කෙරවලපිටියේ උදයංග ඝාතන සැකකරුවෝ කොටුවෙති

කොල්ලකන්න ආවා: වෙඩි තිබ්බා : පැන්නා

කෙරවලපිටියේ උදයංග ඝාතන සැකකරුවෝ කොටුවෙති

යෞවනයේ දොරටු අභියසදී ජීවිතයෙන් සමුගත් තරුණයකුගේ අනුවේදනීය හද කම්පා කරවන සංවේගී කථාවක් කෙරවලපිටිය හැදල වත්තල ප්‍රදේශයෙන් අසන්නට ලැබෙයි.

මෙසේ අවාසනාවන්ත අයුරින් ජීවිතයෙන් සදහටම, සමුගෙන ඇත්තේ අංක 330 දරණ කෙරවලපිටිය හැදල වත්තල ලිපිනයේ පදිංචිව සිටි වෙළෙඳ ව්‍යාපාරික සුනිල් අල්විස් මහතාගේ සහ ඩී.එස්. පුෂ්ප කාන්ති මහත්මියගේ දයාබර පුතුණුවන් වූ ඉසුරු උදයංග අල්විස් නමැති 22 හැවිරිදි තරුණයාය.

ඉසුරුගේ මෑණියන් වන ඩී.එස්. පුෂ්ප කාන්ති මහත්මිය මෙසේ කීවාය.

03 වෙනිදා උදෑසන 8.20ට පමණ සුඛෝපභෝගී මොන්ටේරෝ ජීප් රරථයක් අපේ නිවෙස ඉදිරිපිට නවත්තල තුන්දෙනෙක් නිවෙසට පැමිණියා. මේ තුන්දෙනාගෙන් එක්කෙනෙක් මිදුලේ නතර වෙලා දෙදෙනෙක් නිවසේ ආලින්දයට ගොඩ වුණා. මේ අය හැඩි දැඩි පෙනුම ඇති තරුණ පහේ අයයි. ඒ අය හොඳට ඇඳ පැළඳගෙන සිටියා. එක් අයෙක් මගෙන් මහත්තයා ඉන්නවාද කියා ඇසුවා. මහත්තයා වැඩට ගියා. ඇවිත් වාඩි වෙන්න කියා මං, මහත්තයට දුරකථන ඇමතුමක් දෙන්නම් කියල කිව්වා. ඕනෑ නැහැ අපි පොලීසියෙන් නිවස පරීක්ෂා කරන්නයි ආවේ.

මෙහේ ගිනි අවියක් තියෙනවා කියල ආරංචියක් ලැබුණා කියා එයාලා කීවා. අයෙක් මැද සාලයේ නතර වෙලා අනෙක් කෙනා මාත් සමඟ නිවසේ උඩු මහලට ඇවිත් හැම තැනම ඇදල පරීක්ෂා කළා. අල්මාරියත් ඇරල බලලා කිව්වා රත්තරං බඩු කෙහෙද තියෙන්නෙ ඉක්මනට එළියට ගන්න කීවා. එතකොට මං කීවා බැංකුවේ උකස් තියල කියල. එවෙලේ ඔහු මා දිහා නපුරු විදියට බැලුවා. එතකොටම පහත මාලයේ වෙඩි ශබ්දයක් ඇහුණා. එවිට ඒ පුද්ගලයා කලබලයෙන් පහළට දුවගෙන ආවා. හද ගැස්මෙන් මාත් පහතට දුවගෙන ගියා.

අනේ එතකොට මගේ රත්තරන් ඉසුරු පුතා ලේ විලක් මැද සාලයේ වැටී සිටියා. ආපු තුන්දෙනා වාහනයට නැගිලා පලා ගියා.

මේ අවස්ථාවේ මගේ කෑ ගැසීමට අහල පහළ උදවිය දුවගෙන ආවා. නිවෙස අවට සෙනඟ පිරෙන්න ගත්ත. අපි ඉක්මනට පුතාව වත්තල පෞද්ගලික රෝහලට ඇතුළත් කළා. එහෙත් පුතාගේ තත්වය බරපතළ බව වෛද්‍යවරු පැවසූ නිසා පුතාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළා. එහිදී ප්‍රතිකාර කරමින් සිටියදී මගෙ වස්තුව, රත්තරං පුතා සදහටම ඇස් දෙක පියා ගන්නා යැයි පවසමින් ඇය හඬා වැලපුනාය.

දස මසක් කුසේ තියාගෙන මම හදාවඩාගත්ත මගෙ ගෙදරට මිණි පහනක් වගේ බැබලි බැබලි සිටි මගේ සුරතල් පුතා ලේ විලක් මත ද¼ඟලද්දී මොන අම්මටද බලා ඉන්න පුළුවන්. මගෙ ළය පැලීයන්න ආවා. මේ වගේ දුකක් තවත් අම්මලාට සිදු නොවන්න නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න කියල මං ඉල්ලා සිටිනවා. ඉසුරු උදයංග තරුණයාගේ අසල්වැසියකු මෙසේ කියා සිටියේඩ.

ඉසුරු තාත්ත සමඟ ගොඩනැඟිලි ඉදිකිරීම් ව්‍යාපාර කටයුතුවල නියලිලා සිටියා. ගමේ කා අතරත් හිත හොඳ ලස්සන තරුණයෙක්. ඉසුරු මේ ලෙස ඝාතනය කරන්නට ඇත්තේ මංකොල්ලයට ආපු පුද්ගලයෙකුව හඳුනාගෙන වෙන්න ඇති කියල අපි හිතනවා. ඉසුරු තම පියාට වඩා ව්‍යාපාර ලෝකයේ ඉහළටම යන්න සිටි කෙනෙකි. ඔහු ගමේ පොදුවැඩවලට අත හිත දුන්න පරාර්ථකාමී තරුණයෙකි. කොල්ල කරුවන් හට නවීන පන්නයේ මොන්ටේරෝ ජීප් රථය ලබා දුන්නැයි කියන සැකකරු පෑලියගොඩ පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර එම රථය වෙන්නප්පුව ප්‍රදේශයේ ලියාපදිංචි කර ඇති බැව් පොලිස් පරීක්ෂණවලින් හෙළිදරව් වී ඇත.

මේ ඝාතනය සම්බන්ධව කැලණිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතුංග මහතාගේ උපදෙස් අනුව පරීක්ෂණ පැවැත්වූ බස්නාහිර උතුර කොට්ඨාසයේ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් කණ්ඩායමක් සැකකරුවන් දෙදෙනෙකු ජා-ඇළ සහ දෙමටගොඩ දී අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වත්දි ඉසුරුගේ ඝාතනය ඇතුළු තවත් මිනිස් ඝාතනයන් සහ කොල්ලකෑම් රැසක තොරතුරු අනාවරණය වී ඇත.

මේ සැකකරුවන් දෙදෙනා සුඛෝපභෝගී වාහනයක් කුළියට ගෛන ඉසුරුගේ නිවෙස් කොල්ලකෑමට පැමිණ ඇති බව පොලිසිය කියයි.

ආයුධ සහ බෝම්බ ඇතැයි කියා නිවෙස පරීක්ෂා කරන මුවාවෙන් නිවෙසට ඇතුලුවී ඇති කල්ලිය ඉසුරුට වෙඩිතබා ඝාතනය කැර ඇත. රාගම, ජාඇළ මීගමුව වත්තල බේරුවල ප්‍රදේශවල නිවාස දහයක් පමණ මේ කල්ලිය කොල්ලකා ඇත්තේ පොලිස් වෙසිනි.

නිවාස සෝදිසිකිරීමට කලින් නිවැසියන් අමතන මේ කල්ලිය ස්වර්ණාභරණ සහ මුදල් ඇත්නම් ඒවා තමන් ළඟට ගන්නා ලෙස පවසා ඉන් අනතුරුව එම මුදල් සහ ස්වර්ණාභභරණ පැහැරගෙන යතියි පොලිසිය කියයි.

කෙරවලපිටියේ ව්‍යාපාරික ඉසුරුගේ නිවෙස කොල්ලකෑමට මේ කල්ලිය ගිය මොන්ටේරෝ ජිප් රියද පොලිසිය මේ වන විට සොයාගෙන තිබේ. දිනකට රුපියල් දස දහසක කුලියට මොන්ටේරෝ රථය ලබාගෙන තිබේ.

කටුනායක ප්‍රදේශයේ පදිංචි නමගිය කරාටේ සූරයකු වූ නදීෂාන් සුමින්දට වෙඩි තබන ඝාතනය කැර ඇතැයි කියන්නේ මේ කල්ලියයි. නදීෂාන් 2010 වසරේ සාෆ් තරගාවලියේදී ටයිකොන්ඩෝ අංශයෙන් රිදී පදක්කමත් දිනාගත් ක්‍රීඩකයෙකි.

සැකකරුවන් සතුව තිබූ අත්බෝම්බ දෙකක්ද පොලිසිය මේ වන විට සොයාගෙන ඇත. මේ කල්ලිය මෙතෙක් කොල්ලකා ඇති මුදල් සහ ස්වර්ණාභරණවල වටිනාකම රුපියල් ලක්ෂ 50කට ආසන්නය.

කැලණිය කෝට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අමරසිරි සේනාරත්න මහතාට ලැබුණු තොරතුරක් මත ෙමේ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් උතුර විශේෂ අපරාධ විමර්ශණ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී කපිල තඹුපිටිය ස්ථානාධිපති උපුල් සමරසිංහ පොලිස් පරීක්ෂක වසන්ත යුදසිංහ මහත්වරු ඇතුළු කණ්ඩායමක් විසිනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා