පොත් ගෙඩි හොඳා තණකොළ කන මැට්ටන්ට !

පොත් ගෙඩි හොඳා තණකොළ කන මැට්ටන්ට !

විටේ ගෙදර පන් – පැදුරු වියන ජේපින් නෝනා කයියක් කියන්නී ය.

මේ පොත හොඳින් කියවාලා බලාලා
වැඳ පුද දි - දී උඩු වියනක තබාලා
යළි ගෙන උඩින් පිළියෙළ හෙම නොබාලා
අන් සතු කරනු යහපත එයි ගලාලා

පොතක් යනු ජීවිතයට අගනා සම්පතෙකි. හොඳ පොත බුද්ධිමය නිධානයෙකි. පොතක් ලිවීමත් පුතකු හැදීමත් අංගසම්පූර්ණ මිනිසකු බිහිකිරීමට අවශ්‍ය සාධක යැයි කියති. හොඳ පොත් කියැවිය යුතු ය. පරිශීලනය කළ යුතු ය. සමස්ත සමාජයෙහි යහපත උදෙසා අති’නත හුවමාරු කර ගත යුතු ය. ඈත පිටිසර බද ගමක වසන දුප්පත් ජේපින් නෝනා පවා එය දනී.

ඊළඟ ප්‍රශ්නය හැම පොතක් ම අගනා සම්පතක් ද යන්න ය. නැත! කාලය කා - දමන වැල්වටාරම්වලින් සමන්විත; විලම්බීත පොත් ගෙඩි ඕනෑ තරම් තිබේ. ප්‍රවීණ යැයි කියාගන්නා ලේඛක - ලේඛිකාවෝ ද එබඳු පොත් ගෙඩි ලියති. ශ්‍රී ලංකාවේ වත්මන් සිංහල නවකතාව ඊට කදිම නිදසුනෙකි. සිංහල නවකතාව තරම් දූෂ්‍ය වූ වෙනත් සාහිත්‍යාංගයක් ශ්‍රී ලංකාවේ නැති තරම් ය. ඊට ප්‍රධාන හේතුව ප්‍රමිතියකින් තොරව නවකතා පළවීම ය. ඉතා කුඩා පාඨක සමාජයක් සහිත ශ්‍රී ලංකාවේ නවකතාකරුවෝ සිය ගණනක් සිටිති. වැඩි දෙනකුට හැදෑරීමක් නැත. සංයමයක් නැත. දැක්මක් නැත.

ඔව්හු එක පෙළට ලියාගෙන ලියාගෙන යති. මුද්‍රණකරුවෝ හෙවත් පොත් ප්‍රකාශකයෝ එක පෙළට ගසාගෙන – ගසාගෙන යති. දෙපිරිසගේ ම යටි අරමුණ දුප්පත් පාඨකයාගේ මඩිස්සලයට තට්ටු කිරීම ය. පොත් ප්‍රකාශනය හොඳ වෙළෙඳාමක් වන්නට පුළුවන. එහෙත් දැනුම, බුද්ධිය හා රසඥතාව වෙළෙඳාමට රුචි නො වේ. ඊට ගැති නො වේ. අපගේ ප්‍රවීණ පත්‍ර කලාවේදිනියක ද සම්මානනීය ලේඛිකාවක ද වන කරුණා පෙරේරා මැතිනිය තවත් නවකතාවක් ලියා තිබේ. එම කතාවේ නම “එළිමහන් කළුවර” ය. එළිමහනට කළුවර වැටෙන්නේ රාත්‍රියට යි. අප මැතිනිය රෑට – රෑට මේ පොත ලියන්නට ඇතැ’ යි නිකමට මෙන් අපට සිතේ.

කරුණා පෙරේරා

පෞද්ගලික පුවත්පත් ආයතනයක චිත්‍ර ශිල්පියකු හා පිටු සැලැසුම් ශිල්පියකු වූ තිලක දළුපිටියගේ ද ඔහුගේ බිරිය වූ රමණීගේ ද ජීවිතය වටා කතාව ගොඩනැඟී ඇත. තිලක දළුපිටිය අනිස්ථිර සේවකයෙකි. ඔහු කෑලි ගණනට පඩි ලබයි. පරිගණකයේ කඩාවැදීමත් සමඟ ඔහුට රැකියාව අහිමි වේ. එවක් පටන් ඔහුගේ ජීවිතය අතිශය දුක්බර ය.

තිලකගේත් – රමණීගේත් කුටුම්භයේ කුසගින්න, ක්‍රෝධය, අනුකම්පාව, දරිද්‍රතාව කතාවේ මුල් කොටසින් නිරූපණය වේ. නිරූපණයකට වඩා එය විස්තර කිරීමකි. රමණීගේ දරුවන් හාමත් වන හැටි ද, තිලක හිඟමනේ යන හැටි ද කතුවරිය කියාගෙන – කියාගෙන යයි. කරුණා පෙරේරා මහත්මිය දිගින් - දිගට ම විස්තර කරනුයේ ජීවිතයේ සාමාන්‍ය සිදුවීම් ය. නැතහොත් පොදු ධර්මතා ය. නවකතාව පිළිබඳ නිශ්චිත නිර්වචනයක් හෝ විවරණයක් හෝ සැපැයිය නො හැකි’මුත් සාර්ථක නවකතාවක් හඳුනාගත හැකි විධික්‍රම කිහිපයක් තිබේ.

(I) චරිත නිරූපණය
(II)
සංකීර්ණ කතා වින්‍යාසය
(III)
දෘෂ්ටි කෝණය
(IV)
අන්තර්ගතය

අප කතුවරියගේ චරිත නිරූපණය අතිශයින් ම දුර්වල ය. තිලක, රමණී, සමන්ලතා වැනි චරිතවලින් අපට ලැබෙන වින්දනයක් හෝ අර්ථයක් හෝ නැත. ඔවුන් අප හාත්පස පිහිටි සමාජයෙහි හුදු චරිත පමණි. එම චරිතවල අභ්‍යන්තරයට ගොස් ජීවිතය පිළිබඳ ගැඹුරක් මතු කිරීමට කරුණා පෙරේරා මහත්මිය අසමත් ය. සාර් පාලනය යටතේ රුසියාවේ දිළිඳු ජනයාගේ දුක, කඳුළ, දොම්නස හා පීඩනය නිරූපණය කිරීම සඳහා රුසියන් ලේඛකයෝ ස්වකීය වූ ශෛලියක් හා ආකෘතියක් නිර්මාණය කර ගත් හ. එහි අග්‍රගණ්‍ය නිෂ්පාදනය වන්නේ මහා ගත්කරු මැක්සිම් ගෝර්කි ය. ඔහුගේ සෑම ඡේදයක් ම, සෑම සංවාදයක් ම දුප්පතුන්ගේ පීඩනය හා සූරාකෑමට ලක්වීම පිළිබඳ අපූරු පාඩමක් වැනි ය.

සමාජ සත්තා යථාර්ථවාදයේ මූලිකයා වූ ගෝර්කි රුසියාවේ පීඩිත චරිත නිරූපණය කළේ බලාපොරොත්තු සහගතව ය. ඔහු දිළිඳු ජනයාගේ බැබළීමක් අපේක්‍ෂා කළේ ය. කරුණා පෙරේරා මහත්මිය වැනි ලේඛිකාවන්ගේ ප්‍රබන්ධකරණයට අර්ථයක් නැත. දැක්මක් නැත. ඇය ඔහේ කතාවක් කියාගෙන යයි. කිව යුත්ත සේ ම නොකිව යුත්ත ද කියයි. නාට්‍යමය අවස්ථා මඟහරියි. ඇයගේ සියලු චරිත ඉලක්කයක් හා ගැඹුරක් නැතිව ඔහේ හැසිරෙයි. ප්‍රංශ කෙටිකතාවේ පුරෝගාමියා ලෙස සලකන මෝපසාංට ඔහුගේ ගුරුවරයා වූ ෆ්ලෝබෙයා කියා දුන් චරිත නිරූපණ පාඩම් කරුණා පෙරේරා මහත්මියගේ අවධානයට ලක්වන්නේ නම් මැනවි.

පත්‍ර කලාව හා ප්‍රබන්ධ කතාව අතර ප්‍රබල සම්බන්ධයක් පවතී. සාර්ථක පත්‍රකලාවේදියකුට ප්‍රබල භාෂාවක් තිබේ. චරිත අධ්‍යයනයක් තිබේ. සංකීර්ණ කතා වින්‍යාසයක් ගොඩනඟා ගැනීමේ හැකියාවක් ද තිබේ. මේ ඔස්සේ සාර්ථක වූ කීර්තිධර නවකතාකරුවෝ සිටිති. අර්නස්ට් හෙමිංවේ, ඇල්බෙයාකැමූ, ෆ්‍රාන්ස් කෆ්කා, කුෂ්වන්ත්සිං, ආර්. කේ. නාරායන්, මැක්සිම් ගෝර්කි, පමණක් නො ව ලෝකයේ බලවත් ම නවකතාකරුවන් ලෙස සිටි බොහෝ දෙනා කුමන අයුරකින් හෝ පත්‍රකලාවට සම්බන්ධ වී සිටියහ. ශ්‍රී ලංකාවේ තත්ත්වය විමර්ශනය කළහොත් මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ පුවත්පත් කර්තෘවරයෙකි. ජී. බී. සේනානායක යම් තරමක පත්‍රකලාවේදියෙකි.

සයිමන් නවගත්තේගම 'ඇත්ත' පත්තරය සමඟ වැඩ කළේ ය. ඒ ප්‍රායෝගික අත්දැකීම් ය. මේ සියලු දෙනා ම පත්‍රකලාවේ සාර්ථක ය. නවකතාකරණයේත් සාර්ථක ය. කරුණා පෙරේරා මැතිනිය ප්‍රවීණ පත්‍රකලාවේදියක වුව; සම්මානනීය ප්‍රබන්ධ කතා රචිකාවියක වුව 'එළිමහන් කළුවර' කෘතියෙන් ඒ බවක් නොහැඟේ. එය බාල ගණයේ බොළඳ කතාවකටත් වඩා බොළඳය. දුක්විඳි රමණී විවිධ කලබැගෑනිවලින් පසු ඇඳුම් කර්මාන්තයට පිවිසේ. ඇයට ආදරය කරන තළතුනා මනුෂ්‍යයකු පසුව හමුවේ. මේ හැරෙන්නට තිලක පොත් කර්මාන්තය ඔස්සේ දියුණුවේ මඟ සලකුණු හඳුනාගෙන 'කාන්තී' නම් ප්‍රභාවත් කාන්තාව සමඟ හාදුවේ.

මේ කතාවේ අවසානය ඉතා විකෘතිමත් ලෙස දක්වා තිබේ. කතුවරියගේ දැක්ම හඳුනාගත නොහැකිය. එය ඉතා ව්‍යාකූලය පැටැලිලි සහගත ය. කරුණා පෙරේරා මැතිනියට අනුවේදනීය කතාවක් කීමට වුවමනා බවක් පෙනෙයි. ඒ අතර දිළිඳුකම ඉදිරියේ ආදරය හා කුටුම්භය යම් තරමකට ආරක්ෂිත බවත් මුදල් ගලා එන විට ත් සියල්ල විනාශ වන බවත් වැනි සාම්ප්‍රදායක චින්තනයක් මතු කිරීමේ අවශ්‍යතාව ඇය සතු බවත් බැලූ - බැල්මට පෙනෙයි. තිලක වෙළෙඳාමට යොමු වන්නේ ද රමණී ව්‍යාපාරයක් පටන් ගන්නේ ද කුටුම්භයේ ගැටලු එකිනෙක විසැෙඳන්නේ ද කෘත්‍රීම ලෙස ය. කතුවරියගේ සංවාද ආදිය බලන විට අපට නම්; කට - කොනකට සිනහ නැඟේ.

කරුණා පෙරේරා මැතිනියගේ මේ නවකතාව කිසි කමකට නැති පල්හෑල්ලකි. කතාව නීරස ය. මෙබඳු පල් හෑල්ලක් කියැවීමෙන් පාඨකයාට කිසිදු ජීවිතා'ර්ථයක් ලබා ගතනො හැකි ය. මගේ අවසන් නිගමනය වන්නේ ‘මේ පොත හොඳ තණකොළ කන මැට්ටන්ට යන්න ය.’

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා