ගම්පහින් පැහැර ගත් රියැදුරා මරා වැසිකිළි වළක දමලා

ගම්පහින් පැහැර ගත් රියැදුරා මරා වැසිකිළි වළක දමලා

දෙවැනි සැකකරුගේ ප්‍රකාශයෙන් සිරුර සොයා ගනී

මීට සති දෙකකට පමණ පෙර වෑන් රථයක් සමඟ ගම්පහ දී පැහැර ගැනීමට ලක්වූ රියැදුරා ඝාතනය කර වැසිකිළි වළකට දමා තිබිය දී ඊයේ (10) පොලිිසිය මගින් සොයා ගෙන තිබේ. මෙසේ ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා ගම්පහ පෞද්ගලික රෝහලක හිමිකරුගේ රියදුරු බවටද හෙළිව ඇත.

රියදුරා සමඟ වෑන් රථය ඉකුත් 18 දින සිට අතුරුදන්ව ඇතැයි අදාළ රෝහල් හිමිකරුවා ගම්පහ පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බව පොලිසිය කීය. ඒ අනුව පැහැර ගත් වෑන් රථය හා සැක දෙදෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

පෙරේදා (09) අත්අඩංගුවට ගත් දෙවන සැකකරු හෙළි කළ තොරතුරු මත මළ සිරුර අරණායක ප්‍රදේශයෙන් සොයාගෙන ඇත. ඉකුත් 01 දා පළමු සැකකරු වෑන් රථය සමඟ අත්අඩංගුවට පත්ව තිබිණි. ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඉකුත් මස 28 දින අදාළ වෑන් රථය හා ඝාතනය වූ රියදුරු පැහැරගෙන පළමු සැකකරුගේ නිවසක් පිහිටි අරණායක වේරගොඩ ගොඩමාහේන ප්‍රදේශයට රැගෙන ගොස් ඇත. පසුව රියදුරු ඝාතනය කර නිවසේ වැසිකිළි වළට දැමූ බව දෙවන සැකකරු පොලිස් ප්‍රශ්න කිරීමේ දී හෙළිකර තිබේ.

මෙසේ ඝාතනය වී ඇත්තේ ගම්පහ සෙත්මා පුද්ගලික රෝහලේ හිමිකරුවාගේ රියදුරු වූ කිරිඳීවැල සනත් ධර්මකීර්ති (36) නමැති අය වේ. රියදුරු මරා දමා පළමු සැකකරු මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ ඇති තමාට අයත් නිවසට රථය ද රැගෙන පැමිණ ඇත. එහිදී ගම්පහ පොලිසිය මගින් සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණි.

මේ පැහැර ගැනීම හා ඝාතනය අත්අඩංගුවට ගත් දෙදෙනා එක්ව සිදුකර තිබෙන බවට දෙවන සැකකරු විසින් හෙළිකර ඇත. සිද්ධිය පිළිබඳ ගම්පහ පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා