විජේකෝන් ජාතික වාර්තා බිඳ දැමූ ක්‍රීඩක සමාජයේ

විජේකෝන් ජාතික වාර්තා බිඳ දැමූ ක්‍රීඩක සමාජයේ

ශ්‍රී ලංකාවේ චමින්ද විජේකෝන්, ඩේගු ක්‍රීඩාංගණයේදී පැවැති 13 වැනි ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේදී තම රටවල ජාතික වාර්තා බිඳ දැමූ මලල ක්‍රීඩක විශිෂ්ට සමාජයට එක්ව සිටී. දින 9ක් තිස්සේ පැවැති ලෝක සූරතාවලියට රටවල් 203 කින් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2,000කට වැඩි පිරිසක් සහභාගි වූවද ඔවුන්ගේ රටවල ජාතික වාර්තා මකා දැමීමට සමත් වූයේ 41 දෙනෙකු පමණි. ආසියානු සූරතාවලියේ රන් පදක්කම්ලාභී විජේකෝන් මේ දුර්ලභ දස්කම පිරිමි මීටර 1,500 ඉසව්වේ අර්ධ අවසන් පූර්ව මූලික වටයේදී වාර්තා කළේය.

චමින්ද විජේකෝන් (මැද) ඩේගු තරග බිමේදී...

විජේකෝන් මෙහිදී ඔහුගේ ශ්‍රී ලංකා වාර්තාව අභිබවා යමින් මිනිත්තු 3යි තත්පර 39.61ක කාලයක් සටහන් කළේය. මෙවර ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ බිහිවූයේ එක ම එක ලෝක වාර්තාවක් පමණි. තරගාවලියේ අවසාන ඉසව්ව වූ පිරිමි මීටර 100 ය 4 සහාය දිවීම ඉසව්වේ තත්පර 37.04ක කාලයකින් එම ලෝක වාර්තාව පිහිටුවූයේ ජැමෙයිකාවයි. ලෝක මලල ක්‍රීඩා සූරතා වාර්තා 3 ක් ද” ඩේගු හිදී මකා දැමුණු අතර ඒවා බිඳ දමනු ලැබුවේ ක්‍රීඩිකාවන් විසිනි.

නවසිලන්තයේ වැලරී ඇඩම්ස් (මීටර 21.24 – යගුලිය දැමීම), රුසියාවේ මාරියා අබකුමොවා (මීටර 71.99 – හෙල්ල විසි කිරීම) හා ඔස්ට්‍රේලියාවේ සැලී පියර්සන් (තත්පර 12.28 – මීටර 100 කඩුලු පැනීම) රන් පදක්කම් දිනා ගනිමින් මේ නව ලෝක මලල ක්‍රීඩා සූරතා වාර්තා පිහිටුවූහ.

මේ තරගාවලියේදී, බ්‍රසීලයේ ෆැබියානා මුරර් (කාන්තා රිටි පැනීම ඉසව්වේ මීටර 4.85 – රන් පදක්කම), දකුණු අප්‍රිකාවේ සුනෙට් විල්ජෝඅන් (කාන්තා හෙල්ල විසි කිරීම ඉසව්වේ මීටර 68.38 – ලෝකඩ පදක්කම), ඉක්වදෝරයේ ඇන්ඩ්‍රස් චොකො (පිරිමි කිලෝ මීටර 50 තරග ඇවිදීම ඉසව්වේ පැය 3යි මිනිත්තු 49යි තත්පර 32යි – 11 වැනි ස්ථානය) හා බ්‍රසීලයේ කාන්තා මීටර 100 x 4 සහාය දිවීම කණ්ඩායම (තත්පර 42.92 – මූලික තරග) මහාද්වීප වාර්තා 4ක් බිඳ දැමූහ.

සමස්ත වශයෙන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 166 දෙනෙකු ඔවුන්ගේ හොඳම දක්ෂතා මෙහිදී වාර්තා කළහ. තරගකරුවන් 341ක් ඔවුන්ගේ තරග වාරයේ හොඳම දක්ෂතාව සටහන් කළහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා