කෙටි කතාව අමතක වෙච්ච සාහිත්‍යයක්

කෙටි කතාව අමතක වෙච්ච සාහිත්‍යයක්

බුද්ධදාස ගලප්පත්ති

හු ක්ෂේත්‍ර කිහිපයක අත්දැකීම් ඇත්තෙකි. හේ නමින් බුද්ධදාස ගලප්පත්ති ය. හැත්තෑව දශකයේදී කෙටිකතා නිර්මාණකරණයට ප්‍රවේශය වූ ඔහුගේ කේවල කෙටිකතා සංග්‍රහයේ තෙවැන්න එළිදකින්නේ “හෙට නැවත එයි” ලෙසිනි. ඔහුගේ ඒ නව නිර්මාණය පිළිබඳව කළ සංවාදයකි මේ.

* කලකට පසු කෙටිකතා නිර්මාණයක් තුළින් නැවතත් ඔබ සාහිත්‍ය ලෝකයට අවතීර්ණ වෙනවා. ඒ නව නිර්මාණය පිළිබඳ කතා කළොත්?

මේ පොත නම් කරලා තියෙන්නේ “හෙට නැවත එයි” කියලා. මගේ කේවල කෙටි කතා අතරින් තෙවන නිර්මාණය ලෙසයි මෙය එළිදක්වන්නේ. “හෙට නැවත එයි” කෙටිකතා සංග්‍රහය තුළ කෙටිකතා හතක් අන්තර්ගත වෙනවා. මෙහි එන එක් කෙටි කතාවක් 1970 දශකයේදී රචිත එකක්. එය මේ සංග්‍රහයට එකතු කරන්න ඕනේ කියලා හිතුවා. අනිත් කෙටිකතා හයම මෑත කාලයේදී වරින්වර ලියවුණු කෙටිකතා. ඒ තුළ බොහෝ දුරට වස්තු විෂය වුණේ සමාජ බද්ධ විෂයන්. පවුල, දරුවන්, නිවසේ ඇතිකරන සුරතල් සතුන්, ප්‍රේමවන්තයන් දෙදෙනෙක්, බලාපොරොත්තු කඩවීම් වගේ කාලීන සහ අපට දැනෙන සමාජ අත්දැකීම් තමයි මෙහි අන්තර්ගත වෙලා තියෙන්නේ. සමහර අත්දැකීම් මා විඳි අත්දැකීම්. නමුත් ඒවා මා මගේ නොවන ආකාරයට පොදුවේ සමාජයට දැනෙන ආකාරයට නිර්මාණය කළා.

* කෙටිකතා සංග්‍රහයක් පාඨකයා අතරට එන විට, කාව්‍යය සංග්‍රහයක් එළිදකින විට තරම් එය පිළිගැනීමට සැදී පැහැදී සිටින පිරිසක් නැහැ. මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?

වර්තමාන කවියට කෙටිකතාවට වඩා පාඨකයාගේ නැඹුරුවක්, උනන්දුවක් දක්නට ලැබෙනවා. නමුත්, කෙටිකතාවට ඒ උනන්දුව දකින්න නැහැ කියලයි මගේ පෞද්ගලික හැඟීම. මෑත කාලීන කෙටිකතාව හරියට අමතක වෙච්චි සාහිත්‍යයක් වගෙයි නවකතාව අද ජනපි‍්‍රයයි. ඊළඟට වඩාත් ජනපි‍්‍රය වෙන්නේ කවියයි. අද තරුණ කවියන්, කිවිඳියන් ක්ෂේත්‍රයට ඇවිත් ඉන්නවා. ඒ වගේම තමයි තාමත් අපේ ප්‍රවීණ අය කවිය අතෑරලා නැහැ. ඒ හින්දා කවියේ යහපත් ලක්‍ෂණ අදටත් දකින්න ලැබෙනවා.

* නවකතාවක් සඳහා ප්‍රතිචාර ලැබෙනවා වැඩියි. නමුත්, සාහිත්‍ය රසයට වඩාත් ළංවිය හැක්කේ කෙටිකතාවක් තුළින්. කෙටි කතාවක සහ නවකතාව අතර වෙනස පැහැදිලි කළොත්?

නවකතාවකදී ලේඛකයාට ඉඩක් තියෙනවා විශාල ජීවිත අන්දරයක්, චරිත, සිද්ධි, ඒ වගේම විශාල කාල පරාජසයක් තුළ ඔහුට නිර්මාණය ගොඩනැංවිය හැකියි. නමුත්, කෙටි කතාවක් තුළ ඒ දේ කරන්න අමාරුයි. කෙටි කතාවක දක්නට ලැබෙන්නේ එක් සිද්ධියක් වෙන්න පුළුවන්. නැත්නම් චරිත කිහිපයක්. එතනදී නිශ්චිත කාලසීමාවක් තුළ සිදුවෙන ගැටුමක් හෝ අවස්ථා නිරූපණයක් තමයි දකින්න ලැබෙන්නේ. නවකතාවකදී දක්නට ලැබෙන ඉඩකඩ කෙටිකතාකරුවාට අඩුයි. ඔහුගේ කූට ප්‍රාප්තියට එන්න නවකතාවක තරම් විශාල කාලයක් ගන්න බැහැ. ඒ වගේම විශාල චරිත සංඛ්‍යාවක් එක්ක යන්න බැහැ. කෙටි අවස්ථාවක්, කෙටි කාලයක් තුළ චරිත කිහිපයක් අතර හැසිරෙන ආකාරය කෙටි කතාවකින් නිරූපණය වුණාට, නවකතාවකදී ඊට වඩා පුළුල් විදිහට දෙයක් කරන්න පුළුවන්.

* අපිට සිටි ශ්‍රේෂ්ඨතම කෙටිකතාකරුවෙක් තමයි සයිමන් නවගත්තේගම මහතා. එතුමාගෙන් පසුකාලීනව බිහිවුණු ශ්‍රී ලාංකේය කෙටිකතා කලාව ගැන කතා කළොත්?

සයිමන් නවගත්තේගම කියන්නේ ඉතාමත් විශිෂ්ට ගණයේ කෙටිකතාකරුවෙක්. 70 දශකයේ බිහිවුණු කෙටිකතාකරුවන් අතර අජිත් තිලකසේන, කරුණා පෙරේරා වැනි අයට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්.  ඒ වගේම මෑත කාලීනව අලුතින්ම ක්ෂේත්‍රයට පැමිණි නිර්මාණශීලී කෙටිකතාකරුවන් රැසක් ඉන්නවා. කපිල කුමාර කාලිංග, එරික් ඉලයප්ආරච්චි, අජිත් තිලකසේන, සුනිල් ගුණවර්ධන, කීර්ති වැලිසරගේ, තරංගා රණසිංහ, යමුනා මාලනී පෙරේරා ආදීහු ඒ අතරින් කිහිප දෙනෙක්. ඒ වගේ සෑහෙන පිරිසක් ඉන්නවා.

* ඔබ නවකතා කලාවට ප්‍රවේශ වූ අයෙක්. කෙටිකතාවේ සිට නවකතාවකට ආ ගමන පිළිබඳව ඔබ දකින්නේ කොහොමද?

මම ඒ වෙනකම් නවකතා ලියලා නැති නිසා ඒක මට අලුත් අත්දැකීමක් වුණා. ඇතැම් විචාරකයන්ගේ විචාරය වුණේ ඒක නවකතාවක් තරම් පරිසමාප්ත වුණේ නැහැ කියලා. සාමාන්‍යයෙන් නිර්මාණකරුවෙක්, අලුතින්ම නිර්මාණ ක්ෂේත්‍රයට ඇතුල් වුණාට පස්සේ ඒක මුලින්ම දකින්න ලැබෙන දෙයක්. මම මගේ දෙවැනි නවකතාව ලියද්දි අර සියල්ල ඔළුවේ තියාගෙන තමයි ඒක ලියන්නේ. මේ වෙනකොට අලුත් ආරම්භයක් තියෙනවා. මුලදී එල්ල වුණු විවේචන හා මා විඳි අත්දැකීම් සියල්ල සලකා බලලා තමයි ඒකට මුලපිරුවේ.

* ඔබ 80 කණ්ඩායමේ සාමාජිකයෙක්. ඒ කණ්ඩායම තුළ අපට දකින්න ලැබෙන්නේ හැම අංශයකින්ම කලාව පෝෂණය කළ පිරිසකගේ එකමුතුවක්. ඒ පිළිබඳව කතා කළොත්?

වේදිකා නාට්‍ය ගත්තොත් ජයලත් මනෝරත්න, කපිල කුමාර කාලිංග ආදී අය හිටියා. ඒ හැම දෙනෙක්ම කලාවේ කොතනක හෝ තැනකදී තම දායකත්වය ලබා දුන්නා. එදා හිටපු 80 කණ්ඩායමේ සභාපති, ලේකම්ලා හිටියේ නැහැ. එය අපි හැන්ඳෑවට හැන්ඳෑවට එකතු වෙලා කතාකරපු හමුවීම් තුළින් නිර්මාණය කළ කණ්ඩායමක්. නමුත්, ඒ වගේ දේවල් පිළිබඳව අද අහන්න, දකින්න ලැබෙනවා අඩුයි. අද වෙනකොට මේ හැම දෙයක්ම තරගයකට අහුවෙලා. ටෙලිනාට්‍යවල රඟපාන නළු නිළියන්ට වේදිකා නාට්‍යයක රඟපාන්න වෙලාවක් නැහැ. එතනට කාලය වැය කළොත් ටෙලි නාට්‍යයකින් ලැබෙන මුදල ලැබෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා. ඒ නිසා තමයි අද වේදිකා නාට්‍යය ඔවුන්ට අමතක වෙලා තියෙන්නේ. ඒක මම දකින විදිහට හොඳ තත්ත්වයක් නෙවෙයි ටෙලිනාට්‍ය නළුවෙක් වේදිකාවෙත් රඟපාන්න ඕනේ. ඒ අපේ වේදිකා නාට්‍ය කලාව වෙනුවෙනුයි.

* ක්ෂේත්‍රයෙහි ප්‍රවීණයෙකු ලෙස, ක්ෂේත්‍රයට පැමිණෙන නවක නිර්මාණ ශිල්පීන් පිළිබඳ දකින්නේ කොහොමද?

මම අලුතින් එන හැම කෙනෙක්ගේම විශේෂ හැකියා, දක්‍ෂතා දකිනවා. හොඳම කවියෝ, කිවිඳියෝ රාශියක් අද ක්ෂේත්‍රය තුළ ඉන්නවා. කෙටි කතාවට වඩා ඔවුන්ගේ නැඹුරුව තියෙන්නේ කවියට. 2010 වසර මා දකින්නේ “කවියේ අස්වැන්න” නෙළු වර්ෂයක් විදිහට. අද වෙනකොට තරුණ කවියන්, කිවිඳියන් රාශියක් ප්‍රවීණ කවීන්ගේ නිර්මාණ හා කරට කර සිටින තත්ත්වයක් දක්නට ලැබෙනවා. ඒක ප්‍රබලයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා