ජාතික දෘෂ්‍යබාධිත සම්මේලනය මීගොඩදී

ජාතික දෘෂ්‍යබාධිත සම්මේලනය මීගොඩදී

විවිධ ආබාධිත තත්ත්වයෙන් පසුවන දරු දැරියන් ගේ අධ්‍යාපන කටයුතු නැංවීමට ලබන වසරේ සිට සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම විශේෂ අධ්‍යාපන ඒකකයන් පිහිටුවීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ ජාතික දෘශ්‍යාබාධිත සම්මේලනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණි අවස්ථාවේදීය.

සම්මේලනය මීගොඩ මැදි මහ විදුහල් ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. සියලු පළාත් නියෝජනය කරමින් පැවැති මෙම සම්මේලනයේදී ඔවුන්ගේ සහජ හැකියාවන් දන්වමින් ගීත ගායන කිරීමේ ඇතුළුව විවිධ කලා අංක රැසක් ඉදිරිපත් කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති ගුණවර්ධන මහතා මෙසේ ද පැවසීය. මෙරට ආබාධිත දරුවන් වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය පහසුකම් ලබා දී තිබෙනවා. දැනට කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඩී. එස්. සේනානායක විදුහලේ සහ කොට්ටාව ධර්මපාල විදුහලේ විශේෂ අධ්‍යාපන ඒකක පවත්වාගෙන යනවා. එය ප්‍රමාණවත් නැති නිසා ලබන වසරේ සිට පුළුල් කිරීමට සැලසුම් කර තිබෙනවා.

විශේෂ අධ්‍යාපන ක්‍රමයත් අනුව පුහුණු කරන ලද ගුරුවරුන් වෙනත් විෂයන් ඉගැන්වීම සිදු කරගෙන යනවා. මෙය ඉතාම කනගාටුදායක තත්ත්වයක්. මේ තත්ත්වය නැවැත්වීමට සිදු වෙනවා. ඒ සඳහා අවශ්‍ය පියවර ලබන වසරේ සිට ක්‍රියාත්මක කරනවා.

ජාතික දෘශ්‍යාබාධිත සංගමයේ සභාපති ඩබ්ලිව්. එම්. රත්නසේකර මහතා - 1912 වසරේදී ආරම්භ කරන ලද අප සංගමය, සෑම වසරකම සම්මේලනය පවත්වනවා. මේ වන විට රට පුරා දෘශ්‍යාබාධිත උපාධිධාරීන් හයදහසකට වඩා සිටින අතර, දැනට හැට දෙනකුට වැඩි පිරිසක් විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබනවා.

අප වැනි ආබාධිත පවතින අයගෙන් දස දහසක් පමණ සිටිනවා. කිසිදු ආදායමක් හෝ රැකියාවක් නොමැති පිරිසක්. මේ අතරින් නිවෙසක් නොමැති පවුල් විශාල සංඛ්‍යාවක් සිටිනවා.

අපගේ මේ ප්‍රශ්න පිළිබඳව අදාල ආයතනවල අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා. අපගේ විශේෂ ඉල්ලීම එක් දිස්ත්‍රික්කයකින් නිවසක් නැති අපගේ එක් පවුලකට නිවසක් සාදා දෙන ලෙසයි.

මේ අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන ගාමිණී තිලකසිරි, ජනක වැලිවත්ත, හෝමාගම ප්‍රා/සභා මන්ත්‍රීවරුන් ඇතුළු රැසක් සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා