සතිපට්ඨාන දේශනා

සතිපට්ඨාන දේශනා

‘විකඛිත්තංවා චිත්තං වික්ඛිත්තං චිත්තන්හි පජානාති.” අවබෝධයෙන් තොරව බාහිර අරමුණු කෙරෙහි විසිරී ගිය අසංවර සිතක් මෙයින් හඳුන්වා දෙයි. සිහියෙන් හා නුවණින් ආදීනව සලකා සිත සන්සිඳවාගැනීමට උත්සාහ කිරීමෙන් විසිරී ගිය සිත එකඟ කරගත හැකිය.

“විචිකිච්ඡාව“ යනු නොදැනීම නිසාම ඇතිවන සැකයයි. නොදැනීම තමාගේ ප්‍රමාදය ( අසිහිය ) හැර අන් යමක් නම් නොවේ. සිහියෙන් රත්නත්‍රය දැන හඳුනාගැනීමට උත්සාහ ගන්නේ නම් ධර්මය පිළිබඳව වූ සැක සංඛා දුරු කර ගැනීමට ඉඩ සැලසෙයි.

මේ නීවරණ ධර්ම එකිනෙක ඇතිවීම නැතිවීම, නැවත ඇතිවීම, දුරුවෙමින් පැවතීම හා නැවත ඇති නොවීම යන අවස්ථාවන් (පිත්තං) සිට මුත්‍රා දක්වා කොටස් 12 ආපෝධාතු ගණයටද අයත්ය. තේජෝධාතු ස්වභාවයන් තැවීම, දිරීම, දාහය, පාචක (පිසීම) කොටස් 04 කි. වායෝධාතු කොටසට කුසේ සිට උඩට නැගෙන වාතය, කුසේ සිට පහලට බසින වාතය, බඩවැලෙන් පිටත වාතය, බඩවැල ඇතුළත වාතය, අත පය ආදිය මෙහෙයවන වාතය, ආශ්වාස ප්‍රශ්වාස වාතය වශයෙන් ආකාර 06 කි.

ධාතු නමසිකාර භාවනාව

“පුනච පරං භික්ඛවෙ භික්ඛු ඉමමෙවකායං යථා ඨිතං යථා පනිහිතං ධාතුසො පච්චවෙක්ඛති, අත්ථි ඉමස්මිං කායෙ පඨවී ධාතු ආපෝධාතු තේජෝධාතු වායො ධාතුති.”

වෙනත් භාවනාවක් කියමි. මහණෙනි භික්ෂුව මේ ශරීරයම කිසියම් ආකාරයකින් පවතීද පිහිටා තිබේ ද මුලික ස්වභාවයන් වශයෙන් නුවණින් සලකා බලයි. මේ ශරීරයේ ඇත්තේ තද ගොරෝසු පඨවී ධාතුවද, හමායන පුම්බවන වායෝධාතුවද, වැගිරෙන බැඳෙන ආපෝ ධාතුවද, උණුසුම් හා සිසිල්ගති ඇති තේජෝධාතුවද යන ස්වභාවයන්ය.

සත්වයාගේ සසර ගමනේ මුල අවිද්‍යා තණ්හා දෙකයි. මෙයින් මිදී ඇති තතු වටහා ගැනීමට නම් නොදැනීමෙන් (අවිද්‍යා) මිදිය යුතු වෙයි. නුවණින් විමසා බැලීම (විදර්ශනාව) නිරතුරු පුහුණු කිරීම මෙහි ගමන් මගයි.

ධම්ම යනු දරා සිටීමයි දරා සිටින්නේ ධාතුය. ඒ පිළිබඳ නුවණින් විමසා බැලීම මනසිකාරයයි. ලෝකය නිර්මාණය වී ඇත්තේ පඨවී ආදි ධාතු කොටස්වලින්. ධාතු සොපච්ච තෙක්ඛති.” යනු එම ධාතු කොටස් සිහියෙන් විමසා බැලීමයි. පටික්කුල මනසිකාරයට අයත් දෙතිස් කුණප කොට්ඨාසද මේ ධාතුන්ට අයත් වේ. සංයුත්ත නිකායට අයත් ආසිවිසොපම සූත්‍රයේ මේ ධාතු කොටස් හතර විෂඝෝර සර්පයන් සතර දෙනෙකුට සමානකොට දක්වයි. ඔවුන්ගෙන් එකෙක් කෝපවුවහොත් මරණයට හෝ මරණ සමාන දුකට පත්වෙනු ඒකාන්තය. ධාතුන්ගේ ස්වභාවය එයින් ප්‍රකටය. සංයුත්ත නිකායේම සර නම් වූ සූත්‍ර දේශනාවේ සංසාරය නැමැති සැඩපහරේ නැවතීම සංසාර චක්‍රය නැවතීම මේ සතර මහා ධාතුන් නොපවතින ස්ථානයේදී පමණක් බවද දැක්වෙයි.

කය තුළ මේ ධාතුන් අනවරතයෙන් ක්‍රියාත්මක වන අතර ඉතා මැනවින් සමබරව ප්‍රාණවත්ව පවත්නා තුරු මනසේ නියම කිරීමෙන් තම රාජකාරි ;හාඳින් ඉටුකරනු ලබයි. අතත් පයත් පවතින තත්ත්වයෙන් වෙනස් කිරීමට සිතීමත් සමඟ අවශ්‍ය ධාතු කොටස් අඩුවෙමින් වැඩිවෙමින් ක්‍රියාත්මක වේ. මේ අත ඔසවන්නට ඕනෑයයි සිතනාවත් සමඟම එම අතේ ඇති පඨවී ධාතු කොටස් අඩුවී වායෝ ධාතු කොටස් වැඩිවී එසවීම සිදුවෙයි. ඒ අතම පහත් කරනවිට පඨවී ධාතුව වැඩිවී වායෝ ධාතුව අඩුවී එයට අවස්ථාව සැලසෙයි.

භාවනානුයෝගියා තම අඟ පසඟ පරිහරණයේ දී ධාතු මනසිකාරයෙන්ම (ධාතුන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳ මනා සිහියෙන්) ඒ සියල්ල සිදුකිරීමෙන් තම චිත්ත සමාධිය දියුණු කර ගන්නා අතර කය මුල්කරගෙන විදර්ශනා ඤාණයද හොඳින් ලබයි.

ආනාපාන සතිය වඩමින් සිටිනවිට තම කය තුළ දැනෙන සියලුම දේ (වේදනා) දැනෙන ස්වභාවයෙන්ම මෙනෙහි කිරීමෙන් විදර්ශන භාවනාව සම්පූර්ණත්වයට පත්කරගත හැකිය.

නව සීවථික භාවනාව

සොහොනෙහි අත්හැර දමන ලද මළ සිරුරක ක්‍රමයෙන් සිදුවන වෙනස්කම් විමසමින් තමාගේ සිරුර සමඟ සසඳා ගලපා බලමින් කෙරෙන මේ භාවනාවද අසුභ පිළිකුල් භාවනාවේම කොටසකි. මෙහිදී සුසාන භූමියක් ඇසුරු කරනවා විනා, එහි නතර වී කරන භාවනාවක්නම් නොවේ. අද මෙය ඇසින් දැකීම දුෂ්කර වූවත් කරුණු දැන සිතින් තම සිරුර සසදමින් මෙනෙහි කිරීමට ඉඩ අවකාස තිබේ.

සසර දුකින් මිදීමට උත්සාහ කරන අයෙකුට දුක නිර්මාණය කරන්නා හඳුනා ගැනීමේදීම ආකාරයෙන්ම තම කයෙහි පවතින අසුභ භාවය මෙනෙහි කිරීමට ලැබෙන අවස්ථාව හොඳ ප්‍රවේශයක්ම වනු ඇත.

නව සීවථිකය

1. මරණයෙන් දින තුනක් ගතවූ ඉදිමී නිල්වී සැරව ගලන මළසිරුර.

2. කපුටන් ආදී සතුන් විසින් කනු ලබන මළසිරුර.

3. මස් ලේ සහිත නහරින් බැදුන ඇට පෙනෙන මළසිරුර

4. ලේ ඇති මස් නැති ඇට සහිත මළ සිරුර.

5. මස් ලේ නැති නහරින් බැදුනා වූ ඇට සැකිල්ල.

6. විසිරී ගිය ඇට සහිත සිරුර.

7. සුදුපැහැයෙන් යුතු ඇට සහිත සිරුර.

8. වසර ගණනක් ගතවූ ඇට ගොඩගැසී ඇති සිරුර.

9. වසර ගණනක් ගතවී දිරාගිය ඇටකටු.

නව සීවථිකයේ සියලුම වෙනස්වීම තම කයතුලින් දකිමින් තම කයද ඒ හා පවතින ස්වාභාවික සම්බන්ධතාවය. “අයංපි ඛො කායො එවං ධම්මො එවං භාවී. ඒතං අනතීනොති.” මාගේයයි සිතන මේ ශරීරයත් මළකුණක ස්වභාවයට පත්වන ධර්මයකි. මළකුණකට අයත් මේ ස්වභාවය මාගේ සිරුර තුළත් පවතී. මේ ධර්ම ස්වභාවය මාගේ කයත් ඉක්මවා නැත. මේ ක්‍රමයට කායානුපස්සනාවේ යෙදීම මුල්කරගෙන සිහිනුවණින් නිතර මෙනෙහි කරනවිට ඔහුගේ කායික රාගය (කය සමඟ ඇතිතණ්හා බන්ධනය) ක්‍රමයෙන් අඩුවේ. රාග චරිතයා සඳහා නියමිත කමටහන අසුභ කර්මස්ථානය බැවින් මේ පිළිබඳව සති, ධම්මවිචය, වීරිය (සිහිය නුවණ හා උත්සාහය) යන සම්බෝයංගයන් වැඩෙන්නට පටන් ගැනීමත් සමඟ මෙතෙක් තමාගේ මෙන්ම අනුන්ගේ ශරීර මුල්කර ගෙන ආතුරව ඇති සිත අනාතුර භාවයට පත්වේ.

සළායතනයන් ඇසුරු කරගෙන තමාගේ කයත් වෙනස්වන මළ සිරුරත් මෙනෙහි කරන යෝගියාට එකකට එකක් අතර ඇති වෙනස වැටහෙත්ම විදර්ශනාවට මග හෙලිවේ. මේ අනුව ලෝකයේ විපරිනාමයද (අනිත්‍යය) දකිත්ම ත්‍රිලක්ෂණ අවබෝධ ඤාණය ලබා ගනී. (පඤ්ඤා උදපාදි)

වේදනා අනුපස්සනා භාවනාව

“තථංච භික්ඛවෙ භික්ඛු වේදනාසු වේදනානුපස්සී විහරති. ඉධ භික්ඛවෙ භික්ඛු සුඛං වේදනං වේදියමානො සුඛං වේදනං වේදියාමීති පජානාති, දුක්ඛංවා... අදුක්ඛමසුකංවා...”

මහණෙනි වේදනාවන් පිළිබඳ ඇති සැටිය දකිමින් වසන්නේ කෙසේද? මෙහිලා සැප වේදනාවක් විදිනවිට සැප වේදනාවක් විදිමියි දැන ගනී. දුක් වේදනාවක් විඳිනවිට එයද දුක් සැප නැති වේදනාවක් විඳිනවිට එයද හොඳින් දැන ගනී.

වේදනා යනු විඳීමයි. සාමාන්‍ය ලෝකය වේදනා යන වචනය අමිහිරි දුක්කරදරවලට කියන නමක් වශයෙන් කල්පනා කරයි. සිත, කය, වචනය යන තිදොරින් සිදුකෙරෙන සියලුම දේ වේදනා, විඳීම් වශයෙන් සැලකේ. නොවිඳින කිසිම ක්‍රියාවක් නොපෙනේ. එම විඳීම, සුඛ, දුක්ඛ, අදුක්ඛමසුක නමින් ආකාර තුනකි. සිතේ ක්‍රියාත්මක භාවය අනුව ඒ ඒ දැනීම් නම් කිරීමක් හැර සැප, දුක, දුක් සැප නැති ආදී විසින් ස්ථිර යමක් නොපවතී.

අවස්ථාවට මෙන්ම අත්දැකීම්වලට අනුව හොඳ, නරක, හොඳත් නරකත් නැති විඳීම් වශයෙන් නම් කෙරෙයි. පුද්ගලයන් අනුව ප්‍රදේශ අනුව දේශගුණය අනුව හා ඇතැම් ආබාධ අනුව මේ වේදනා නම්කෙරෙන අවස්ථාද නැත්තේ නොවේ. මෙයින් ප්‍රකට වන්නේ නිතර කරන බොහෝ දේ අවශ්‍යතාවය නිසාම මේ එක විඳීමකටවත් අයත් නොවී අත්‍යාවශ්‍ය සේවා බවටද පත්වන බවයි. රැකියාවක යෙදීම, භාණ්ඩ පරිහරණය, ආහාර ගැනීම ආදී ඇතැම් කටයුතුවල ආරම්භය හොඳයි. දුකයි. කලක්ගතවනවිට සැපත් නැහැ දුකක් නැහැ. මැදහත් බවට පත්වෙයි.

චිත්ත සමාධිය තහවුරු කර ගන්නා භාවනා යෝගියෙකුට මේ වර්ග කිරීමෙන් මිදීමට හැකිය.

ඇතැම්විට යෝගියෙකු සාමාන්‍ය ජීවිතයේ ලබන හුරුපුරුදුකම් ඇතැම් අමිහිරි විඳීම් භාවනා කරන අවස්ථාවේ දැනෙන බොහෝ දැනීම් සමඟ සසඳමින් වැඩෙන සමාධි ශක්තිය අඩාල කරගනී. එම සසඳා බැලීම් තුලින් බිය සැක මෙන්ම කලකිරීම් ඇතිකර ගැනීම භාවනාවට මහත්ම බාධකයක් බව සැලකීම මැනවි.

අප සම්බුදුරදුන් වේදනා විඳීම් ආරම්භ කළේ ‘සුඛ වේදනා’ මුල්කරගෙනය. එයින් දෙනු ලබන පණිවිඩය නම් යමක් හොඳයි සැපයි යන තීරණය ඇතිවෙනවාත් සමඟ මෙතෙක් විඳ ඇති සියලුම දේ දුක් වශයෙන් ගැනීමයි. ඔබ මෙතෙක් භාවිතා කළ උපකරණ හා භාණ්ඩ අත්හරිනවිටද අලුත් දේ සමඟ සම්බන්ධවනවිටද සැප මෙන්ම දුකද දැනෙයි. මොනම දෙයක් ගැන හෝ ලබන දැනුමට යෝගියා මුල්තැන දිය යුත්තේ නැත. කළ යුත්තේ දැනෙන දේ දැනෙන ආකාරයෙන් මනා සිහියෙන් මෙනෙහිකිරීමයි. දැනෙන දේ හොඳ එකක්නම් එය ඒ ආකාරයෙන්ම සිහිකළ යුතුයයි උපදෙස් දෙන්නේ සමාධි සිත වෙනස් නොවන අයුරු රැකගැනීම සඳහායි. දුක ගැනද අතරමැදි ස්වභාවය ගැනද සමාධිය සුරැකෙන අයුරු සිහිකළ යුතුය.

දැනීමට මුල්තැන නොදී මනා සිහියෙන් මේ විඳීම් මෙනෙහි කිරීමෙන් තමාගේ සිතේ නියම ස්වභාවය දැන හඳුනා ගැනීමට අවස්ථාව සැලසේ. කිසියම් කායික වෙනස්වීමක් දැනුන විගස දුබල සමාධියක් ඇති බොහෝ දෙනා එය මහා දුකක් වශයෙන් සලකා එහි එම දුක්ඛවේදනාවේ අග මුල සිතමින් අප්‍රිය අමනාප මානසික තත්ත්වයක් ඇතිකර ගනී.

මේ නොදැන යන බිය සැක සහිත මානසිකත්වය නිසා නැතිකර ගැනීමේ ආසාව හා තරහව දියුණු කර ගැනීමෙන් සිත නොසන්සුන්කරගෙන මහත් කළකිරීමකට පත්වෙයි. මෙවැනි යෝගියෙකුට ඉතිරිවන්නේ සතුටක් සැහැල්ලුවක් නොව කායික වෙහෙසක් හා භාවනාව එපාවීමකි. එසේනම් කළ යුත්තේ කුමක්ද? ඉතා සුලු දැනීමක් හෝ වේවා හොඳ නරක වශයෙන් නොබෙදා දැනෙන ආකාරයටම මෙනෙහි කිරීමයි.

ඒ දැනීම් සමාධිය දියුණු කර ගැනීමටත් කායික ලෝකයේ ඇති තතු මනාව අවබෝධ කර ගැනීමටත් උපකාරවන ඉතා හොඳ කමටහන් සමූහයක්ම වේ. ඉරියව් වෙනස් කිරීමෙන් දැනීම්, විඳීම් නැතිකර ගැනීමට අයෙකු පෙළඹෙන්නේ නම් එය සාර්ථක පියවරක් නොවේ. මොනම ආකාරයකින්වත් වේදනාව මෙනෙහි කිරීමට නොහැකිනම් ආසනයේ වෙනස්කම් සිදුකළ හැකිය.

මේ ක්‍රමයට අනුව වේදනා දෙස බැලීමෙන් සමාධි සිත තහවුරු වන අතර වේදනාවලින් තොර ප්‍රසන්න මනසක් උදාවෙනු ඇත. ඒ අනුව වේදනාව යනු මානසික තත්ත්වයකි. එය ඇතිකරන අයෙකු නැත. නැතිකරන පුද්ගලයෙකුද නොවේ. මේ සද්ධර්මය පිළිබඳ අවබෝධය භාවනා කරන අයෙකුට පමණක් ලැබෙන්නකි.

“සාමීසංවා සුඛං වේදනං... නිරාමිසංවා සුඛං වේදනං
සාමීසංවා දුක්ඛං වේදනං... නිරාමිසංවා දුක්ඛං වේදනං
සාමීසංවා අදුක්ඛ මසුකං වේදනං... නිරාමිසංවා අදුක්ඛමසුකං වේදනං.”

ආමීස සහිත සැප වේදනාව නිරාමීස සහිත සැප වේදනාව, ආමීස සහිත දුක්ඛ වේදනාව, නිරාමීස සහිත දුක් වේදනාව, ආමීස සහිත දුක්නැති සැප නැති වේදනාව නිරාමීස දුක්නැති සැප නැති වේදනාව.

මේ අනුව සියලුම වේදනාවන් ආමිස, නිරාමීස වශයෙන් දෙකොටසකට බෙදේ. ආමීස යනු පංචකාම වස්තුන්ය. රූප ශබ්ද ගන්ධ රස එස්ස යන ඒවා එකක් හෝ සමූහයක් මුල්කරගෙන හටගන්නේ සාමීස වේදනාවන්ය. සතිය හොඳින් ඇති යෝගියා මෙය හොඳින් දැන මෙනෙහි කළ යුතුය. පොදුවේ සෑම වේදනාවක්ම ඇතුළත පිටත ආයතනයන් නිසාම ඇතිවේ. මෙහිදී මුල්වන්නේ ආයතන සමග ඇතිවන එස්සයයි.

(ඵස්සපච්චයාවේදනා) දැනීම වේදනාව පමණක් නොව හොඳ නරක බවත් ඇතිවීමට හේතුවූ ශක්තීන්ද මෙනෙහි කිරීමේදී සැලකිය යුතුය. නිරාමීස යනු ආමිසය මුල්නොවූ බවයි. එනම් ආයතනයන්ගෙන් මිදුන ධ්‍යාන සමාධි සිතේ මුල්වීමයි. සිත මූලිකව පණිවිඩ ලබා ගන්නේ ඉඳුරන් ඇසුරු කිරීමෙනි. සමථ විපස්සනා වැඩීමෙන් සිත ධ්‍යාන සමාධියට පත්වීම යනු ඉඳුරන්ගේ සම්බන්ධය හැර දමා හොඳීන් සිත එකඟ කර ගැනීමයි. එම සමාධි සිත සමඟ එක්ව ලබන වේදනා නිරාමීස වශයෙන් සැලකේ.

ලෞකික වශයෙන් කෙලෙස් කසටවලින් වෙන්වූ සමාධිගත සිතේද සුඛ, දුක්ඛ මෙන්ම සැප දුක් නැති විඳීම් ඇතිවෙයි. පංචකාම වස්තූන් ඇසුරු කරගෙන ඇතිවූ ආමීස වේදනා හොඳින් හඳුනාගෙන මෙනෙහි කළ යෝගියාට තවත් මානසික අත්දැකීමක් නිරාමිස වේදනාවලින් ලබාදෙයි. ඉඳුරන්ගේ සබඳකම දැන් සිතේ නැතත් මෙතෙක් ඉඳුරන් ඇසුරෙන් ලබාගත් කලක් පැවති බොහෝ දැනුම්දීම සිත, විඤ්ඤාණය අත්හැරදමා නැත. ඒ හැඳුනුම්කම් මුල්කරගෙනයි මේ වේදනාවන් හොඳයි නරකයි හොඳත් නැත නරකත් නැත ආදී වශයෙන් දැනෙන්නේ.

පටිච්ච සමූප්පාද ධර්මයට අනුව වේදනාවේ මුලික හේතුව ඵස්සයයි (ඵස්ස පච්චයා වේදනා) ඵස්සයා යනු කොටස් තුනක එකතුවයි. ඇස, රූපය හා විඤ්ඤාණය, කණ, සද්දය, විඤ්ඤාණයයි ආදී වශයෙනි (තින්නං සංගති එස්සො) අභ්‍යන්තර බාහිර ආයතන දොළස ඔවුනොවුන් සිතත් සමඟ හමුවීම මෙහිදී සිදුවේ.

හමුවන සෑම වාරයකම දැනීමක් ඇතිවේ. ඒ දැනීම වේදනාවයි. මෙයම ආරම්මන රසය වශයෙන්ද හැඳින්විය හැකිය. අභ්‍යන්තර ආයතනයකින් අල්ලා ගන්නා අරමුණ සිතේ එකතුවීමත් සමඟ රසයක් විඳීමක් බවට පත්වෙයි.

විඳීම වේදනාව ආරම්මන රසයයි. හොඳ වූවත් නරක වුවත් හොඳ නරක දෙකම නැතත් රසයේ නම් කිසිම වෙනසක් නැහැ. මේ අරමුණ රසය දැනීමේ ස්වභාවය වේදනාවයි. මේ ආකාරයෙන් ඇතිවන වේදනාව දැනෙන ආකාරයෙන්ම සිහිපත් කළ යුතුයි. සැපය කියා හෝ දුකය කියා හෝ සිතේ වෙනසක් ඇතිවීම වළක්වාගත යුතුයි.

යෝගියාට මේ වේදනා දැනෙන්නේ තම සිරුරේ කිසියම් කොටසක් ඇසුරුකරගෙනයි. කොන්ද, දණහිස, අත, පය ආදී ඒ අඟපසඟවලට මුල්තැන නොදී දැනෙන දැනීමට පමණක් මුල්තැනදීමට සති සමාධි ක්‍රමයෙන් තහවුරුකරගත යුතුයි. සති සමාධි දියුණුවේ ප්‍රමාණයට දැනීම්වල වේදනාවල වෙනසද අඩු වැඩිවීමට පුලුවන. සමාධිය ශක්තිමත්වීමෙන් වේදනා පරතරය නොදැනීයාමෙන් මනසේ වෙනස්වීමද අඩුවේ. නොසැලෙන මනසක් උදාකරගැනීමේ එක් උත්සාහයක් වශයෙන් වේදනා මෙනෙහිකිරීම උපකාරී වෙයි.

සත්සති ගතකිරීමේදී බුදුරදුන්ද තමන් වහන්සේගේ මානසික ශක්තිය සොයා බැලූවක්ද පෙනේ. අග්‍රශ්‍රාවක මුගලන් මහරහතන්වහන්සේ ජීවිතාවසානයේ මුහුණපෑ හිංසා පීඩා ඉවසීමේ මහා චිත්ත ශක්තියක් ලබාසිටි බවද කිව හැකිය.

අප බොහෝ දෙනා විවිධ චිත්ත මට්ටම්වල දිවිගෙවන අයයි. දැනුම පුරුද්ද හඳුනාගැනීම එක හා සමාන නැහැ. වයසින් අඩු සිසුන්ට මග කියා දෙන ගුරුවරයා නිතරම සිසුන්ගේ මානසික මට්ටම සිහිතබාගත යුතුයි. අස්සජි මහ රහතන් වහන්සේ හමුවූ උපතිස්ස පිරිවැජියාගේ චිත්ත මට්ටම උසස් සීමාවක පැවති නිසා සද්ධර්මය සුලු මොහොතකින් හඳුනා ගැනීමට හැකිවිය.

මේ ආකාරයෙන් තමන්ගේද චිත්ත මට්ටම ශක්තිමත් කරගැනීම පමානොවී නිරන්තරයෙන්ම කළ යුතුය. මේ සඳහා එකම මග (ඒකායනො අයං මර්ගගො) සතර සතිපට්ඨානය වැඩීමයි. වේදනානුපස්සනාව තුළින්ද සිදුවනුයේ එයයි. කායානුපස්සනාව මගින් තමනගේ කය සකස් වී ඇත්තේ කුමන ආකාරයකටද යන්න හඳුනාගත් යෝගියා එම කය මුල්කරගෙන ඇතිවන දැනීම් වේදනා මෙනෙහි කරමින් (විදර්ශනා කරමින්) පුද්ගලික මානසික මට්ටම නොසැලෙන අයුරු පවත්වා ගනී.

වේදනාවෙන් වේදනාවට යමින් මෙනෙහි කරන යෝගියා කය මුල්කරගෙන දැනෙන වේදනාවලින් කිසියම් අධ්‍යාපනයක් දැනුමක් අනිවාර්යයෙන්ම ලෝකය පිළිබඳව ලබයි. එම දැනීම් මුල්කරගෙන සමුදය – වය ඇතිවීම අභාවය මෙන්ම වෙනස්වීම යන ධර්මස්භාවය දැකගනී. ඒ සඳහා හොඳ චිත්ත සමාධියක් අවශ්‍යය. මොහොතක් පාසා කයෙහි ඇතිවන වෙනස්වීම් නොදැනී යන්නේ චිත්ත සමාධියේ අඩුපාඩු නිසාවෙනි.

“අත්ථි වෙදනාති පනස්ස සති පච්චුපට්ඨිතො හොති. යාවදේව ඤාණමත්තාය පතිස්සති මත්ථාය

අනිස්සීතොව විහරතී නව කිඤ්චිලොකෙ උපාදියති.”

ස්පර්ශයෙන් හටගත් අනිත්‍ය දුක්ඛ අනාත්මයන්ට යටත්වූ විදින ස්වභාවයක් ඇත්තේය යන මනාව සංවර වූ සිහිය හොඳින් පවතී. ඉදිරියටත් අවබෝධය පිණිසම පවතී, සිහිය වැඩීම පිණිසම පවතී මම, මාගේ මාගේ ආත්මයයි අල්ලා නොගෙන වසයි. ලෝකයේ කිසිම දෙයක් කිසිම ආකාරයකින් අල්ලා නොගනී. වේදනාවන්ගේ ඇතිසැටිය දකිමින් වසයි.

යො සුඛං දුක්ඛතො අද්ද – දුක්ඛ මද්දක්ඛී සල්ලතො
අදුක්ඛ මසූකං සන්තං - අද්දක්ඛීනං අනිච්චතො

සං. නි. දට්ඨබ්බ සුත්ත)

සුඛ වේදනාව දුකක් වශයෙන් දැකිය යුතුයි. දුක්ඛ වේදනාව හූලකින් ඇනීමක් වශයෙන් දැකිය යුතුයි. මැදහත් වේදනාව අනිත්‍ය වශයෙන් දැකිය යුතුයි.

මතු සම්බන්ධයි

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා