පොතකින් සියල්ල විසඳන්න එපා

පොතකින් සියල්ල විසඳන්න එපා

බටුවන්ගල රාහුල හිමි

කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනේ මූලික අධ්‍යාපනය ලබා බෙල්ලන ශ්‍රී ධර්මපාල පිරිවෙනෙන් ද්විතියික අධ්‍යාපනය ද ශ්‍රාස්ත්‍රවේදී උපාධිය ද ලබා දැනට ඔවිටිගල ශ්‍රී සුමන්දාරාම පිරිවෙනේ ගුරුවරයෙකු ලෙසට සේවය කරන උන්වහන්සේ නමින් බටුවන්ගල රාහුල හිමි ය. උන් වහන්සේ ලියූ ‘රන්පාට චිත්‍රයක් අතින් ගත් මහල්ලා’ කෘතිය මෙවර ස්වර්ණ පුස්තකයට ද නිර්දේශ විය. ඒ පිළිබඳ උන්වහන්සේ සමඟ කළ සාකච්ඡාවයි මේ.

* ඔබ වහන්සේ අතින් නිර්මිත වෙනත් නිර්මාණ මොනවාද?

මේ වන විට මුද්‍රණයෙන් ග්‍රන්ථ 10ක් එළි දැක තිබෙනවා. ‘උපන් ලපය’ සහ රතු උකුස්සෝ කෙටි කතායි. ඉන් ‘උපන් ලපය’ වෙනුවෙන් 2003 දී රාජ්‍ය සම්මාන හිමි වුණා. නවකතා 4ක් ලිව්වා. හරස්පාර, ප්‍රභානි, පංසලේ කතාවක් සහ බොරතෙල් කියලා. ප්‍රභානි වෙනුවෙන් 2006 දී රාජ්‍ය සම්මාන ලැබුණා. බොරතෙල් වෙනුවෙන් විද්‍යෝදය සම්මාන, ගොඩගේ සම්මාන සහ 2009 ස්වර්ණ පුස්තකයට නිර්දේශ වුණා. කවි පොත් 2ක් ලිව්වා. නෙළුම්විල හා අඩසිය කව්ගත කියලා. ආගමික ග්‍රන්ථ 2ක් ලිව්වා. ගෙදරට බණ, අපල සසඳහා බෝධිපූජා ලෙසින්.

* ‘රන් පාට චිත්‍රයක් අතින් ගත් මහල්ලා’ වස්තු විෂයය ඔබ වහන්සේ තුළ නිර්මාණය වූයේ කෙසේ ද?

මම නවකතාවක් ලියන්න ගියාම සමාජමය අද්දැකීම් ඊට ඉවහල් කර ගන්නවා. ඉන් පසුව ඒ තුළට යනවා. එහි සියලු දෑ විනිවිද දකිනවා. කිසියම් මානසික තලයක් උඩ ඉඳලා මෙහි එන සියලු දර්ශන මනස තුළ ගොඩනඟා ගත්තා. සෑහෙන කාලයක් තිස්සේ හිතලා තමයි මෙහි ආකෘතිය ගොඩනඟා ගන්නේ.

* ‘රන්පාට චිත්‍රයක් අතින් ගත් මහල්ලා’ ගැන යමක් පැවසිය හැකි ද?

කන්දක් උඩ හුදෙකලාව ජීවත්වෙන මහල්ලෙක් ගෝත්‍රික සමාජයේ ඩෙබරි කියන අවුරුදු 16ක ගෑනු දරුවෙක් මිල දී ගෙන එයත් සමඟ ජීවිතය ගෙවන ආකාරය මෙහි දැක්වෙනවා. මහල්ලා මනසින් එයාගේ අතීතයත් සම¼ඟ ද ජීවත් වෙනවා. මෙහි කාලය, දීපය සහ කුලය ගැන මම කිසිදු සඳහනක් කරන්නේ නෑ. සරල රස වින්දනයක් සෙවූ යථාර්ථවාදී කතා රීතීන් ඔස්සේ සියල්ල විසඳා ගන්න උත්සාහ දරණ අයෙකුට මෙය කියවීම අසීරු විය හැකියි.

* ඔබ වහන්සේගේ මේ නිර්මාණකරණය හරහා ලබා දෙන්නේ කුමක් ද?

මගේ වින්දනය උදෙසා මම පොත පත ලියනවා. සමාජයට පාරක් පෙන්වන්න මම උත්සාහ කරන්නේ නෑ. ලේඛකයෙක් හැටියට මේ අය මේ පැත්තට ඇදගෙන යන්න ඕනෑ කියන මතයේත් මම නැහැ. මම සමාජය දිහා උපේක්ෂා සහගතව බලන්න පුරුදු වෙනවා. ඒ පුරුදු වෙත යන මා, දකින දේ ලියනවා.

* ග්‍රන්ථ විචාරයන් ගැන ලේඛකයෙක් ලෙසින් ඔබ වහන්සේගේ අදහස කුමක් ද?

විවේචනය, විචාරය අවශ්‍යයි. අඩුපාඩුවක් තියෙනවා නම් ඒක පෙන්වා දෙන්න ඕනෑ. ලේඛකයා දැඩි අපහසුතාවයට පත් නොකර විචාරයන් කරනවා නම් හොඳයි. විචාරකයාගේ ප්‍රධාන කාර්යය ලේඛකයා හා පාඨකයා අතර පාලමක් තනා දීමයි. උපේකෂා සහගතව විචාරයන් කරනවා නම් හොඳයි.

* මේ කාලවකවානුව තුළ බොහෝ ලේඛකයෝ විවිධ ඇගැයීම්වලට ලක් වෙනවා. ඒ වගේ ම විවිධ සම්මාන උළෙලවල් පවත්වනවා. මේ පිළිබඳ ඔබ දක්වන්නේ කුමන ඇගයීමක් ද?

සම්මාන කමිටුවල යම් යම් අඩුපාඩු තියෙනවා නම් අපි සාධාරණ ලෙසට පෙන්වා දිය යුතුයි. නිර්දය විදිහට විවේචනය කරනවාට මම කැමති නෑ. මොකද ඔබ කැමති දේට නොවෙයි මම කැමති. ඕනෑම විනිශ්චයක දී තාර්කික පදනමක් තිබිය යුතුයි. තමන් ඉදිරිපත් කළ විනිශ්චය මෙන්න මේ හේතු කාරණා උඩය ගොනු කළේ කියලා පෙන්වා දිය යුතුයි. නැතිනම් ලේඛකයා අපහසුතාවයට පත් වෙනවා.

* ඉදිරියේ දී මහා පොත් ප්‍රදර්ශනයක් BMICH හි දී පැවැත්වෙනවා. පොත් ප්‍රදර්ශනය හා කියවීම කියන කාරණාව ඔබ දකින්නේ කෙසේ ද?

BMICH හි දී පොත් විකිනෙනවා කියන එක පොත් කියවන එකත් එක්ක සම්බන්ධතාවයක් නෑ. ඒක විලාසිතාවක්. සාලයේ පොත් රාක්කයක් තියෙනවා කියන එක ජේත්තුකාර පරිභෝජන රටා රැල්ලෙම එක කොටසක්. කියවීම ඊට වඩා වෙනස් දෙයක්. අද තරුණ පුරපුර නවීන තාක්ෂණයත් එක්කයි කටයුතු කරන්නේ. පොත පතට ඇහැ යොමු කරනවාට වඩා Screen එකටයි ඇහැ යොමු කරන්නේ. පොත පතත් අලුත් තාක්ෂණයට යා යුතු වෙනවා. e - book  එකක් එනවා නම් නව ප්‍රවනතාවයක් ඇති වේවි. වානිජ පරමාර්ථ අරබයා නොවෙයි ලංකාවට පොත පත දායාද කළ යුත්තේ. අනාගත පරපුරක් අරඹයායි. ඒ කාර්යය හරියට කරනවා ද කියලා ගැටලුවක්. බෞද්ධ පොත පත නම් ආප්ප බානවා වගේ ලිය ලියා දෙනවා මොන මොනවා හරි. බුදු හාමුදුරුවෝ නොකියපු දේවලුත් කිව්වයි කියලා කවර වෙනස් කර කර සමාජයට දෙනවා. අපට දානවලට පිරිකර විදිහටත් ඒවා පිළිගන්වනවා.

* කියවන සමාජයක් උදෙසා රාජ්‍ය අනුග්‍රහය කුමන ආකාරයට ලබා දිය යුතු යැයි ඔබ වහන්සේ යෝජනා කරන්නේ ද?

ගම් මට්ටමින් කුඩා කුඩා පුස්තකාල ඇති කරලා තිබෙනවා. ඒවා තව දුරටත් පුළුල් ප්‍රචාරක මාධයයක් හරහා ළමයින්ට යොමු කළ යුතුයි. ඒ විතරක් නෙවෙයි. ඒවාට පොත පත ලබා දිය යුතුයි. ඇතැම් පුස්තකාල දිහා බැලුවොත් අපට දකින්න ලැබෙන්නේ කබඩ් එකක් විතරයි. පොත පත අඩුයි. ඒ සඳහා පුළුල් සේවාවක් යොදනවා නම් හොඳයි. ඒ විතරක් නෙවෙයි ඒවාට අගය පහදලා දීලා ප්‍රජාව සම්බන්ධ කරවන වැඩසටහනකුත් දියත් කළොත් ප්‍රතිඵලය ඉතා උසස් මට්ටමකට ගෙන ආ හැකියි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා