මිතුරන් දෙදෙනාගේ ආරවුල දුරදිග ගිහින් එක් මිතුරකුගේ දත් දෙකක් අහිමි වෙලා

මිතුරන් දෙදෙනාගේ ආරවුල දුරදිග ගිහින් එක් මිතුරකුගේ දත් දෙකක් අහිමි වෙලා

අවනඩුව නැවතුණේ උසාවියේ

සැකකරුට රුපියල් පනස් දහසක දඩ නියම වෙයි

යහළුවන් දෙදෙනකු අතර සුළුවෙන් ඇතිවූ වචන හුවමාරුවක් දුරදිග ගොස් එක් යහළුවකුගේ පහරකින් අනෙක් යහලුවාගේ හක්කේ තිබූ දත් දෙකක් කැඩීයාමේ සිද්ධියක් මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාර්තාවේ.

සිද්ධියට අදාළ මිතුරන් දෙදෙනා ජලාපවහන කාර්යාලයක සේවකයන් දෙදෙනෙකි. පසුගිය සතියේ දිනක සේවා ස්ථානයේදී ඔවුන් දෙදෙනා අතර සුළු කථාබහක් ඇති විය.

ටිකින් ටික එය දුරදිග ගියේ ඔවුනට නොදැනුවත්වමය. පසුව එය එකිනෙකාගේ අත පය එකිනෙකා දෙසට ද එල්ලවන තත්ත්වයට පත් විය. අවසාන ප්‍රතිපලය වූ එක් මිතුරකුගේ හක්කේ තිබූ දත් දෙකක් ගැලවී යාමය.

පසුව මෙම සිද්ධිය මරදාන පොලිසියට පැමිණිලි කෙරිණි. පහර දුන් මිතුරා මරදාන පොලිසිය මගින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණේ අතින් පහර දී දත් දෙකක් කඩා දැමීමේ වරදටය.

ඒ අවස්ථාවේ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඩෙන්සිල් ලොයිඩ් ග්‍රේ මහතා අධිකරණය වෙත කරුණු දක්වමින්, ස්වාමීනි, මේ සැකකරුත් පැමිණිලිකරුත් එකම ආයතනයේ සේවය කරන මිතුරන් දෙදෙනෙක්. සිද්ධිය වූ දින මේ දෙදෙනා අතර සුළු කථා බහක් ඇති වී තිබෙනවා. පසුව එය දුර දිග ගොස් ඔවුනට නොදැනුවත්ව දෙදෙනාගේම අතපය එහෙට මෙහෙට වී තිබෙනවා. එහිදී පැමිණිලිකරුගේ දත් දෙක කැඩී තිබෙනවා. පැමිණිලිකරු වන්දියක් ඉල්ලන්නේත් නෑ. නඩුවක් ඉදිරියට ගෙනයන්නටත් බලාපොරොත්තුවක් නෑ. තම මිතුරා හිතාමතා තුවාල කිරීමේ චේතනාවක් මගේ සේවාදායකයාට තිබී නෑ. පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් වූ පසු සුදුසු පියවරක් ගැනීමට අප සූදානම්. ස්වාමීනි, එතෙක් සැකකරුට ඇපයක් නියම කරන ලෙස ඉල්ලා සිටිනවා.

නීතිඥ ඩෙන්සිල් ලොයිඩ් ග්‍රේ මහතාගේ ඉල්ලීම ගැන සළකා බැලූ මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ජී. එල්. ප්‍රියන්ත මහතා විසින් සැකකරුට රුපියල් පනස් දහස බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කරන ලදී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා