තැනට සුදුසු නුවණ නැතිව රූප පෙට්ටියේ වැඩ බෑ

තැනට සුදුසු නුවණ නැතිව රූප පෙට්ටියේ වැඩ බෑ

රොස්මන්ඩ් සේනාරත්න
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති

මාධ්‍ය ක්ෂේත්‍රයේ කුමන හෝ නාලිකාවක දී එහි ආරම්භක වැඩසටහන්වලට සහභාගි වී සුවිශේෂී කාර්යයන් ඉටු කරන්නට ලැබීම ජීවිතයකට අමරණීය වූවකි. අම්මාගෙන් ලද පන්නරයත්, ආනන්ද විද්‍යාලයෙන් ලත් සිප් දැනුමත්, අභියෝගයන්ට අභියෝගයක් වු පුද්ගලයකු නිර්මාණය කළේය. ස්වාධීන රූපවාහිනි සේවය, රූපවාහිනිය, ඡ්ඊඍ ආදී වූ මාධ්‍ය ලෝකයේ දැවැන්තයන්ගේ සෙවණේ හැදී වැඩුණු ඔහු වර්තමානයේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපතිතුමන්ය. ඔහු නමින් රොස්මන්ඩ් සේනාරත්නය. ඔහුගේ මාධ්‍ය ජීවිතයට හතළිස් පස් වසරක් පිරෙන මේ මොහොතේදී ආ ගමන්මඟ පිළිබඳ ඔහු හා කළ සංවාදයකි මේ.

* ඔබේ මාධ්‍ය ජීවිතයේ ආරම්භය පිළිබඳ ප්‍රථමයෙන්ම කතා කළොත්?

මගේ මාධ්‍ය ජීවිතය ආරම්භ වුණේ 1966 සැප්තැම්බර් 08 වෙනිදා. මම එවකට ගුවන් විදුලි දෙපාර්තමේන්තුවේ කාර්මික නිලධාරි අංශයට ඉල්ලුම්පතක් යොමු කළා. එහිදී කාර්මික නිලධාරීන් අටදෙනෙක් තෝරා ගත්තා. ඒ අතර මමත් එක් අයෙක් වුණා. පසුව මාස තුනක් බ්‍රිතාන්‍ය ජාතිකයකු යටතේ හොඳ පුහුණුවක් ලැබුවා. ඊට පස්සේ මම වැඩිකල් නොගොස්ම ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රධාන පාලක මැදිරියේ ප්‍රධාන නිලධාරියකු බවට පත් වුණා. කාලයක් ගත වුණා. 1970 වගේ වෙනකොට මට හිතුණා තාක්‍ෂණික අංශයට අමතරව වෙනත් අංශ කෙරේ යොමුවීමට. එහිදී මම සහන නිවේදකයකු ලෙස කටයුතු කරන්න පටන් ගත්තා. ඒ නිසාවෙන් විවිධ වැඩසටහන් නිෂ්පාදනයට මට අවස්ථාව ලැබුණා. මේ සියල්ල මම කළේ මගේ තාක්‍ෂණික කටයුතුවලට අමතරවයි.

මොණරතැන්න, ගිම්හාන ගීතය, වැනි වැඩසටහන් සහ රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ සියලුම චිත්‍රපට ප්‍රචාරක වැඩසටහන් කිරීමට මට අවස්ථාව ලැබුණා. 1979 වසරේදී ITN රූපවාහිනිය බිහිවුණා. ඊට පස්සේ කාලයක් යද්දී මොන හේතුවක් නිසා හරි ඒක නතර වුණා. පසුව එය රජයට පවරාගන නැවතත් ඒ සේවය ආරම්භ කළා. එහි බලධාරියා වුණේ තේවිස් ගුරුගේ මහතා. එවකට ඔහු ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල්. නොබැඳි ජාතීන්ගේ සම්මේලනය 1979 සැප්තැම්බර් මාසයේ දී පැවැත්වුණා. එතුමා මට කීවා එහි සජීව කථනය කරන්න කියලා. ඒත් මං මීට කලින් එහෙම දෙයක් කරලා තිබුණෙ නැහැ. මෙරට රූපවාහිනී ඉතිහාසයේ ප්‍රථම සජීවි විස්තර කථනය වුණෙත් එයයි. ඒ 1979 සැප්තැම්බර් මාසේ 05 දා.

මම සිංහල භාෂාවෙන් විස්තර කථනය කළා.ඉංග්‍රීසි භාෂාවෙන් ජෝ සූධිනාදන් විස්තර කථනය කළා. 1980 අගභාගය වන විට රට පුරා විශාල ප්‍රබෝධයක් ඇති වුණා. ජාතික රූපවාහිනියක් බිහිවෙනවා කියලා. එතනදී ඉංජිනේරු සහ වැඩසටහන්වලට කට්ටිය තේරුවා. මම ඒ වෙද්දී අවුරුදු 13ක් ඉංජිනේරු අංශයේ සේවය කරලා තිබුණා. ඒ හින්දා මම එහි ඉංජිනේරු අංශයට ඉල්ලුම් කළා. මම ඒ සඳහා තේරුණා. 1981 වසරේදී මම ජපානයේදී පුහුණුවක් ලැබුවා. 1982 වසරේදී ජාතික රූපවාහිනියක් ආරම්භ කළා. ඊට පස්සේ මාව ස්වාධීන රූපවාහිනි සේවයට අනුයුක්ත කළා. එතැනදී මට අවස්ථාව ලැබුණා ස්වාධීන රූපවාහිනියේ ආරම්භක තේමාව නිෂ්පාදනය කරන්න. එය මට භාර දුන්නේ තේවිස් ගුරුගේ මහතායි. පළමුව නිර්මාණය කළ ඒ තේමා වාදනය අවුරුදු දහයකට වඩා වැඩි කාලයක් වාදනය කළා.

* ඔබේ මාධ්‍ය ජීවිතයේ මුල් කාල පරාසය තුළ අමතක නොවන සිදුවීම් පිළිබඳ කතා කළොත්?

1981 දී පොසොන් පොහොය නිමිතිකරගෙන මම ගංගාරාමය සහ ජයසේකරාරාමය පසුබිම් කරගෙන නාවික හමුදාවේ සංගීත කණ්ඩායම් සහභාගී කරවාගන පොසොන් බැති ගී ගායනා වැඩසටහනක් කළා. මැදිරියකින් පිටත කළ ප්‍රථම සංගීත වැඩසටහන වුණේ එයයි. 1982 වසර වන විට මට රූපවාහිනී සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ කාර්මික නිලධාරියකු විදිහට පත්වීම ලැබුණා. ඒ අතර තුර එහි ආරම්භයේ ඉඳන් ප්‍රවෘත්ති නිවේදකයකු ලෙසත් මම කටයුතු කළා. ඒ කාලේ ප්‍රවෘත්ති ඉදිරිපත් කළේ පටිගත කරලා. මම ටික දවසක් ගත වුණාම එහි සභාපතිතුමාට යෝජනාවක් කළා ලෝකයේ බොහෝ රටවල වගේ සජීවිව ප්‍රවෘත්ති ඉදිරිපත් කරමුද කියලා. එතුමා එකවරම එය අනුමත කළා. එහිත් ප්‍රථම සජීවි ප්‍රවෘත්ති විකාශය කරන්න අවස්ථාව ලැබුණේ මටයි. මම 1982 ඉඳන් 1995 වෙනකම් දිගටම ප්‍රවෘත්ති ඉදිරිපත් කළා. ඒවගේම, සියලුම ගම් උදා වැඩසටහන්වලට සහභාගී වුණා.

* එවකට රටේ පැවැති අයහපත් වාතාවරණයත් සමඟ ඔබේ වෘත්තියේ ස්වභාවයට බාධා එල්ල වුණාද?

1987 භීෂණ කාලය ආවා. ඒ කාලවකවානුව තුළ මට අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. තර්ජනාත්මක ලිපි ආවා. ඒ වෙද්දි කෙටි කාලයක් ඇතුළත සාම ගිවිසුම ගැන ගාමිණී දිසානායක මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවක් කරන්න මට සිද්ධ වුණා. මේ සාකච්ඡාව ඉතා අවදානම් සහගතයි. රතු ලියවිලි දිගටම අවා. ඒත් ඒ වෙලාවේ ඒ අවදානම් සහගත තත්ත්වය මට භාරගන්න සිද්ධ වුණා. මම පසුබසින්න හිතුවත් පාලන අධිකාරියේ අනුමැතිය ඊට ලැබුණේ නැහැ. ඒ වෙලාවේ මම තීරණයක් ගත්තා පසුබසින්න ඕන කියලා. දවස් තුනක් වත් යන්න ලැබුණෙ නැහැ. ප්‍රවෘත්ති කර්තෘ කුලතුංග මහතා ඝාතනය කර ඇති බවට ආරංචිය ලැබුණා. ඒ වගේම සාගරිකා ගෝමස්, ප්‍රේමකීර්ති ද අල්විස්, තේවිස් ගුරුගේ , වගේ විශාල පිරිසක් ඝාතනය කරලා තිබුණා. එදා ඒ ගත් තීරණය හින්දා තමයි මම අද මාධ්‍ය ජීවිතයේ හතළිස් පස් වසර සමරන්නේ. භීෂණ සමයේ නිමාවත් එක්ක, මම ආපහු සේවයට වාර්තා කළා. භීෂණ සමය එන්න ළං වෙද්දී, මට උසස්වීමක් ලැබිලා තිබුණා. ඒ වාණිජ අංශයේ නිෂ්පාදක හැටියටයි. ඒ තනතුර භාරගත්තු මම සම්පත් රේඛා වැඩසටහන ආරම්භ කළා. ඒ විතරක් නෙමෙයි, පසු කාලිනව ලොටෝ වැඩසටහනත් ආරම්භ කළා.

* 1990 දශකය පිළිබඳ කතා කළොත්

1990 වසරේ මුල්ම රියැලිටි ෂෝ එක විදිහට පණ්ඩිත් අමරදේව, ප්‍රේමසිරි කේමදාස, ලයනල් අල්ගම, වික්ටර් රත්නායක වැනි ප්‍රවීණ සංගීතඥයින් විනිශ්චය මණ්ඩලය ලෙස සහභාගී වුණු “ඇසේ මදුර ගී”වැඩසටහන ආරම්භ කළා. ඒත් එස්. එම්. එස්. පාවිච්චි කළේ නම් නැහැ. මේ සංගීත වැඩසටහන නිෂ්පාදනය කළෙත්, ඉදිරිපත් කළෙත් මමමයි. 1994 දී ප්‍රථම දේශපාලන වැඩසටහන විදිහට “විපක්‍ෂයට අවසරය” කළා. 1982 දී නූටාන් ලංකාවට ආවා. මැයි දිනය සමරන්න. ඒත් සමඟම මට අවස්ථාව ලැබුණා නූටාන්ව මැදිරියට ගෙන්වලා ඔහු සමඟ ප්‍රථම සංගීත වැඩසටහන කරන්න. ඒ වසරේදීම “බුද්ධ පූර්ණිමා””කියලා ඉන්දියාව සමඟ කළ ප්‍රථම සජීවී වැඩසටහන පැවැත්වුණා. එතැනදී ඉන්දියාවේ හිටියේ ජේ. බී. දිසානායක මහතා ශ්‍රී ලංකාවේ සිට මමත්, නන්දදාස කෝදාගොඩ මහතාත් පණ්ඩිත් අමරදේව මහතාත් සම්බන්ධ වුණා. එහිදී සිදු වුණේ ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන ගැන සජීවි විකාශනයක්. ඒ වගේම දුරස්ථ ප්‍රථම බාහිර ප්‍රචාරක වැඩසටහන හැටියට 1997 සිරිපාදයේ ඉඳන් තවත් සජීවී වැඩසටහනක් කළා. ඊට පසුව රූපවාහිනියේ ටෙලි නාට්‍ය අංශය භාරව මා කටයුතු කළා. කොහොම වුණත් 1995 වසර වෙද්දී මම හිතුවා රූපවාහිනියෙන් ඉවත් වෙන්න. ඒත් තරමක් දුරකට ඒ තීරණය ගන්න මට අමාරු වුණා. ඒත් සමඟ මට ඉල්ලීමක් ලැබුණා. ETV ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂ තනතුරු භාරගන්න කියලා.

* ETV ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂ ලෙස ඔබතුමාගේ කාර්යභාරය වෙනස් වුණේ කොහොමද ?

එවකට ETV ආයතනයේ සභාපති වූයේ නහිල් විජේසූරිය මහතා. එතුමාගේ හිත තුළ තිබුණු සංකල්පයක් තමයි පිටරටින් එන වැඩසටහන් ලාංකීය ප්‍රේක්‍ෂක ජනතාව හමුවේ ද තැබිය යුතුයි කියලා. ඒ අනුව එම වැඩසටහන් මිලදී නොගෙන මෙහෙ විකාශනය කරන්න පටන් ගත්තා. මෙය විශාල ආන්දෝලනයකට ද තුඩු දුන්නා. කාලයක් ගත වුණා. පී. එච්. බී. සමූහ ව්‍යාපාරය ETV ආයතනය මිලදී ගත්තා. එහිදී මම එහි අධ්‍යක්‍ෂ සාමාන්‍යාධිකාරි බවට පත්වුණා. අවුරුදු 14 ක් පුරාවටම ස්වර්ණවාහිනිය සමඟ එක්ව පෝදා ධර්ම සාකච්ඡාව මම අදටත් කරනවා. 2007 වසරේදී මම ස්වර්ණවාහිණියෙන් ඉවත් වුණා.

* මෙතෙක් ආ ගමන් මෙඟ් දී හමු වූ අභියෝග තුළින් ඉදිරි කටයුතු සාර්ථක කරගත් ආකාරය පිළිබඳ කතා කළොත්?

මම අභියෝගවලට මුහුණ දෙන්න ඉගෙන ගත්තේ මගේ අම්මාගෙන්. අම්මාගේ මුළු ජීවිතයම කැප කළේ අපි වෙනුවෙන්. අම්මා අභියෝගවලට මුහුණ දුන් ක්‍රමවේදයම මා එහිදී අනුගමනය කළා. අනික මම ඉවසීමේ ගුණ ධර්මය හොඳට පුහුණු කළ කෙනෙක්. ඕනෑවට වඩා දේවල් මම අපේක්‍ෂා කරන්නේ නැහැ. ලැබෙන දේ සතුටින් භාර ගන්නවා. කොයිම මොහොතකවත් මම කෙටි මාර්ග හෙව්වේ නැහැ. මට ලැබුණු හැම උසස්වීමක් ම මම උපයා ගත් ඒවා.

* මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු ලෙසින්, වර්තමාන පරපුර ගැන ඔබට දැනෙන්නේ කුමක්ද?

මේ ක්ෂේත්‍රයට ඇතුළත් වීම අතිශය තරගකාරීයි. සීමිත කාලයක් ඇතුළත ගොඩක් දේවල් බලාපොරොත්තු වෙන්න බැහැ. කැපවීම අත්‍යවශ්‍යයි. ඒ වගේම ක්ෂේත්‍රය පිළිබඳ නිවැරැදි අධ්‍යනයක් කළ යුතුයි. ඒ වගේම ස්ථානෝචිත ප්‍රඥාවත් හරි වැදගත්.

* ඔබේ මාධ්‍ය ජීවිතයට හතළිස් පස් වසරක් සම්පූර්ණ වන මොහොතේදී ඒ වෙනුවෙන් සංවිධානය කළ උත්සවය පිළිබඳ හැඳින්වුවොත්?

මට මේ ආභාෂය ලබාදුන් ආනන්ද විද්‍යාලය අමතක කරන්න බැහැ. මේ උත්සවය එහිදී පැවැත්වීම ආඩම්බරයක්. අනෙක අතීතය අමතක නොකළ බවට පූර්වාදර්ශයක්. මෙහිදී රාජ්‍ය ආයතන තුනක් සහ කරුණාසේන අබේරත්න පදනම මීට එකතු වෙනවා. මෙහිදී මගේ තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක් ආරම්භ කරන අතර මා ඉදිරිපත් කරන පෝ දින ධර්ම සාකච්ඡා කිහිපයක් මුද්‍රණය කර ධර්ම දානය ලෙස බෙදා දීමටද කටයුතු යොදා තිබෙනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා