තෙල් මිල ඉහළ දැමීමෙන් රටම අර්බුදයකට පත්වෙලා

තෙල් මිල ඉහළ දැමීමෙන් රටම අර්බුදයකට පත්වෙලා

- විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ

ආණ්ඩුවේ නාස්තිය දූෂණය හා වංචාවන් නිසා තෙල් මිල වැඩි කිරීමට රජයට සිදු වූ බව විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) පැවසුවේ ය. ඉන්ධන මිල ඉහළ දැමීම පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්‍ෂ නායකයා මේ බව පැවසීය. විපක්‍ෂ නායකයාගේ එම ප්‍රකාශය මෙසේ ය. කිසිදු සාධාරණ හේතුවකින් හා පදනමකින් තොරව අත්තනෝමතික ලෙස තෙල් මිල ඉහළ දැමීම නිසා අද මුළු රටම බරපතල අර්බුද රාශියකට පත් වී ඇති බව අපි හැමෝම දන්නවා.

මේ අර්බුදයේ වේදනාව රටේ හැම සමාජ කොටසකටම දැනෙනවා. නමුත් කනගාටුවට කාරණය රටේ පාලකයන්ට මේ වේදනාව යන්තමින්වත් නොදැනීමයි. ධීවරයන්ට මුහුදු යන්න අපහසු වෙලා. ජනතාවට ප්‍රවාහන ගාස්තු දරන්න බැරිවෙලා. ගොවීන්ට ප්‍රවාහන ගාස්තු, ට්‍රැක්ටර සහ වතුර පොම්ප සඳහා ඉන්ධන ගාස්තු උහුලන්න බැරි වෙලා. හැම භාණ්ඩයකම මිල ඉහළ ගිහින්. පෞද්ගලික වාහන හිමියන් අසරණ වෙලා. විදුලි මිල, ගෑස් මිල වැඩි වෙන එක වළක්වන්න බැහැ.

අද රටේ ප්‍රජාතන්ත්‍රවාදය සෝදා පාළු වෙලා. නීතිය වල්වැදිලා. උසාවි භූමියේ දී පවා සැකකරුවන් සුදු වෑන්වලින් පැහැර ගන්නා සමාජ තත්ත්වයක් රටේ උදාවෙලා. මේ ආකාරයෙන් ඉන්ධන මිල ඉහළ දැමීමට කිසිදු සාධාරණ හේතුවක් පෙන්වා දෙන්නට ආණ්ඩුව අසමත් වෙලා. ඇමැති එක හේතුවක් කියනවා. උප ඇමතිලා තවත් හේතු කියනවා. මන්ත්‍රීවරු ඒ සියල්ලටම වෙනස් හේතු දක්වනවා. “ගුරුවරයා හිටගෙන කරද්දී ගෝලයන් දුව දුව කරනවා” යන්න අපේ රටේ පැරණි කියමනක්. අද මේ රටේ සිද්ධ වෙන්නේ එයයි. ගුරුවරයා වළ ඉහගෙන කද්දී, ගෝලයේ බාගෙන කනවා.

තෙල් සංස්ථාවේ සංඛ්‍යා ලේඛනවලින් පමණක් මේ බව සනාථ කර පෙන්වන්නට පුළුවන්. එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව යටතේ තෙල් සංස්ථාව ලාබ ලබන ආයතනයක්. ජනතාවට ඉන්ධන බර පටවන්නේ නැතුවයි එසේ ලාබ ලැබුයේ. 1985 වසරේ සිට සංඛ්‍යාලේඛන ගෙන හැර දැක්වූවොත් රට පුරා භීෂණයක් තිබූ 87, 88 සහ 89 වසරවල හැර 1994 වසර දක්වා හැම වසරකම තෙල් සංස්ථාව ලාබ ලැබුවා. නැවත අපි පාලන බලය ලබා ගත් 2003, 2004 වසර දෙකේදී ද තෙල් සංස්ථාව ලාබ ලැබුවා. මැද පෙරදිග මහ යුද්ධයක් පවතිද්දීත් අපේ ආණ්ඩුව ඉන්ධන බර ජනතාවට පැටවූයේ නැහැ. නිසි කළමනාකරණය සහ පිරිසුදු ගනුදෙනු ඔස්සේ ජනතාවත් බේරා ගනිමින්, තෙල් සංස්ථාවත් බේරා ගන්නට අප ක්‍රියා කළා.

අප ඉන්ධන සඳහා මිල සූත්‍රයක් සකස් කළා. ලෝක වෙළඳපොළෙහි තෙල් මිල ඉහළ නගිද්දී තෙල් මිල වැඩි වන්නා සේම ලෝක වෙළඳපොළෙහි තෙල් මිල පහළ බසිද්දී තෙල් මිල අඩු වෙන ආකාරයේ සූත්‍රයක්. එදා විපක්‍ෂයේ සිටි ඔබ කළේ ඒ මිල සූත්‍රය අවඥාවට ලක් කිරීමයි. ලෝක වෙළඳ පොළේ තෙල් මිල ගණන් හා සසඳා බලද්දී අද ඉන්ධනවලින් ආණ්ඩුව විශාල ලාබයක් ලබනවා. නමුත් තෙල් සංස්ථාව පාඩු ලබනවා. සරත් අමුණුගම ඇමැතිතුමන් වරක් පෙන්වා දුන් පරිදි දැන් තෙල් සංස්ථාව ආර්ථිකය ගිල ගන්නා යක්‍ෂයෙක්. අධික මිලට තෙල් විකුණා ලබන විශාල ලාභය ගිලගන්නා මේ යක්‍ෂයා නිර්මාණය කළේ ඔබේ ආණ්ඩුවයි. ඔබේ කළමනාකාරීත්වයයි. දැන් ඒ යක්‍ෂයා රටම ගිලගන්නවා.

මේ ආණ්ඩුව තෙල් මිල වැඩි කරන පදනම කුමක්ද? ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඉහළ ගිය විට තෙල් මිල වැඩි කරනවා. පහළ වැටුනාම කියන්නේ හෙජින් ගිවිසුම නිසා තෙල් මිල පහත දමන්නට බැරි බවයි. දැන් අති විශාල ප්‍රමාණයකින් තෙල් මිල වැඩි කර ඇත්තේ කිසිදු හේතුවක් නොමැතිවයි. ලෝක වෙළඳ පොළේ තෙල් මිල වැඩිවී නැහැ. ශ්‍රී ලංකාවට වෙනදා වගේම ඉරානයෙන් තෙල් සැපයෙනවා. මැද පෙරදිග මිතුරු රටවල්වලින් ලාබයට තෙල් ලබා දෙන බවට ජනතාවට පොරොන්දු වූ ආණ්ඩුව දැන් කිසිදු හේතුවක් නැතිව තෙල් මිල අසාධාරණ ලෙස ඉහළ දමා තිබෙනවා. ආණ්ඩුව දැන් සහනාධාරවලට මුවාවී ප්‍රශ්නය යට ගසන්නට උත්සාහ කරනවා. ඔය කියන ආකාරයට සහනාධාර ලබා දීම ප්‍රායෝගික නොවන බව හැමෝම දන්නවා.

ත්‍රිරෝද රථ සඳහා ලබා දෙනවා යැයි කියූ සහනාධාරයට සිදු වූ දේ ඊට හොඳම උදාහරණයක්. අනික් අතට කවර ආශ්චර්යයකින් හෝ ධීවරයන්ට සාධාරණ සහනාධාරයක් ලබා දුන්නා යැයි කියමු. එතකොට ගොවීන්ට, මගීන්ට, රජයේ සේවකයන්ට, පෞද්ගලික වාහන හිමියන්ට සහනාධාර නැද්ද? ඔවුන් මේ රටේ පුරවැසියන් නොවෙයිද? ආණ්ඩුවෙන් අපි ඉල්ලා සිටින්නේ රටටත්, ජනතාවටත් බොරු කරන්නේ නැතුව තම තමන්ගේ නාස්තිකාර වියදම් මෙන්ම දූෂණය හා වංචාවන් නවතා දමන ලෙසයි. තමන්ට පෙර රට ගැන හිතන ලෙසයි. ජනතාවට සහන ලබා ;දන ලෙසයි.

ජනතාව අද ජීවත් වෙන්නේ ඉතා අමාරුවෙන්. ජීවිතය ගැට ගසා ගන්නේ ඉතා අසීරුවෙන්. ජනතාවට සහනයක් ලබා දීමේ සැබෑ උවමනාවක් ආණ්ඩුවට තිබේ නම් අනුගමනය කළ හැකි විකල්ප දෙකක් තියෙනවා. එකක් තෙල් මිල පහත දැමීමයි. එසේ නැතිනම් රජයේ හා පෞද්ගලික අංශයේ පඩි වැඩි කිරීමයි. ජනතාවට සහන ලබා දීම සඳහා ආණ්ඩුව අනුගමනය කරන්නේ මෙයින් කුමන විකල්පයක්ද කියා මම විෂය බාර ඇමැතිතුමාගෙන් විමසන්නට කැමතියි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා