මැතිව්ස් - එරංග ශ්‍රී ලංකා පිලට එති

මැතිව්ස් - එරංග ශ්‍රී ලංකා පිලට එති

එංගලන්තයේ බ්‍රෝඩ් ඉවතට

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර හෙට පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයට ඇන්ජලෝ මැතිව්ස් හා ෂාමින්ද එරංග එක්වෙති.

ආබාධ තත්ත්වයක් මත ඇන්ජලෝ මැතිව්ස් පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකළ අතර ඒ වෙනුවට චාමර සිල්වා සංචිතයට එක්විය. මැතිව්ස්ගේ පැමිණීමත් සමඟ චාමර සිල්වා කණ්ඩායමෙන් ඉවත් කර ඇත. පළමු ටෙස්ට් තරගයේ දී ආබාධයකට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක චානක වෙලගෙදර වෙනුවට ෂාමින්ද එරංග සංචිතයට එක්වීමේ අවස්ථාව උදාකර ගත්තේය.

කෙසේ වුවද හෙට දෙවැනි ටෙස්ට් තරගයේ දී ආරම්භක පන්දු යවන්නන් ලෙස ධම්මික ප්‍රසාද් හා සුරංග ලක්මාල් ක්‍රීඩා කරනු ඇතැයි දැනගන්නට තිබේ.

එංගලන්ත පිලේ වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ් ද හෙට තරගයට එක්නොවන බව වාර්තා වේ. ඔහුගේ දකුණු කකුලේ ඇතිවූ ආබාධයක් මෙයට හේතු වී තිබේ.

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ටෙස්ට් තරග 25 ක් පවත්වා ඇති අතර එයින් 7 ක් ශ්‍රී ලංකාව ජය ගත් අතර එංගලන්තය තරග 9 ක් ජයගෙන තවත් තරග 9 ක් ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

ශ්‍රී ලංකාව වසර 2009 දී නවසීලන්තයට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයක් ලැබීමෙන් අනතුරුව මෙතෙක් තරගාවලි ජයක් වාර්තා කර නොමැත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා