ගිනස් වාර්තා පිහිටුවීම පිළිබඳ ශ්‍රී ලංකාව තුළ නියෝජිතයෙකු නෑ

ගිනස් වාර්තා පිහිටුවීම පිළිබඳ ශ්‍රී ලංකාව තුළ නියෝජිතයෙකු නෑ

ජාවාරම්කරුවන්ගෙන් ප්‍රවේශම් වන ලෙස මහාචාර්ය අර්ජුන කියයි

ශ්‍රී ලංකාව තුළ ගිනස් වාර්තා පිහිටුවීම සම්බන්ධව කටයුතු කරන කිසිදු නියෝජිතයෙකු හෝ ආයතනයක් නොමැති බව ක්‍රීඩා වෛද්‍ය ආයතන ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා අවධාරණය කරයි. ගිනස් වාර්තා පිහිටුවීම සම්බන්ධව ශ්‍රී ලංකාව තුළ නියෝජිතයෙකු ලෙස පෙනීසිටින අයෙක් වෙතොත් එවැනි ජාවාරම් කරුවන්ගෙන් ප්‍රවේශම්වන ලෙස මහාචාර්යවරයා ඉල්ලා සිටියි.

ගිනස් වාර්තා පිහිටුවීමට අවශ්‍ය නම් එංගලන්තයේ ගිනස් වාර්තා සම්මේලනය සමග සෘජුව සම්බන්ධවිය යුතු බව ඒ මහතා පැවැසීය. අන්තර්ජාලය ඔස්සේ වාර්තාව සම්බන්ධ තොරතුරු රුපියල් ලක්ෂ 6.5 ක මුදලක් සමග යැවීමෙන් ගිනස් වාර්තා පොතට එක්විය හැකිව තිබේ. මුදල් කෙලින්ම ගිනස් ආයතනයේ ගිණුමට බැර කළ යුතුවේ. ගිනස් වාර්තා සම්මේලනයේ ලියාපදිංචි වී එහි නීති – රීති අනුව කටයුතු කිරීම හැර ගිනස් වාර්තා පිහිටුවීමට ශ්‍රී ලංකාව තුළ වෙනත් කිසිදු මාර්ගයක් නොමැති බව මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැහැදිලි කළේය.

ගිනස් වාර්තාව පිහිටුවූ සනත් බණ්ඩාර හා මහාචාර්ය අර්ජුන ද සිල්වා

ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා එසේ පැවසීය. මේ අවස්ථාවට අවසන් වරට ශ්‍රී ලංකාවේ දී ගිනස් වාර්තාවක් පිහිටුවූ සනත් බණ්ඩාර මහතාද එක්වූවේය. ගල්කිරියාගම පදිංචි ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කරන සනත් බණ්ඩාර මහතා ටී. ෂර්ට් 257ක් ඇඳ ගිනස් වාර්තාවක් පිහිටුවිය.

එය 2011 දෙසැම්බර් මාසයේදී කොළඹ හයිඩ් පිටියේ දී බණ්ඩාර මහතා පිහිටුවූ අතර පැරණි වාර්තාව තබා තිබුණේ 2006 දී ටී ෂර්ට් 247ක් ඇඳ ඇමරිකාවේ ටොම් රාවුන්ය. ශ්‍රී ලංකාවේදී ගිනස් වාර්තා පිහිටුවා ඇත්තේ 1998 දී තනිකකුලෙන් වැඩිම වේලාවක් සිටගෙන සුරේෂ් ගර්කිම් 2009 දී කොන්ක්‍රීට් ගල් 10ක් ඔලුවෙන් කඩා වසන්ත ද සොයිසා 2009 දී දීර්ඝතම වෛද්‍ය වැඩසටහන ඉදිරිපත් කළ වෛද්‍ය ජයලත් ජයවර්ධන හා 2011 දී ටී ෂර්ට් 257ක් ඇඳ සනත් බණ්ඩාර යන මහත්වරු විසිනි.

ගිනස් වාර්තාවක් පිහිටුවද්දී වෛද්‍යවරයෙකු , පූජකවරයෙකු, ඇමැතිවරයෙකු, නගරාධිපතිවරයෙකු නීතිඥවරයෙක් හා නිලධාරීන් දෙදෙනකුගෙන් යුත් විනිශ්චය මණ්ඩලයක්ද සිටිය යුතුය. ගිනස් වාර්තාව පිහිටුවීම සංස්කරණය නොකළ වීඩියෝ පටයක් මගින් ඉදිරිපත් කළ යුතු අතර ඒ සඳහා මුද්‍රිත මාධ්‍යයෙන් ලැබුණු ප්‍රචාරය ද ඉදිරිපත් වීම අනිවාර්ය වේ.

අවසන්වරට ගිනස් වාර්තාව පිහිටුවූ වසන්ත බණ්ඩාර මහතා පැවැසුවේ අවස්ථා 4කදීම ගිනස් වාර්තා පිහිටුවීමේ සිහිනය බොඳවී ගියද නියම ක්‍රමවේදයක් ඔස්සේ මෙවර කටයුතු කළ හෙයින් ගිනස් පොතට එක්වීමේ අවස්ථාව ලද බවය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා