දෙස බස රැකි කුමරතුඟු මුනිදස්

දෙස බස රැකි කුමරතුඟු මුනිදස්

ඉංගී‍්‍රසි පාලන කාලයේ සිංහලයන් වෙසෙන රටේ, සිංහලය රජයේ බස විය යුතු යැයි පළමු වරට හඬක් නැගුයේ ද එතුමා යි. එහෙත් ඉංගී‍්‍රසි ඇතුළු භාෂා 4 ක් මනා ව උසුරුවීමට හා ලිවීමට උගත් ඔහු පර බස උගතයුතු නමුත්, ඊට ගැති නොවියැ යුතු බව ක්‍රියාවෙන් ම පසක් කර දුන්නේ ය.

සෑම වසරකම මාර්තු දෙවැනි දින “සිංහල භාෂා දිනය” ලෙස නම් කොට පාසල් ගුරු සිසු දෙපාර්ශ්වය සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය, ස්වේච්ඡා සංවිධාන ආදිය, උපහාර උළෙල සැලසුම් කරන්නේ ඒ සැබෑ යුග පුරුෂයා වෙනුවෙන් කළගුණ දැක්වීමට ය. මේ මස දෙවැනි දිනට යෙදී ඇත්තේ ඔහු වෙනුවෙන් පවත්වන 68 වන සමරු දිනයයි.

1887 වසරේ දී මාතර දික්වැල්ලේ උපත ලද කුමරතුඟු මුනිදස් දික්වැල්ලේ බෞද්ධ පාසලින් මූලික අධ්‍යාපනය ලබා පසුව මාතර ශාන්ත තෝමස් විදුහලින් හා වැවුරුකන්නල පිරිවෙනින් ද්විතීයික අධ්‍යාපනය ලැබුවේය. 1907 වසරේදී කොළඹ ගුරු ඇබෑසි විදුහලට ඇතුළත්ව ඉතා උසස් සමත්කම් ලබා 1909 වසරේ දී ගුªරුවරයකු ලෙස සිය රැකියා දිවිය ඇරැඹීය. ඉන්පසුව විදුහල්පතිවරයකු පාසල් පිරික්සුවකු, ගුරු පුහුණු විදුහල්වල විදුහල්පතිවරයෙකු ආදී වශයෙන් ශ්‍රී ලාංකේය සිසු පරපුර උදෙසා මහඟු සේවයක් ඉටුකළ මෙතුමා 1927 වසරේ දී ඇරැඹු බලපිටියේ ගුරු ඇබෑසි විදුහල මඟින් ද මෙරට හෙළ බස උදෙසා මහඟු මෙහෙයක් ජාතියට දායාද කර ඇත.

අපට උරුම වූ හෙළ බස එදා වැටී තිබූ ප්‍රපාතයෙන් ගොඩගෙන, එය උසස්, පොහොසත්, හරවත්, වියත් බසක් කරනට අපමණ වෙහෙසක් දරූ කුමරතුඟුවෝ අති දක්ෂ සාහිත ධරයකු ද වූහ.

අවුරුදු 22 ක තරම් කෙටි කාලයක දී පොත් 130 කට අධික ප්‍රමාණයක් රචනා කොට, හෙළයේ පමණක් නොව ලෝක ඉතිහාසයේ ද වාර්තාවක් තැබූ මෙවන් විද්වතෙකු තවත් නැති තරම් ය.

මොහු ගේ නැණැස, බස දැනුම හෙළි පෙහෙළි වූ ඉසව් කීපයකි. දැයේ දරු පරපුර පිළිබඳ සැබෑ සෙනෙහසින් දරුවන් වෙනුවෙන් ලියා පළ කළ ළමා ලිවිසැරි පත පොත, ළමා මනස බසින් මෙන් ම රසයෙන් ද පිරැවීමට සමත් වීය.

පවුලේ සාමාජික පිරිස

බොදු සාහිත රසය එදා පමණක් නොව අදත් හෙළ බොදුණුවනට මහඟු මිණි රැසෙකි. සාහිත රසාස්වාදය මෙන්ම බස දැනුම වැඩීම උදෙසා ද අත්වැළක් සැපයූ සංස්කරණ ග්‍රන්ථ රැසක් එතුමා ජාතිය වෙනුවෙන් දායාද කළේ ය. නිකාය සංග්‍රහයේ සිට කව්සිළුමිණ තෙක් සංස්කරණ ග්‍රන්ථ 30 කට වැඩි ගණනක් එතුමා අතින් සැකසිණි.

නිකාය සංග්‍රහය විවරණයේ සිට කව්සිළුමිණ විවරණය දක්වා විවරණ ග්‍රන්ථ ද ඒ හා සමාන ප්‍රමාණයක් සැකසිණි.

ස්වදේශීය පත්‍රය, ලක්මිණි පහණ වැනි පුවත්පත් මඟින් සමස්ත රටවැසියා ඇමතීමට කුමරතුඟුවෝ සමත් වූහ. අදත් පාසල්, විශ්ව විද්‍යාල සිසුන්ගේ විෂය නිර්දේශයන් තුළ එතුමා ගේ එම වියත් ග්‍රන්ථ පැවැතීමෙන් පෙනෙනුයේ එතුමා සතු උසස් බස දැනුමයි.

ග්‍රන්ථකරණයෙන් නොනැවතුණු කුමරතුඟුවෝ සිය දක්ෂ කථිකත්වයද දෙස බස රැස වෙනුවෙන් දායාද කළහ.

අලුත් අලුත් දෑ නො තනන ජාතිය ලොව නො නගියි
හිඟා කෑම බැරි වුණු තැන ලගී ගයා මර ගී
ගැමි වහරින් හද පොපියන අරුත් රසය නො හැඟී
මහ දද දන ගණ උපදින කලැ පර දෑ අන ගී

විවාහ වූ දවස

කුමරතුඟුවන් ගේ විරිත් වැකියේ එන මේ කව එතුමන්ගේ පුළුල් වූ දැක්ම මොනවට නිරූපණය කරන්නකි. එමෙන් ම ඒ කියමන ද අද සැබෑ වී සේ යැ.

කුමරතුඟුවන් ගේ බස හැසිරැවීමේ එක් වෙසෙසි බවෙක් “ඇ”” කාර භාවිතය ඇතැමුන් පවසන පරිදි “ඇ” කාර භාවිතය කුමරතුඟුවන් ආවාට ගියාට කළ දෙයක් නොවෙයි. උදා: ලෙස 1. කෙස වැටිය නොදෙමි, 2. කෙස් වැටියැ නොදෙමි. මෙහි දෙවැනි වැකියේ “ඇ” කාරය නොමැති නම්, තමාගේ කෙස්වැටිය තව කෙනෙකුට නොදෙමි යන අරුත දෙ තැනදීම අරුත් ගැන්වෙයි. එහෙත් වැටියැ යනු වැටීමට නො දෙමි යන අරුත යි. රැ තෙන්නකෝන් කිවිසුරාණන්ගේ කුකුල් හැවිල්ලේ එන “පොළෙවැඋලා නල් ඇටේ” යන්න පොළොවැ’’ලෙස “ඇ” කාරය නොයෙදුවේ නම් පොළොව ගෙන නලලේ උලා ගැනීම වැනි වැරැදි අරුතක් ගම්‍ය වෙයි. එහි දී විරිත නොබිඳි කිසි ලෙසකින්වත් “ඇ” කාරය නොතැබුවේ නම් අදහස පැහැදිලි කළ නොහැකි ය. ඒ අනුව බොහෝ තන්හි දී නිසි අරුත හඳුනා ගැනීමට “ඇ” කාරය බෙහෙවින් ඉවහල් වී ඇති බව ඒ පිළිබඳ විවිසුම් ඉදිරිපත් කරන්නන් තේරුම් ගත යුතු ය.

අරුත් බර සිය දිවියේ අවසන් තෙවසර තුළ තම උදාර අරමුණු ඉටුකර ගනු වස්, තවත් දෑ හිතකාමී, භාෂා ප්‍රේමී උගතුන් රැසක් සමඟ එතුමා අත්වැල් බැඳ ගත්තේ සාමුහික ප්‍රයත්නය ප්‍රතිඵල පුළුල් ලෙස සිතමිනි.

කුමරතුඟු මුනිදසුන් නම් වූ ඒ ශ්‍රේෂ්ඨ පඬිවරයා අද අපි බැති සිතින් සමරමු. ඒ සමරුව අර්ථවත් වන්නේ හෙළ දෙස, බස රැස නංවාලීමට එදා එතුමා ගත් අති මහත් දිරිය, අප සිතින් වැළැඳ ගෙන ක්‍රියා කිරීමෙන් පමණි. හෙළ බස නිවැරැදිව ලිවීමට උසුරුවීමට අපි හුරුවෙමු. ඒ මගින් දෑ හිතකාමී සිතිවිලි ජනිත කරමු. “ලෝකයේ උතුම් රට ලංකාවයි යන්න සැබැවින්ම අරුත් ගන්වමු. 68 වන සමරුවේ දී කුමරතුඟුවන් කෙරෙහි පිදෙන උතුම් සමරුව අරුත් බර වනුයේ එවිට යැ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා