ලියන අය පිරිහුණා ම කියවන අයත් පිරිහෙනවා

ලියන අය පිරිහුණා ම කියවන අයත් පිරිහෙනවා

ඩී. එෆ්. කාරියකරවන

මෙරට මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ ඔටුනු පලන් අධිරාජයා ඔහු ය. ඔහු අසාමාන්‍ය මාධ්‍යවේදියෙකි. ගත් කතුවරයෙකි. තීරු ලිපි රචකයෙකි. එපමණක් ද නොවේ. මහ කතුවරුන් ඇතුළු බොහෝ මාධ්‍යවේදීන් ගේ ගුරුවරයා ඔහු ය. රජයේ ප්‍රථම ස්වර්ණ සම්මානයෙන් ද පිදුම් ලද හේ් අද වියපත් වුව ද තවමත් පෑන මෙහෙයවයි. බස නැසෙන හැටි ද, බස නසන හැටි ද ගෙනහැර පායි. ඇදේ සිටිමින් ලේඛන කාර්යයට තවමත් පණ දෙන්නට වෙර දරයි. ඒ අසහාය කතුවරයා ඩී. එෆ්. කාරියකරවන නම් වන්නේ ය. ඔහු ලියූ අලුත් ම ග්‍රන්ථය “සංක්‍රමණය” යි. මේ සටහන ඒ වෙනුවෙනි.

“රැකියා පතා එංගලන්තයට යන කණ්ඩායමකට ඇතුළු වීමේ භාග්‍යය මට ද ලැබිණි. වෙළෙඳ සමාගමක් විසින් සංවිධානය කරන ලද මේ කණ්ඩායමේ දහ අට දෙනෙක් වූහ. දස දෙනෙක් සාත්තු සේවය පැතූ යුවතියෝ ය. අට දෙනක් ඕනෑ ම රැකියාවකට සූදානම්ව සිටි තරුණයෝ ය.”

මේ හෙදියක කියන කතාවයි. එය සංක්‍රමණයෙ හි ඇරැඹුමයි. හෙදි යුවතිය නැව් නගිමින් ලන්ඩනයට ඇතුළු වූයේ සතුටු සාගරයක් මැදිනි. ඒ නැවේ දී දැන හඳුනාගත් හිතවතුන් නිසාවෙනි. දෙවැනුව ලන්ඩනයට පා තැබූ ඇය හෙදි පුහුණුව ලබන්නී ය. මේ අතරතුර බොහෝ දේ සිදු වෙයි.

තුන්වැන්න අපූරු ය. ඒ අපූර්වත්වය ගෙන එන්නේ අන් කිසිවෙකු නොව කතා නායිකාව ය. ඇගේ ජීවිතයේ නව පිටුවක් පෙරළෙයි.

”අපි ඇසුරට වැටුණෙමු. හිතවත් වීමු. කෙමෙන් කෙමෙන් ආලයෙන් වෙළී ගියෙමු. ඔහු මට විවාහ යෝජනාවක් කළේ ය. මම එක පයින් කැමැති වීමි.”

චාම් විවාහයකින් පෙම් පුවත තවත් දිග ඇදුණි. කාලය තටු සලයි. රෑ බෝ වී අර්වින් නිවසට පැමිණෙන්නේ හොඳ හැටියට මධු විතෙන් සප්පායම් වීමෙනි. රේස් අන්තුවෙකු වූ මිතුරෙකු ගේ සමාගමට ද ඔහු වැටෙයි. දෙන්නා දෙමාල්ලෝ දුරස් වෙති. බොහෝ දුරස් වෙති. යුග දිවිය දෙදරා යන ලකුණු පහළ වෙයි.

”අපේ මඟුල් කෑම ඉවරයි. මා ගැන ආයෙ බලාපොරොත්තු වෙන්න එපා. උඹ ඔය නාකියා එක්කම ජීවත් වෙයන්”

වෙන්වීම, දික්කසාදය, පියා ගේ මරණය, රට ගිය හැටි, අක්කා ගේ විවාහය, ඉලවු ඇරීම, ගමට යෑම, තනි පංගලමේ සීගිරිය ආදී වශයෙන් දිග හැරෙන්නේ හෙදිය ගේ ජීවිතයයි. හෙදිය ගේ ජීවිතය මේ ආකාරයට දිග හැරී ඔහු ඈ පිළිබඳ පවසනා දේ මෙසේ යි.

* ඔබ මේ පොත ලියන්න අදහස් කළේ ඇයි?

මම මුලින් ලියූවේ මෙය නොවේ. වෙනත් පොතක්. අවුරුදු 30 – 40 කට පෙර. එය තමයි සිංහල හෙදියක් එංගලන්තයට ගිහින් පුහුණුව ලබා සුදු තරුණියක් සමඟ බොහෝ මිතුරව සිටීමක් ගැන. පසුකාලීන මේ මිතුරුකම කොයි තරම්දැයි කියනවා නම් එකට ජීවත් වූ ඔවුන් දෙදෙනා විවාහ වෙන්න ද තීරණය කළා. මේ මිතුදම ගැනයි මුලින් මම ලියුවේ. මෙය දුටු මගේ හිතවතුන් බොහෝ දෙනෙක් මට පැවසුවා මෙය ප්‍රකාශයට පත් කිරීම මගේ තත්ත්වයට ඔබින්නේ නැති වග. කෙල්ලෝ දෙදෙනෙකු ගේ ඒ ආකාර මිතුදම ගැන නොලියන ලෙසටයි බොහෝ දෙනා මගෙන් ඉල්ලා සිටියේ.

අනතුරුව මම එය විසි කර දැමුවා, හමස් පෙට්ටියට. වසර බොහෝ ගණනාවකට පෙර මට එය හමු වුණා. මම එය ආයෙමත් කියෙව්වා. මම ලියූ දේ අහක දැමීම ගැන මට දුකකුත් ඇතිවුණා. එහි මුල හරිය නැවත සංශෝධනය කරමින් අමුතුවෙන් කතාව ගොඩනගලා තමයි මේ පොත මම පාඨකයන් වෙත පිරිනමන්න අදහස් කළේ. ”සංක්‍රමණය” කියලා නම යෙදුවේ නවකතාවේ ප්‍රධාන චරිතය බලාපොරොත්තු වන්නේ සිය යෙහෙළිය සමඟ සැමදාම එකට ජීවත් වෙන්නයි. පසුව ඒක වෙනස් වුණා. ඔවුන්ට “සංක්‍රමණය” වෙන්න සිදු වුණා. යන්න ගිය පාර වෙනස් වුණා. මේ අදහසින් තමයි “සංක්‍රමණය” ලෙසින් මෙය නම් කළේ.

* වෙනදා අපි දකින කතාවලට වඩා මෙය හරිම වෙනස් කෘතියක්. මෙහි අන්තර්ගතය සැකසී ඇත්තේ ද සරල හා ඉතා පහසුවෙන් කියවාගෙන යා හැකි ආකාරයටයි. මෙවැනි ආකෘතියකින් ඔබේ නිර්මාණය සැකසූයේ ඇයි?

දිග හෑලි කියවන්න අද බොහෝ දෙනෙකුට වෙලාවක් නෑ. මේ ආකාරයට ලිව්වොත් බොහෝ දෙනෙකුට ඉතා පහසුවෙන් කියවාගෙන යා හැකි වේවි කියලයි මා මේ ක්‍රමය අනුගමනය කළේ. ප්‍රමාණයෙනුත් කුඩයි. ඉස්සර නම් අපට පොත පත කියවන්න ඕනෑ තරම් කාලයක්, වේලාවක් තිබුණා. මුළු දවසක් වුණත් පොතක් වෙනුවෙන් වැය කරනවා. ඒත් අද පොතක් වෙනුවෙන් එවැනි කාලයක් හොයා ගන්න බෑ. කෙටි කාලීන ප්‍රයෝජනයකට පැය 2 – 3 කින් කියවා අවසන් කළ හැකි ආකාරයට නිර්මාණය කරන්න සිතුවේ ඒ හින්දයි.

* වර්තමාන මාධ්‍ය භාවිතාව ගැන ඔබේ අදහස කුමක්ද?

අයියෝ! ගන්න දෙයක් නෑ.

* අලුත් පරම්පරාවට නිසි මඟ පෙන්වීමක් නැති බව ද ඔබ පවසන්නේ. වැරැද්ද කොතැන ද?

ඒක දැන් හරිගස්සන්න බැරි වැරැද්දක්. ශ්‍රී ලංකාවේ හිටපු අවසාන සුදු අධ්‍යාපන අධ්‍යක්‍ෂතුමා කනිෂ්ඨ විභාගයට අනිවාර්ය විෂයයන් දෙකක් වෙලා තිබුණු සිංහල හා ගණිතය වෛකල්පිත විෂයයන් බවට පත් කළා. එතැන් පටන් ළමයි වෙනත් විෂයයන් හදාරලා විභාග පාස් කළා. ඔවුන් ගුරුවරු වුණා. ඒ අය තමයි ඊළඟ පරම්පරාවලට උගන්වන්නේ. හරි විදිහට උගන්වන්න ගුරුවරුන්ටත් දැනුමක් නැතිකොට කොහොමද ළමයි හරි විදිහට ඉගෙන ගන්නේ. එතැනින් තමයි පිරිහීම පටන් ගත්තේ. ඒ පිරිහීම කොතරම්දැයි කියනවා නම් අද පත්තරේකට රස්සාව දෙන්න භාෂාව දන්න කෙනෙක් හොයා ගන්න බෑ. ඒ නිසා ඔය කාව හරි ගන්නවා. ඒ හින්දා අද මාධ්‍යයේ ඉන්න බොහෝ දෙනෙකුට භාෂාව බෑ. භාෂාව මරනවා. භාෂාව හදන්න ඕනෑ. ඒක අමාරු දෙයක්. අලුත් පත්තර රැල්ල විසින් අමුතු ම මාදිලියේ භාෂා භාවිතයකට ගිහිල්ලා. ඉතින් අපේ භාෂාව ඉතිරි වෙයි ද?

* වර්තමානයේ එළිදකින පොතපත ගැන ඔබේ අදහස කුමක්ද?

දැන් පළවන පොත්වලින් එකක්, දෙකක්වත් නෑ නිවැරදි බස භාවිතා කළ පොත්. හැම කෙනා ම පොතක් ලියන්න ලෑස්ති වෙනවා. පොතක් ලියන්න පෙර පොතක් ලියන කෙනෙක් කරුණු 2 ක් අවබෝධ කරගත යුතුයි. ඒ තමයි පොතේ භාෂාව හා අන්තර්ගතය. 50% ක් භාෂාව වෙනුවෙනුත් 50% ක් අන්තර්ගතය වෙනුවෙනුත් සැලකිලිමත් විය යුතු යි. අන්තර්ගතය කොතරම් හොඳ වුණත් වැඩක් නෑ භාෂාව හොඳ නැත්නම්. භාෂාව කොතරම් හොඳ වුණත් වැඩක් නෑ අන්තර්ගතය හොඳ නැත්නම්. ඒ නිසා මේ දෙක ම හරි හරියට යන්න ඕනෑ. පොත් ලියන්න ඉදිරිපත් වන අය තමන් ලියන කාරණය මොකක්ද කියලා හොඳට අවබෝධ කරගෙන හොඳ දැනීමකින් තම කාර්යයට අතගහන්න ඕනෑ. මේ කරුණු දිහා බැලුවාම නම් අද පළවන පොත්වල ගන්න දෙයක් නෑ. ලියන අය පිරිහුණාම කියවන අයත් පිරිහෙනවා.

* පොත්පත්වලට විචාරයක් අවශ්‍ය ම ද?

නැතුව. ඇත්ත වශයෙන් ම විචාරයක් තියෙන්න ඕනෑ. ඕනෑ ම කෙනෙකුට වරදින්න පුළුවන්. ඉතින් ලේඛකයන්ගේ වැරදි හදා ගන්න පුළුවන් විචාරයෙන්. ඒ නිසා විචාරයක් තිබිය යුතුයි. අලුතින් පටන් ගත් රැල්ලට ආ පත්තරවල විචාර පළවෙන්නේ නෑ. ඉස්සර නම් කෙනෙකුගේ පිංතූරයක් යොදන්නේ තනි තීරුවේ. වැදගත් පත්තරවල දාන්නේ තීරු 1/2 යි. දැන් අලුත් පත්තරවල පිටු 1/2 ක් පිංතූරයට වෙන්කරලා. ඒ තමයි පිරිහීමේ ලක්‍ෂණ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා