‘හරිත රටක් දැයට සෙතක්’ යටතේ පැළ 11,000ක් සිටුවීමේ වැඩ සටහනක් හොරණදී

‘හරිත රටක් දැයට සෙතක්’ යටතේ පැළ 11,000ක් සිටුවීමේ වැඩ සටහනක් හොරණදී

විධිමත් අගැයීමකින් තොරව සමහර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම නිසා අද පරිසරය වෙනස්වී ඇති බව යහපාලනය සහ යටිතල පහසුකම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති රත්නසිරි වික්‍රමනායක මහතා හොරණ ශ්‍රී මේධංකර මහා විදුහලේදී පැවසීය.

පරිසර අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් හරිත රටක් – දැයට සෙතක් තේමාව යටතේ පැළ 11,000ක් රෝපණය කිරීම නිමිත්තෙන් නොවැම්බර් 15 වැනි දින පැවැති රුක් රෝපණ වැඩසටහනට ප්‍රධාන ආරාධිත වශයෙන් සහභාගි වෙමින් ඒ මහතා එසේ පැවසීය.

ඒ මහතා මෙසේද පැවසීය. පසුගිය 2010 වසරේදීත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මට්ටමෙන් අපි උත්සවයක් පැවැත්වූවා. .අද පරිසරය මුළුමනින්ම අපවිත්‍රවෙලා. පරිසරය විශාල තර්ජනයකට මුහුණපාලා. ලංකාවේ කවදාවත් නොඇසූ නායයාම් බඳු ව්‍යසන මතුවී තිබෙනවා. අපි සුනාමියකටත් මුහුණ දුන්නා. සොබාදහමට පටහැනි දේ සිදුවෙනවා. පරිසරය මගින් සියලු අංශ ආවරණය වෙනවා. ගොවිතැනට වගාවට සියලු දේට පරිසරය බලපානවා. අපේ රටේ 48% කැලෑව තිබුණා. අද එය 21% දක්වා අඩුවෙලා.

සමහර පළාත්වල බීමට වතුර ගැනීම අපහසු වෙලා.පරිසර අධිකාරියක් ඒ යුගයේ තිබුණේ නෑ. විධිමත් ඇගයීමකින් තොරව මාර්ග ගොඩනැගිලි ආදී විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් අද පරිසරය වෙනස් වෙලා. ජනගහනයෙන් විශේෂයෙන් සිසු සිසුවියන් දියවැඩියා රෝගයෙන් පෙළෙන බව වාර්තා වෙනවා. අපේ ආහාර පමණක් භාවිතා කිරීමට ගන්නවා නම් මේ දුර්විපාකයෙන් ආරක්‍ෂා වන්නට පුළුවන්.

දවස අනාගතයේ වගකීම භාර ගන්නේ අපේ දූදරුවන් විසින්.අපේ පරිසරය විනාශයට බලපාන හේතු රාශියක් තිබෙනවා. රටේ සංවර්ධනය අප කල්පනාකාරීව කරන්නට අවශ්‍යයි. දවසින් දවස සමාජය වෙනස් වෙනවා. අපි ඉදිරියට යන්නට දැනුමෙන් සන්නද්ධ විය යුතු වෙනවා. අපි අභියෝග ජය ගන්නට අවශ්‍යයි. ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ ශක්තිය දරුවන්ට ලබාදිය යුතුයි. අපි පෞරාණික ඉතිහාසයකට සංස්කෘතියකට නෑදෑකම් කියනවා. සතා සිවුපාවාට ආදරය කළ යුතු වෙනවා.

ශ්‍රී මෙධංකර මහා විදුහලේ විදුහල්පති කේ. කේ. සේනාරත්න මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ පදවි ප්‍රාප්තියත් රුක් රෝපණය දිනයත් මුල්කරගෙනයි මෙම වැඩ සටහන ක්‍රියාත්මක වූයේ. රටට වැදගත් ආදර්ශවත් වැඩ පිළිවෙළක් නිසා පාසල් දරුවන්ට ඉතා වැදගත් දෙයක්. හරිත වර්ණයෙන් යුත් රටක්, ජෛව විවිධත්වයෙන් යුත් රටක් ගොඩනැගීම අවශ්‍යයි. පරිසරයට ආදරය කිරීමත් රැක ගැනීමත් කළ ගුණසැලකීමක්. බෞද්ධයන් විදියට පරිසරය ආරක්‍ෂා කිරීම අවශ්‍යයි. පරිසරය රැක ගැනීම බෞද්ධයන් විසින් කළයුතු පුණ්‍යකර්මයක්.

මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ ජ්‍යෙෂ්ඨ සංවර්ධන කළමනාකාර ඉංජිනේරු ජී. ඩබ්ලිව්. අමරසිරි මහතා ද අදහස් දැක්වීය. කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක, හොරණ ප්‍රාදේශීය ලේකම් නිශාන්ති ජයසිංහ, කළුතර දිස්ත්‍රික් පාරිසරික නිලධාරීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා