අමතක නොවන මතක ගබඩාව

අමතක නොවන මතක ගබඩාව

ප්‍රවීණ නිවේදක රංජිත් එදිරිසිංහ

මට තාම මතකයි කියන විට මතක පිළිබඳ විශේෂ අතීත මතකයක් ඇති සුවිශේෂි පුද්ගලයකු පිළිබඳ අද ඔබේ මතකය අවදි කරන්නට මම උත්සාහ දරමි. ඔහුගේ මතකය නිසාම ඇවිදින කම්පියුටරය යන නම ද ඔහුට ලැබුණි. බොහෝ දිනක් තිස්සේ මම සොයමින් හිදි හේ දිනක් නුගේගොඩ නුගාබෙස්ට් ආයතනයේදී අහම්බෙන් මුණගැසුණි. බොහෝ පිරිසකට මැදිව හිදි ඔහුගේ ඡායාව දුටු මම ඔහුමදැයි සෙවීමට මදක් විපරම් කර බැලුවෙමි. සැබැවින්ම ඒ ඔහුමය. හේ ගැන අතීත මතක ලියන්නට එහිදී මම කතා කරගත් පරිදි රාජගිරිය පාරේ පිහිටි ඔහුගේ නිවහන කරා පිය නැඟුවෙමි. නිවසේ ප්‍රධාන ගේට්ටුවෙන් පිවිසෙත්ම ගස්වැල්වලින් පිරි ග්‍රාමීය පරිසරයක අසිරිය මම එහිදී දුටුවෙමි. පුදුමයකි. නාගරික පරිසරයක මෙතරම් සහනයක් දකිද්දීම කාෂ්ටක අව්වේ හෙම්බත්ව හිදි මගේ ගත සිත දෙකම නිවී යන්නාක් මෙන් මට දැනුණි. එය තවත් නිවාලන්නට එවෙලේම ගසින් කැපූ තැඹිලි ගෙඩියකින් සංග්‍රහ කරමින්ම හේ මාව සුහදව පිළිගත්තේ ලේක්හවුස් වත්මන් නියමුවා වන බන්දුල පද්මකුමාර මහතා සිහි ගන්වමිනි. ඒ ඔහුගේ මුල් පිටුව වැඩසටහන වසර 8 ක් තිස්සේ අඛණ්ඩව සතුටින් නරඹන ප්‍රේක්‍ෂකයකු ලෙසිනි.

1952 වසරේ ජූනි මස 09 වෙනිදා එදිරිසිංහ යුවළට දාව උපත ලැබූ රංජිත් එදිරිසිංහ මහතා 07 දෙනෙකුගෙන් යුතු පවුලක තුන්වැනියාය. අනෙක් හයදෙනාම ඉතාම හොඳින් ඉගෙන ගෙන ඉතා උසස් තත්ත්වයකට පත්වෙද්දී ඉගෙන නොගත් බයිලකාරයා නමින් ගෙදර මවුපියන්ගෙන් දෝෂාරෝපණයට ලක්වූයේ ඔහුය. රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ හේ පසුව ඔබේසේකරපුර පිරිමි විද්‍යාලයටත්, මරදාන ඉංගී‍්‍රසි විද්‍යාලයටත් ඇතුළත් වූයේය.

ඔහුගේ ජීවිතයේ සුවිශේෂිම සිදුවීම වූවේ ඔහු උපතේ සිට වසර 07 ක් යනතුරු ගොළු දරුවෙක් වීමය. අවසානයේ අලුත්ගම කන්දෙ විහාරයට එළවළු කදක් පූජාකර භාරයක් වීමෙන් පසුව එදිනම කතා කිරීමේ අනුහස ඔහුට ලැබී ඇත. එම භාරය වී නිවසට පැමිණි  මෙසේ කීවේය.

“අම්මේ මට වතුර ඕන”

රංජිත් එදිරිසිංහ දරුවාගේ කටහඬේ පළමු වැකිය ආරම්භ කිරීමත් සමඟම නිවැසියෝ ඔහු ගැන බොහෝ සතුටට පත්වූහ. වසර 07 කට පසුව ඔහුට කතා කිරීමෙන් පසුව පාසල් යාමේ අවස්ථාව උදාවිය. මරදාන ඉංගී‍්‍රසි විද්‍යාලයේ ඉගෙන ගන්නා සමයේ අධ්‍යාපනයට දෙවෙනි තැන දෙමින් මරදාන පාසල අවට ඇති සිනමා ශාලා තුළට වී සිනමාපට නරඹමින් හේ කලාවේ රසවින්දනය සොයන්නට පටන් ගත්තේය.

කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් කර මාස දෙකෙන්ම එම පාසලට සමුදීමට සිදුවූයේ ද සිනමාපට නැරඹීමට යාම නිසාය. අවසානයේ එදිරිසිංහ යුවළට කරගන්නට දෙයක් නැතිම තැන රංජිත් දරුවාව කොළඹින් අස්කර ගමේ පාසලකට යැවීමට තීරණය කළේය. ඒ අනුව ඔවුන්ගේ හිතවතෙකු වූ ගාල්ලේ කයිකාවල ගම්මුලාදෑනි මහතාගේ නිවසේ නවතා පාසල් යැවීමට ශ්‍රීමති එදිරිසිංහ හා විනී ආනන්ද එදිරිසිංහ තීරණය කළහ. ගම්මුලාදෑනි මහතාගේ දියණිය කොළඹ නවතා පාසල් යැවීමටත් දෙපාර්ශ්වයේ අය තීරණය කළේය. ඒ අනුව මාලනි සූරියආරච්චි නම් කයිකාවල ගම්මුලාදෑනි, සූරියආරච්චි මහතාගේ දියණිය රාජගිරිය එදිරිසිංහ නිවසටත් රංජිත් එදිරිසිංහ දරුවා ගාල්ලේ කයිකාවල නිවසටත් හුවමාරු කර ගන්නා ලදී.

එහිදී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත් වූ ඔහුගේ දඩබ්බර ගතිය නිසාම එම පාසලට යාමට ලැබුණේ මාස 10 කි. පසුව ඔහුට කපුගේ වත්ත මහා විද්‍යාලයට (ඉඳුරුව) ඇතුළත් වීමට සිදුවිය. නමුත් ඔහුට එම පරිසරය තුළ ඇති තනිකම දරාගන්නට නොහැකිව බොරුවක් කියා නැවත කොළඹ මවුපියන් ළඟටම වසර 2 කට පසුව පැමිණියේය. නමුත් එම වසර 2 තුළ ඔහුගේ දඩබ්බරගති තරමකින් අඩු වී ඉගෙනීමට සිත යොමු වී තිබුණි. නැවතත් කොළඹට පැමිණි එදිරිසිංහ සිසුවා මරදාන ගේම්ස්බරෝ ඉංගී‍්‍රසි පාසලට ඇතුළත් විය.

පුංචි රංජිත්

නැවතත් කලාකාමී පරිසරයට එකතු වීම සම්බන්ධව ඔහු මහත් සේ සතුටට පත්විය. එකල අප රටේ පැරණි ගායන ශිල්පීන් වූ එච්. ආර්. ජෝතිපාල, මිල්ටන් මල්ලවආරච්චි, බී. වර්ගරාජා, සිවනන්ද යන අය හවස 5 ට මරදාන ශාලිමාර් නම් සිංදු කඩේදී නිතර හමුවීම නිසා කලා ක්ෂේත්‍රය සඳහා ඇති ඔහුගේ උනන්දුව තවත් වැඩිවිය.

රාජගිරිය ප්‍රදේශයේ නිවසකට පළමුවෙන්ම ගුවන් විදුලි යන්ත්‍රයක් රැගෙන ආවේ තම පියාය. ඒ අනුව දිනපතා හවස 5 ට ළමා පිටිය වැනි වැඩසටහන් ඇසීම දින චර්යාවෙ අනිවාර්ය අංගයක් වීම ද රංජිත් එදිරිසිංහ ගුවන් විදුලියට ආදරය කිරීමට කාරණාවකි. පළමුවෙනි වර සාමාන්‍ය පෙළ විභාගය අසමත් වූ ඔහු දෙවෙනි වර එය සමත් වීමට උත්සාහ දැරීය. සමුපකාර කළමනාකාරවරයෙකු වූ ඔහුගේ පියා පවුලේ ආර්ථිකයට අඩුවක් වන්නට ඉඩ නොදුන් නිසාවෙන් පවුල් බරක් එදිරිසිංහ තරුණයා මත පැටනොවුණි. ඒ නිසාම ඔහු විනෝදකාමී විය. සිනමාහල්වලට එන එකඳු සිනමා පටයක් හෝ අත්නොහැරීමට ඔහු වෙහෙස ගත්තේය.

ගුවන් විදුලියේ ප්‍රචාරය වූ පැරණි ගීතවලට මහත් සේ ආදරය කළ ඔහුට ගුවන් විදුලියට යාමට ආසාවක් උපන් නිසාවෙන් දිනක් රංජිත් පීරිස් මහතා මුණගැසෙන්නට ගුවන් විදුලි සංස්ථාවට ගියේය.

”රංජිත් මහත්මයා අපි මේ පැරැණි ගීත ගැන හොඳ වැඩසටහනක් කරමු” රංජිත්, රංජිත්ට කීවේය.

”මොකක්ද කරන්නේ”

”අපි මේකට දාමු ‘මතකයේ රැඳුන ගී’ කියලා”

”ඉතිං ඒකට පරණ සිංදු තියනවද”

”ඔව් මම දෙන්නම්, මම ගාව තැටි තියනවා”

”කොච්චර විතර තියනවද?”

”800 ක් විතර තියනවා.

”ෂා එහෙනම් හොඳයිනේ... මම අදම ඒ වැඩසටහන පටන් ගන්නවා. මට තැටි ගෙනත් දෙන්න”

ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ “මතකයේ රැඳුන ගී” වැඩසටහන ආරම්භ විය. එහි පෙරගමන්කරුවන් වූයේ රංජිත් පීරිස් හා රංජිත් එදිරිසිංහ දෙපළයි. ඒ අනුව එම වැඩසටහන අවසානයේ “මතකයේ රැඳුන ගී” සඳහා ගීත සැපයීම රාජගිරියේ රංජිත් එදිරිසිංහ යන නම දිනපතා ප්‍රචාරය වීමත් සමඟ ගුවන් විදුලියේ නම ප්‍රචාරය වීමේ සතුටින් ඔහු ඉපිලුනේය. හේ එතැන් පටන් ටිකෙන් ටික ජනපි‍්‍රය වන්නට පටන් ගත්තේය. ඔහුගේ නිවසේ ග්‍රැමෆෝනයක් විය. ඒ නිසාම අනුන්ගේ තැන්වලට ගොස් ග්‍රැමෆෝනය අසන්නටත් අනුන්ගෙන් තැටි ගෙනෙන්නටත් ඔහුට සිදු නොවීය.

පසු කලෙක රංජිත් එදිරිසිංහ නුගේගොඩ ව්‍යාපාරික ස්ථානයේ (තම පියාගේ) සිටින විට කාකි ඇඳුමක් ඇඳගත් පුද්ගලයකු පැමිණ ඔහු සමඟ කතාබහ කොට මිත්‍ර විය. රංජිත් එදිරිසිංහ මේ මිත්‍රයා සමඟ ගුවන් විදුලියට ගොස් රංජිත් පීරිස් මහතාට ඔහුව හඳුන්වා දුන්නේය. ඒ ඔහු සතුවද පැරණි ගීත තැටි ඇතැයි කිවූ බැවිනි. ගුරුවරයෙකු වූ රංජිත් නැමැති ඔහු පසුව රංජිත් එදිරිසිංහ මහතාගේ දැන හැඳුනුම්කමින් ගුවන් විදුලියට පිවිසි රංජිත් එදිරිසිංහ මහතා කපා දැමීමත් සමඟ ඔහුට එම ගීත සැපයීමේ කර්තව්‍යය අහිමි විය.

පසුව ඔහු තැවෙමින් දුක්වෙමින් වසර 2 ක් පමණ සිටියදී ඔහු සෘජුවම ගොස් ගුවන් විදුලියේ අධ්‍යක්‍ෂ ජෙනරාල්ව හිඳි හඩ්සන් සමරසිංහ මහතා මුණගැසිණි. ඒ අනුව ඔහු ඇසුවේ ඔබට නිවේදන කටයුතු කළ හැකිදැයි යනුවෙනි. වහා එයට කැමති වූ ඔහු 87 වසරේදී “අතීතයෙන් ඇසෙන ගී” නමින් තම ප්‍රථම නිවේදන වැඩසටහන ආරම්භ කළේය. ඒ අනුව අන් අයට පාර පෙන්වන්නට ගොස් තමන්ගේ තත්ත්වය ද අහිමි වූ ඔහුටම ඔහුගේ නම ගුවනින් පැවසීමට අවස්ථාව උදාවිය.

1989 වසර පමණ වන විට ඔහු ගුවන් විදුලියේ ජනපි‍්‍රය නිවේදකයෙකු විය. 89 පැමිණීමත් සමඟ ලංකාදීපය භීෂණයෙන් වෙලී ගිය අතර ප්‍රේමකීර්ති වැනි දක්‍ෂ නිවේදකයන් අපට අහිමි වී යන වකවානුවේ රංජිත් එදිරිසිංහ මහතාට ද නිර්නාමික ලිපි නිතර ගලා ආවේ ගේට්ටුවෙන් එළියට නොබසින ලෙසිනි. නමුත් නාඳුනන අයගේ තර්ජන ගර්ජන පිළිනොගන්නා හිතුවක්කාරයකු වූ ඔහු නිබඳවම ගුවන් විදුලියට ගියේය. අන් නිවේදකයන්ට තිබූ තර්ජන නිසාම විටෙක පැය 24 ම ගුවන් විදුලියේ මයික්‍රොෆෝනය බාරදීමට වෙනත් අයකු නොමැතිව එක දිගටම වැඩ කිරීමට සිදුවිය. මේ හේතුව නිසා ඉඩක් නොගෙන විවේකයක් නොගෙන වැඩ කිරීමත්, ගෙදරට හා ගුවන් විදුලියට යන එන වෙලාව සොයා ගැනීමට නොහැකි වීමත් නිසා 89 භීෂණ කාලයේ දිවි රැකගැනීමට ඔහුට හැකි විය.

රංජිත්-චන්ද්‍රිකා විවාහය

ඉතා උසස් මතක ශක්තියකින් යුතු හේ පවසන පරිදි වසර 4 සිට හැම සිදුවීමක් ම ඉතා හොඳින් මතකයේ ඇති බව පවසයි. අතීතයේ ආගිය තැන්වලට අදද ඉඳහිට ගොඩවැදී අතීතය ස්මරණය කිරීම ඔහුගේ විශේෂ පුරුද්දකි.

රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලයේ සියඹලා ගස් ඒ අතරින් ඔහු මතකයට නඟන්නේ මහත් වූ තෘප්තියකිනි. අද ද දකුණට යන එනකොට ඉඳුරුව කයිකාවල ප්‍රදේශයේ තමන් වසර 02 ක් පමණ හැදී වැඩුණු ගමට ගොඩ වී ඒම ඔහුගේ සිරිතකි. මුල අමතක නොකරන මේ අපූර්ව මිනිසාව අමතක කළ අය නම් ඔහුගේ කතාවේ හැටියට බොහෝය.

”මට වැඩිපුරම සතුරු වුණේ... කැපිලි දැම්මේ මගේම ක්ෂේත්‍රයේ අය. මට ඊර්ෂ්‍යා කරලා වැඩක් නෑ. මම ඉදිරියට ගියේ මගේ හැකියාවෙන්. ළඟදී මම හොරෙක් විදිහටත් ගුවන් විදුලියෙන්ම හංවඩු ගැහුවා. මම දැන් ලක්හඬේ ප්‍රචාරය කරන ගීත මම ගුවන් විදුලියෙන් හොරෙන් ගෙනල්ල කියලා. නමුත් මම ඒ ගීත ප්‍රචාරය කරන්නෙ කොහොමද කියලා එයාල හොයල නොබලයි එහෙම කියන්නෙ. මම ඉස්සර ගුවන් විදුලියේ ඉන්න කාලේ මම කරන මුළු වැඩසටහනම ගෙදර රෙකෝඩ් කරනවා. මට ගෙදරම ඒ සියලු පහසුකම් තියෙද්දි මම මේ ක්ෂේත්‍රයට ගිය මනුස්සයෙක්. අපි ඉපදෙනකොටම අපේ ගෙදර ග්‍රැමෆෝන් තිබුණා. ඉතින් මම ඒ රෙකෝඩ් කරපු ගීත පසුකලෙක සී. ඩී. වලට ගැහුවා. ඒවා තමයි අද මම ලක්හඬේ දාන්නෙ. මම නිතරම අනාගතය ගැන හිතලා දුරදිග කල්පනා කරන කෙනෙක්. මම එදා වැඩසටහන් කරනකොට හිතුවා අනාගතේට ඒවා ප්‍රයෝජනවත් වෙයි කියලා පටිගත කරගෙන තියාගන්න එක හොඳයි කියලා.”

වර්තමානයේ ස්වාධීන රූපවාහිනියෙන් විකාශනය වන “භාරත ගී වින්දන” පුරා 17 වසරක් තිස්සේ අඛණ්ඩව පවත්වාගෙන යමින් එවැනි වැඩසටහනක් කළ පළමු නිවේදකයා ද ඔහුය.

රංජිත් එදිරිසිංහ පවසන පරිදි සියලු සිහින ජයගත් ඔහුට නැවත ඉටුකර ගන්නට ඇත්තේ 20 වසරක් පුරාවට භාරතයෙන් ඇසෙන ගී වැඩසටහන කළ එකම නිවේදකයා වීම පමණි. මේ වන විට ලෝකයේ රටවල් 177 ක ප්‍රචාරය වන පැයක හින්දි වැඩසටහනක් සුරංග විජේසුන්දර ගේ අධ්‍යක්‍ෂණයෙන් විකාශනය වන වන් ශ්‍රී ලංකා (1 ඉපඪ ඹ්චදඬච) තුළින් ද අසන්නට ලැබීම තුළින් අන්තර්ජාලය සමඟ එක්වන එම රටවල් 177 ටම ඔහුගේ හඬ අසන්නට ලැබීම ද ඔහු ලද ජයග්‍රහණයකි.

සම්මාන රාශියකින් පිදුම් ලැබූ ඔහුගේ සම්මාන අතර ජනාධිපති සම්මානය, අගමැති සම්මානය සමඟින් තවත් සම්මාන රාශියක් වේ. නොබෝදා ආචාර්ය උපාධියකින් පිදුම් ලබන්නට සැරසෙද්දී ඔහු එය ප්‍රතික්‍ෂේප කළේ තම සහජ හැකියාවන් තරමට අධ්‍යාපන ලෝකය ජය නොලැබූ බැවිනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා