අද ලාංකික විචාර කලාව අවරෝහණයට ලක් වෙලා

අද ලාංකික විචාර කලාව අවරෝහණයට ලක් වෙලා

ආචාර්ය රංජිත් ඇල්. අබේවික්‍රම

ප්‍රකට මාධ්‍යවේදියෙකු සහ ග්‍රන්ථ රචකයෙකු වන රංජිත් ඇල්. අබේවික්‍රමයන් ගේ නවතම කෘතිය, ‘පශ්චාත් නූතන වාදී විචාර ව්‍යුහය’ අරභයා කළ කෙටි කතිකාවතකි මේ.

* පශ්චාත් නූතනවාදී විචාර කලාවක් ගැන කෘතියක් ලිවීමේ අරමුණ කුමක් ද?

අද පැහැදිලි විචාරයක් නෑ. විචාරකයො ඉන්නවා. ඒත් ඒ විචාර පුළුල් පරාසයක විහිදී යන සුළු ඒවා නෙවෙයි. හොඳ නිර්මාණ බිහි වෙන්න නම් සැබෑ විචාරයක් ඕනෑ. සැබෑ විශ්ලේෂණය, සැසඳීම, ඇගයීම හා පැහැදිලි කිරීම ඒකට ඇතුළත් විය යුතුයි. නමුත් වර්තමානෙ වෙන්නෙ ඒක නෙවයි. විචාර මූලිකාංග අද අනුගමනය කරනවා දකින්නත් නෑ. පශ්චාත් නූතනවාදී විචාරකයාට ගුරු කුල, නිකාය, හිතවත්කම් ආදිය නෑ.

ඒ වගේ ම විචාරකයා සතුව සුවිනීත, සුගැඹුරු භාෂාවක් තිබිය යුතුයි. විචාරය කියන්නෙ තර්කය හෝ දර්ශනය නෙවෙයි. විචාරය කියන්නෙ චින්තනයක්. අද ග්‍රන්ථ ඕනෑ තරම් නිකුත් වෙනවා. ඒත් හොඳ කෘති බිහිවෙනවා අඩුයි. ඒකට හොඳ විචාරකයන් නැති වීමත් වක්‍රකාරයෙන් බලපානවා. විශේෂයෙන් ම පශ්චාත් නූතන විචාරයක් ගැන ලියවුණු කෘති නෑ. ඒ අඩුපාඩුව පිරවීමට මේ කෘතිය ඉවහල් වේවි කියලා මං හිතනවා.

* ලංකාවේ අද තියෙන විචාර කලාවේ ගමන් මඟ ගැන ඔබේ අදහස

ලාංකික විචාර මාර්ගය අද අවරෝහණයට පාත්‍ර වී ඇත්තේ විචාරය යනු කුමක්ද යන්න මනාව තේරුම් නොගෙන අවබෝධ කොට නොගෙන ඒ කාරියට අත ගසා තිබීම යි. අද හැමෝම සාහිත්‍ය විචාරකයන්. සාහිත්‍ය විචාරකයාගේ කාර්ය කෙබඳු ගණයට ගැනෙන්නක් ද යන්න මනාව සාක්ෂාත් කොටගෙන නැති නිසයි වර්තමාන ලාංකික විචාර මාර්ගය අවරෝහණයට බඳුන් වී ඇත්තේ.

සැබෑ විචාරකයා විශ්වයට ස්වකීය දෘෂ්ටිය යොමු කළ යුතු යි. ස්වකීය විචාර චින්තාව පුළුල් වූ පරාසයක පිහිටා කරන්නට යොමුවන බවක් පෙනෙන්නේ නෑ. ඒ සඳහා ඕනෑකමකුත් නෑ. පශ්චාත් නූතනවා දී විචාර ව්‍යුහයෙන් සිද්ධ වෙන්නේ ශ්‍රේෂ්ඨ නිර්මාණවලට භූමිකාව සකස් කිරීම යි. දැනට පවත්නා විචාර මාර්ගය පරිපූර්ණ විචාර මාර්ගයකට යොමු කරන්නට උවමනාවකුත් නෑ.

අද හොඳ ගණයට ගැනෙන විචාර කෘතියක් කියවන්නට පුල පුලා බලා සිටියත් එබන්දක් අද දක්නට ලැබෙන්නේ නැහැ. පසුගාමී ගමන් මඟක පිහිටි විචාර චින්තාව ඉදිරියට ගෙන යාමට සැබෑ විචාරකයක් බිහි විය යුතුයි. මෙයට නිදසුන් වශයෙන් පසුගිය වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ නවකතාව, කෙටි කතාව, හෝ වෙනත් සාහිත්‍ය කෘතිය කුමක් ද යන්න කවරකු ගෙන් ඇසුවොත් එයට ඍජු පිළිතුරක් දෙන්නට තරම් ශක්තියක් ඇත්තේ නැහැ.

මන්ද එම කෘති සහෘදයන්ට බද්ධ වී නැහැ. සහෘදයන්ට බද්ධ විය යුතුයි ශ්‍රේෂ්ඨ සාහිත්‍ය කෘති. ලාංකීය සාහිත්‍ය ක්ෂේත්‍රයේ එබඳු ගණයට ගැනෙන නිර්මාණ බිහි නොවන්නේ සැබෑ විචාර මාර්ගයක් නොමැතිකමයි. මේ තත්ත්වය තවදුරටත් රැගෙන ගියොත් හොඳ ගණයට ගැනෙන සාහිත්‍ය කෘති බිහි වෙයිද කියලත් සැකයි.

* මේ විචාර කලාවෙන් ප්‍රගමනයක් ඇතිවෙලා තියෙනවාද? ඒ කුමක් ද?

අදට පවත්නා විචාර කලාවෙන් එබඳු ප්‍රගමනයක් ඇති වෙලා නැහැ. පශ්චාත් නූතනවාදී විචාර ව්‍යුහය කේන්ද්‍රගත වී ඇත්තේ එහි ඵලයක් වශයෙන්. සම්භාව්‍ය සාහිත්‍ය කෘති බිහිවන්නට එදා හොඳ විචාර මාර්ගයක් තිබුණා. ඒ නිසයි කාලත්‍රයටම පොදු විශ්වසනීයත්ව යෙන් උපයුක්ත ශ්‍රේෂ්ඨ නිර්මාණ බිහි වී ඇත්තේ. එදා සිට ආ විචාර ගමන් මඟ අද්‍යතන අවදියේ සමාජ සංස්කෘතියට අනුගත වන අයුරින් සකස් කෙළේ නැහැ. 1964 මාර්ටින් වික්‍රමසිංහ ඇති කළ ‘සිංහල විචාර මඟ’ ඉදිරියට ගෙන ගිය බව නොපෙනේ.

එසේ ගෙන ගියේ නම් අද මෙබඳු ඉරණමක් විචාර මාර්ගයට අත් වන්නේ නැහැ. ඵලදායි, වැඩදායි විචාර ව්‍යුහයක් මේ වන තෙක් බිහි වී නැහැ. දශක හයක් ගෙවී යන තැන මාර්ටින් වික්‍රමසිංහ ගේ විචාර මාර්ගයට වඩා හෝ ඊට සමගාමීව විචාර මාර්ගයක් බිහි විය යුතුයි. ඒ කාර්ය අද සිදු වී නැහැ. විචාර කාරියට අත ගසා සිටින සැබෑ විචාරකයන් සමාජ ප්‍රගමනයට බලපාන විචාර මාර්ගයක් බිහි කිරීමට ඉටා ගත යුතුයි. එසේ නොවුණ හොත් අපට බොල් ප්‍රබන්ධයි පරිශීලනය කරන්නට ලැබෙන්නේ.

* විය යුත්තේ කෙසේ ද?

අද්‍යතන අවදියේ අනවරතයෙන්ම, අත්‍යන්තයෙන් ම හොඳ විචාර මාර්ගයක් බිහි කිරීමට ඕනෑ කමක් ඇත්නම් පශ්චාත් නූතනවාදී විචාර මාර්ගය ගුªරුකොට ගත යුතුයි. නිරන්තරයෙන් ම චින්තන මාර්ගයට පිවිසි සැබෑ විචාරකයා තමා ගේ කාර්යය කෙරෙහි පුළුල් වූ දෘෂ්ටි කෝණයක පිහිටා කළ යුතු කාරියක්. ගුරුකුල, හිතවත්කම්, නිකායයන්ගෙන් මිදී තුලනාත්මක විචාර කාරියනට අත ගැසිය යුතුයි. යමකට බරවුවහොත් විචාරකයාට ඒ කාරිය නිසි අයුරින් කරගෙන යන්නට ලැබෙන්නේ නැහැ. තුලනාත්මක, අදීන විචාර මාර්ගයකට ප්‍රවේශවීම අවශ්‍යම දෙයක්.

පශ්චාත් නූතනවාදය සම්බන්ධයෙන් ඉංග්‍රීසියෙන් පොත් රාශියක් ලියැ වී තියෙනවා. මේ පොත් සියල්ල ම විචාරයට පිවිසෙන සැබෑ විචාරකයන් පරිශීලනය කළ යුතුයි. ඒවා පරිශීලනය නොකොට හොඳ විචාර මාර්ගයකට පිවිසෙන්න බැහැ. මෙතන දී සාහිත්‍ය කෘති පමණක් නොවේ, ඉතිහාසය, සමාජ විද්‍යාව, පුරා විද්‍යාව, වාග් විද්‍යාව, භාෂාව, ආණ්ඩුක්‍රමය, දේශපාලනය ආදි නන්විධ විෂයයන්ටත් මේ පශ්චාත් නූතනවාදි විචාර ව්‍යූහය බලපානවා. මෙය සාහිත්‍ය විෂයට පමණක් සීමා වූවක් නොවේ.

* ලංකාවේ විචාර කලාවට සම්බාධක තිබේද? ඒ මොනවාද?

සාහිත්‍ය විචාර කලාවට කිසිදු සම්බාධකයක් නැහැ. එහෙම සම්බාධක පනවන්නත් බැහැ. සැසදීම, විශ්ලේෂණය කිරීම, ඇගැයීම හා පැහැදිලි කිරීම මත තමයි විචාර චින්තාව නිර්මාණය වී ඇත්තේ. විචාර මාර්ගය තීරණය කරන්නේ පුළුල් වූ පරාසයක තමන් ගේ විචාර මාර්ගය, චින්තාව විහිද ගිය විචාරකයා යි. බාධා පනවන්නට ගියොත් එහි අනිටු විපාකය ශ්‍රේෂ්ඨ කෘති පහළ නොවීමයි. යම් යම් සීමාවන් පනවන්නත් බැහැ. සීමා හා පුළුල් පරාසයක ස්වකීය විචාර චින්තාව මෙහෙය වන්නේ සැබෑ විචාරකයා යි.

රටක සමාජ සංවර්ධනයට ප්‍රගමනයට බහුල වශයෙන් ම බලපාන්නකි. ‘සාහිත්‍ය විචාරය’ මෙය සැබෑ සාහිත්‍ය විචාරය යනුවෙන් අර්ථ දක්වනවා නම් ඉතා හොඳයි. යෝග්‍යයයි. බොහෝ අය මේ යථාර්ථය තේරුම්ගෙන නැහැ. සමහරු සිතන්නේ සාහිත්‍ය විචාරය හා සමාජ සංවර්ධනය අතර ඇති සාම්‍යය කවරක්ද යන්න කියලයි. ශ්‍රේෂ්ඨ නිර්මාණවලට තුඩු දෙන්නෙ සමාජ සංවර්ධන ගමන් මාර්ගය. නව නිර්මාණ ආර්ථික ප්‍රගමනයට අතිශයින් ම බලපානවා.

මෙබදු පසුතලයක පිහිටා අපේ සාහිත්‍ය‍ය විචාර ව්‍යූහය ආරෝහණ ගමන් මාර්ගයකට යොමු විය යුතුයි. අවරෝහණ ගමන් මාර්ගයෙන් ආරෝහණ ගමනකට සිංහල විචාර මාර්ගය පිවිසිය යුතුයි. විචාරකයාට පැවැරී ඇත්තේ විශාල වශයෙන් භාරදූර කාර්යයක්. එය ලඝුකොට සලකන්න එපා. යහපත් සමාජයක්, ගුණ ධර්මවලින් පිරි සමාජයක් බිහි වන්නට නම් යහපත් විචාර මාර්ගයක්ද අවශ්‍යයි. මෙය අනිවාර්යයෙන්ම අවබෝධකොටගෙන විචාරය වඩාත් සුසීනිත තලයකට ඇදගෙනයාම සැබෑ විචාරකයාගේ කාරිය නම් පශ්චාත් නූතනවාදි විචාරකයා ගේ කාර්යයත් එයයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා