කලාව අහිංසකයි

කලාව අහිංසකයි

ලේඛක කුලරත්න වීරසූරිය

කුලරත්න වීරසූරිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිධාරියෙකි. එමෙන් ම අධ්‍යාපන කළමනාකරණ පශ්චාත් උපාධිධාරියෙකි. ඔහුගේ පළමු නවකතාව ‘විරු සහ මෙරු‘ පසුගිය දා එළි දැක්විණි. ඒ සම්බන්ධයෙන් කුලරත්න වීරසූරිය සමඟ කෙරුණු සාකච්ඡාවකි මේ.

* ‘විරු සහ මෙරු‘ ඔබේ පළමු නවකතාව. ඔබ එය දේශපාලන නවකතාවක් ලෙස නම් කර තිබෙනවා. එසේ නම් කිරීමට හේතුව කුමක්ද?

මම මේ නවකතාවෙන් පෙන්වා දෙන්නේ සංවර්ධනය සඳහා දේශපාලන විප්ලවයකට යන්න ඕන නම් ඒක කෙරෙන්න ඕන කොහොමද කියන එකයි. විප්ලවවාදී චරිතයක් කුමන පරිසරයක් තුළ විප්ලවයකට යා යුතුද යන්න එහි දැක්වෙනවා. අපේ සමාජය මුහුණ දුන් කටුක අත්දැකීම් රාශියක් තිබෙනවා. ඒත් ඒවා අත්හදාබැලීම් විතරයි. ලැබුණු ප්‍රතිඵලයක් නෑ. අපේ රටේ සිදුවුණු විප්ලව මෙහෙය වුණේ අත්දැකීම් රහිත අය විසින්. විදේශීය ක්‍රමවේද ඔස්සේ අපේ රටේ විප්ලව කරන්න බෑ. මොකද ඒවා අපේ රටට බද්ධ කරන්න බෑ. ඒ නිසා තමයි විශාල හානියක් සිදු වුණේ.

* එසේ නම් ඔබ යෝජනා කරන ක්‍රමවේදය කුමක්ද?

පළමුවෙන් ම අපි හිතන්න ඕන අපෙන් ලෝකයට දිය යුත්තේ කුමක්ද යන්නයි. අපට දෙන්න පුළුවන් හොඳම දේ තමයි බෞද්ධ දර්ශනය. බෞද්ධ දර්ශනයේ සඳහන් සමාජ ආර්ථික මොඩලය ඒ සඳහා යොදා ගන්න පුළුවන්. ලෝකයේ අදටත් සිදු වෙන්නේ සම්පත් සඳහා අරගලයක්. පාරිභෝජනවාදී සමාජයක් අද තිබෙන්නේ. ඒත් පාරිභෝජනවාදයෙන් ඈත් වූ පරිසරය සමඟ බද්ධ වූ ක්‍රමයක් අප සතුයි. සංවර්ධන සඳහා වූ විප්ලවය සඳහා අපට මේ ?ශ්‍රී ලාංකික මොඩලය භාවිත කරන්න පුළුවන්.

* ශ්‍රී ලාංකික මොඩලය යනුවෙන් ඔබ අදහස් කරන දේ තවදුරටත් පැහැදිලි කළොත්......?

ඓතිහාසිකව අපේ ආර්ථික රටාව, සංස්කෘතික රටාව ගොඩනැඟුණු පිළිවෙළක් තිබෙනවා. මෙතන දී ශ්‍රී ලාංකික මොඩලය කියලා මම අදහස් කරන්නේ ඒ පිළිවෙළ. වැවයි දාගැබයි කියන සංකල්පය තුළත් මෙය තිබෙනවා. බෞද්ධ දර්ශනයේ සඳහන් වන සංස්කෘතිය මෙයින් අදහස් වෙනවා. එය මධ්‍යම ප්‍රතිපදාව පදනම් කරගත් ජීවන ක්‍රමයක්. ඒක ආර්ථිකයට බද්ධ වෙලා තිබුණා. අපේ රට සංවර්ධනය කිරීම අපේ රට තුළ සම්පත් ම යොදා ගෙන කරන්න පුළුවන්. අතීතයේ රජවරු තෝරා ගත්තේ මේ ක්‍රමවේදය. ඒත් විදේශීය ආක්‍රමණත් සමඟ අපි පරාධීන තත්ත්වයට පත් වුණා. අද අපි මධ්‍යම ප්‍රතිපදාවෙන් ඈත් වෙලා ලෝකයේ තිබෙන වෙනත් දර්ශක වැළඳ ගෙන තිබෙනවා. ඒ තුළ අපට අපේ සම්පත් මදිවෙලා තිබෙනවා. ඒ නිසා අපට වෙනත් ජාතීන්ගේ මොඩලයන් යොදා ගැනීමට සිදු වී තිබෙනවා. ඒත් අපට ඒ මගින් සංවර්ධනය කරා යන්න බෑ. අපි දිගටම පරාධීනවීම පමණයි සිදු වෙන්නේ.

* වර්තමානයේ පවතින ගෝලීයකරණ සමාජ ආර්ථික වටපිටාවක් තුළ ඔබ සඳහන් කරන මොඩලය ප්‍රායෝගිකව යොදා ගත හැකිද?

ඒ මොඩලය අදට ගැළපෙන පරිදි යොදා ගන්න ඕන. ගෝලියකරණයට උචිත පරිදි නවීකරණය වෙන්න ඕන. එදා තිබුණු කම්කරු හා ධනපති පන්ති ගැටුමකට වඩා අද තිබෙන්නේ වානිජයන් හා පාරිභෝගිකයන් අතර ගැටුමක්. මෙතනදී මම ‘වානිජයන්‘ කියන වචනය භාවිත කරනවා. මොකද එහි වෙළෙඳාම ප්‍රචාරකවාදය ආදී සියලු දේ තිබෙනවා. අද තිබෙන්නේ පාරිභෝජනවාදයෙන් බැට කන යුගයක්. අපි මේ සඳහා උපක්‍රම යෙදිය යුතුයි. අලුතෙන් විප්ලවයක් සිදු වෙනවා නම් ඒ අනුව කටයුතු කළ යුතුයි. විරු සහ මෙරු නවකතාවේ දෙවැනි කොටසින් මේ පිළිබඳ තවදුරටත් විග්‍රහ කරන්න මම බලාපොරොත්තු වෙනවා.

* විරු සහ මෙරු නවකතාව වර්තමානය සමඟ ගැළපෙන්නේ කොහොමද?

මේ නවකතාවට පාදක වෙන්නේ 70-80 දශකවල පැවතුණු වාතාවරණය. අද සිටින තරුණ පරපුරට ඒ දශකවල අත්දැකීම් නෑ. මේ පොතේ නම ‘විරු සහ මෙරු‘ යනුවෙන් යෙදීමටත් එක් හේතුවක් වෙන්නේ තරුණ පරපුර. මෙරු මෙන් පහන් එළියට ඇදිලා ඇවිත් විනාශ වෙනවා. වර්තමාන තරුණ පරපුර දකින පහන් එළිය තමයි ආර්ථික එළිය. ප්‍රචාරණයත් එතන තිබෙනවා. එය ඔවුන් ගිනිකණ වට්ටන පහන් එළියක් වෙලා තිබෙනවා. ලෝකයේ යම් යම් බලවේග තක්සේරු කළ නොහැකිව ඔවුන් අයාලේ යන පිරිසක් බවට පත්වෙලා තිබෙනවා. මේ කාරණය නිසා විශාල විනාශයක් වෙන්න පුළුවන්. ඒ අයව නිවැරැදි මඟට යොමු කරන්න ඕන දෘෂ්ටිය පෙන්වා දීම මේ නවකතාවේ ප්‍රධාන අරමුණයි.

* කලා මාධ්‍යයක් ලෙස නවකතාවේ ප්‍රබලත්වය ඔබ දකින්නේ කෙසේද?

කලාව හැම විටම අහිංසකයි. කලාව තිබෙන්නේ මිනිසුන් සඳහා. මෙතන දී අවබෝධ කරගත යුතු මූලිකම දේ මිනිසුන් පැවතිය යුතුයි කියන කොන්දේසිය. ඒ නිසා කලාව තුළින් ප්‍රඥාව, දැනුම, අධ්‍යාපනය ආදීය ලබා දීම අවශ්‍යයි. බුදු හිමියන් පවා ධර්ම කරුණු විග්‍රහ කිරීමට ජන කතා ආදිය යොදා ගත්තා. නිර්මාණාත්මක ලෙස ඉදිරිපත් කළා. ඒ නිසා මිනිසාට ප්‍රඥාව ලබා දීමට කලාවට සුවිශේෂි හැකියාවක් තිබෙනවා. ඒ අතරින් නවකතාව ඉතා ප්‍රබල මාධ්‍යයක්.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා