන සටන වගේ, ඉතාම ශීඝ්‍රයෙන් මෙනෙහි කරගෙන යන අවස්ථාවෙ කෙනෙකුට අර සිතට එන අරමුණ – ඒ අරමුණේ එල්බ ගන්නෙ නැතිව මෙනෙහි කිරීමෙන් එතනින්ම මුලාව වටහගන්නව. ඒ අවස්ථාවෙදි තමයි අන්න ආයතනයන්ගෙ ඉපදීම දුටුවෙ, පළමුවෙනිවරට, මෙච්චර කාලයක් සැඟවිල තිබුන කාරණයක්.

මේ ආයතන කොහොමද ඉපදෙන්නෙ ? මේවා, මේ ආයතන, සත්‍යදේවල් හැටියටයි ගත්තෙ. ඒව වෙන් කරගෙන, ඒවා නිසා ස්පර්ශ කියන අවස්ථාවක් මවාගෙන, මේ මුළාවකයි දැවටිල හිටියෙ.

මතු සම්බන්ධයි

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා