යටගිය දවස බණකතා

යටගිය දවස බණකතා

විලි බිය නැති මොනරා

බුදුරාජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන කාලයේ බොහෝ පිරිකර බඩු ළඟ තබාගෙන සිටි බහු භාණ්ඩික භික්‍ෂුවකට ඒ පිළිබඳව දොස් පැවරූ විට බුදුරජාණන් වහන්සේ ඉදිරියේ නිර්වස්ත්‍රව හැසිරීම නිසා ඔහු මුල් කොට ගෙන මේ ජාතක කතාව දේශනා කරන ලදී.

යටගිය දවස ප්‍රථම කල්පයෙහි සිවුපාවුන් එක්ව සිංහයකු රජ බවට පත්කර ගත්හ. මත්ස්‍යයෝ එක්ව ආනන්ද නම් මත්ස්‍යයා රජ බවට පත් කර ගත්හ. පක්‍ෂීහු එක් ව ස්වර්ණ හංසයා රජ බවට පත් කර ගත්හ. මේ රජ වරුන් අතර පක්‍ෂීන්ගේ රජ බවට පත් වූ ස්වර්ණ හංසයාගේ දියණිය ඉතා රූමත් ය. දිනක් ඇය විසින් තමන්ගේ කැමැත්ත පරිදි ස්වාමියකු තෝරා ගැනීමට සිතීය.

මේ බව දැනගත් පිය හංස රජු තම දුවණියගේ ස්වයංවරය සඳහා හිමාලය වනයෙහි සිටින පක්‍ෂීන් සියලු දෙනාට ම රැස්වන ලෙස දැන්වීය. ඒ අනුව නොයෙක් ආකාරයේ හංසයින්, මොනරුන් ආදිකොට ඇති තරුණ පක්‍ෂීහු වනයේ විශාල ගල් තලාවක් මතට රැස්වූහ. අනතුරුව හංසරාජයා ද තම දියණිය කැඳවා

“දියණියෙනි, දැන් ඔබ කැමැති පරිදි ස්වාමියකු තෝරා ගන්නැයි” කීය.

එය ඇසූ හංස දියණිය ද රැස්ව සිටි පක්‍ෂි සමූහයා දෙස බලා මැණික් කැට මෙන් බෙල්ලක් ඇති විසිතුරු පියාපත් ඇති මොනරකු දැක ඌ තම ස්වාමියා බවට පත් කර ගැනීමට කැමැත්ත පළ කළායි එවිට රැස්ව සිටි පක්‍ෂි සමූහයා මොනරා කරා පැමිණ

“මිත්‍ර මොනරාණෙනි, මේ හංස රජුගේ දියණිය මේ තරම් පක්‍ෂි සමූහයා මැද තොප ස්වාමියා වශයෙන් තෝරා ගත්තේය. එබැවින් අපගේ සුබ පැතුම් පිරිනමන්නෙමු’යි කීහ.

එකිනෙහිම අතිශය පී‍්‍රති ප්‍රමෝදයට පත් තරුණ මොනරා පක්‍ෂි සමූහයා මැද විලි බියෙන් තොරව පිල් කළඹ දිග හැර නටන්නට විය. එවිට ඔහුගේ ගුද මාර්ගය විවෘත වී පෙනෙන්නට වීම නිසා ලැජ්ජාවට පත් හංස රජු කෝපයට පත්ව

“විලිබිය නැති මොහුට මාගේ දුවණිය නො දෙන්නෙමි”යි

සිතා පක්‍ෂි සමූහයා මැද තරුණ මොනරා අමතා

“එම්බා මොනර, තොපගේ ශබ්දය සිත්කලුය, බාහිර පෙනුම ද සිත්කලුය, තොපගේ බෙල්ල දියමන්ති මැණිකෙහි පාට හා සමානය, පියාපත් සමුහය ද බඹයක් පමණ දිගය. මේ අයුරින් රූමත් වුවද ලැජ්ජා බිය දෙක නො මැතිව නැටූ බැවින් එවැන්නන්ට මාගේ දුවණිය නො දෙන්නෙමි”

යනුවෙන් පවසා පක්‍ෂි සමූහයා මධ්‍යයේදී ම තමන්ගේ බෑනනු කෙනෙකු වූ හංසයකු හට දුවණිය විවාහ කර දුන්නේ ය. අනතුරුව විලි බිය නැතිව නැටීම නිසා ලැබෙන්නට ගිය ලාභය අහිමි කර ගත් මොනරා ලැජ්ජාවට පත් ව පලා ගියේ ය. හංස රජතුමා ද දියණිය විවාහ කර දී සතුටින් වාසය කොට ආයු කෙළවර මිය පරලොව ගියහ.

එකල විලි බිය රහිතව නැටීම නිසා තමා ලද ලාභයත් අහිමි කර ගත් මොනරා නම් මේ බහු භාණ්ඩික තෙරණුවන් ය. හංස රජතුමා නම් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා