ගම්පහ ගිලන් රථ රියැදුරු සනත් මිතුරන්ගේම උගුලේ සිරවෙයි

ගම්පහ ගිලන් රථ රියැදුරු සනත් මිතුරන්ගේම උගුලේ සිරවෙයි

වෑන් රථය පැහැරගන්න රිය පොළේ පාලකයාම හවුල්

ගම්පහ පොලිස් කොට්ඨාසයේ නොවිසඳුණු අපරාධ ඒකකයේ නිළධාරීන් පිරිසක් පසුගිය දිනක අරණායක - වේරගොඩ ප්‍රදේශයේ ඉලක්කගත අපරාධ ස්ථානයක් සොයමින් සැරිසැරුවේ දැතට විලංගු දැමූ සැකකරුවකු ද සමඟිනි.

මීට සතියකට පමණ පෙර එනම් පසුගිය (9)දා ආරම්භ කර තිබූ මෙම පරීක්ෂණයේ කථා පුවත හෙළිවූයේ ඊට පසුදින එනම් (10)දා මාවනැල්ල අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා සහ කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥවරයාගේ අධීක්ෂණය යටතේ එම ප්‍රදේශයේ අතහැර දමා හුදකලා වූ නිවසක වැසිකිළි වළකින් පිරිමි මළසිරුරක් ගොඩගැනීමත් සමඟය.

මෙසේ මරණයට පත්කර තිබුණේ ගම්පහ පුද්ගලික රෝහලක ගිලන් රථ රියදුරකු වූ කිරිඳිවෙල පදිංචි කේ. ජී. සනත් ධර්මකීර්ති නම් අයෙකි. බහු විවාහකයකු වූ ඔහුට එක් බිරියකට දරු දෙදෙනා බැගින් දරුවන් සිවුදෙනෙක් ද වූ අතර ඔහු (34) වන වියේ පසුවූවෙකි.

ගම්පහ පුද්ගලික රෝහලක ප්‍රධාන වෛද්‍යවරයා විසින් පසුගිය මාර්තු 27 වෙනි දින සිට එම රෝහලේ ගිලන් රථය සහ රියදුරා ආගිය අතක් නොමැති බවට ගම්පහ පොලිසියට කරන ලද පැමිණිල්ලක් මේ පොලිස් පරීක්ෂණයන්ට මූලික වී තිබුණි.

ප්‍රයෝජනයට ගත හැකි කිසිදු සාක්ෂියක් ඉතිරි කර නොතිබුණු මේ පැමිණිල්ල අතට ගත් ගම්පහ පොලිස් කොට්ඨාසයේ නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක වයි. ජී. අමරසිංහ මහතා ප්‍රධාන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබුණි. දින කීපයක් තුළදී එම පුද්ගලික රෝහල තුළ සේවය කරන තවත් සහායක රියදුරෙකුගේ ප්‍රකාශ මත ගම්පහ පුද්ගලික රෝහලේ අතුරුදන් වූ අංක එ.ර්‍ථ.ර්‍ථ.ඕ 7883 දරන ඩොල්පින් වර්ගයේ ගිලන් රථය කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ කුලියට වාහන සේවා සපයන රිය පොළක දී (කැබ් සර්විස්) සොයා ගැනීමට පොලිසිය සමත් විය.

අංක සහ තවත් සළකුණු කීපයක්ම වෙනස් කර තිබූ මේ රථය කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ රථ ගාලේ පාලකවරයා පොලිසියට පැවසුවේ අතුරුදන් වූ ගම්පහ රෝහලේ ගිලන් රථ රියදුරු රුපියල් 75,000/=ක මුදලකට මේ වාහනය තමාට විකුණා ඉතිරි මුදල් ලබා ගැනීමට එහි ලියකියවිලි රැගෙන ඒමට මහනුවර බලා ගිය බවත් ආපසු නොපැමිණි බවත්ය.

ගම්පහ පුද්ගලික රෝහලේ අතුරුදන් වූ ගිලන් රථ රියදුරු සනත් ධර්මකීර්ති (34) පුද්ගලික රෝහලේ සහායක රියදුරු ඩික්ෂන් කුමාර (26) සහ කුලියට වාහන සපයන රථ ගාලේ පාලක අබේකෝන් බණ්ඩාර යන තිදෙනා සමීප මිතුරන් බවද ඔවුන් නිතර එකට එක්වූ බවද මේ වනවිට පොලිසියේ ගවේෂණ සටහන් තහවුරු කර තිබුණි.

මේ අතර ඔවුන් අතරින් හඳුනාගන්නට ලැබුණු මාලිගාවත්ත කුලී රථ රියදුරෙකු වූ ප්‍රදීප් දුලංග නැමති 22 හැවිරිදි තරුණයෙක් අපරාධයේ කථා වස්තුව මෙසේ දිග හැරියේය.

එදා මාර්තු 27 ගම්පහ පුද්ගලික රෝහලේ ගිලන් රථයේ රියදුරු සනත්, එම රෝහලේ අතිරේක රියදුරු ඩික්ෂන් සහ කැබ් සර්විස් එකේ බණ්ඩාර ගිලන් රථයෙන් පැමිණ මටත් ගමනක් යන්න කථා කළා. මම ඒ අය සමඟ පිටත් වුණා. අපි යක්කලට ආවා. බණ්ඩාර රියදුරු සනත්ට වාහනයෙන් බහින්න කීවා. ඔහුගේ අත්දෙක පස්සට කර බැඳල ඇස් දෙකත් බැන්ඳා. වාහනයේ පිටිපස අසුනක් ළඟ බිම වාඩි කළා. බණ්ඩාර වාහනය පදවන්න ගත්තා. ටික දුරක් ගිහින් ඩික්ෂන් ද බැස්සුවා. අපි දෙන්න සනත්වත් දමාගන බණ්ඩාරගේ උපන් ගම කියූ අරණායක ප්‍රදේශයට ආවා. පාළු ගේකට ගිහින් මත්පැන් බීවා. සනත්ටත් මත්පැන් දුන්නා. ඒ පාලු ගෙයි වැසිකිළි වළේ කොන්කීට් තට්ටුව උස්සල සනත් ඒ වළ තුළට දැම්මා. අපි කොන්ක්‍රීට් ලෑල්ල වැහුවා. ඊට පසු බණ්ඩාරගේ මහ ගෙදරට ගිහින් රාත්‍රී නිදා ගත්තා. පසුදා උදෑසනින් කොන්ක්‍රීට් ලෑල්ල ඉවත් කර බලන විට ඔහු ඇස් දෙකේ රෙදිපටිය ලෙහාගන වාඩිවි සිටියා. ඒ වළ අඩි 8ක් විතර ගැඹුරුයි. උඩින් එළිය වැටුන නිසා ඒ දෙස බැලූ සනත් “අනේ මාව මරන්න එපා” කීවා. එවිට බණ්ඩාර කීවා උඹ උඩට ගන්නවා නැගිටපන් කියල. ඔහු උඩ බලාගන සිටිනවිට “අන්න මොකක්ද බිම වැටුනා ඒක අහුලාගනින්” කීවා. ඔහු නැවත බිම බලද්දී බණ්ඩාර ලොකු පොල්ලකින් ඔහුගේ ඔලුවට ගැහුවා. අර තියෙන්නේ ඒ පොල්ලයි. ඊටපස්සේ බණ්ඩාරත් ඒ වළට බැහැල ඔහුගේ ඇඟට ඉවුර කඩල පස් දැම්මා. ඊටපසු වළේ කොන්ක්‍රීට් තහඩුව වහල අපි කොළඹ යන්න පිටත්වුණා. ඒ වනවිටත් පැහැරගත් වාහනයේ අංක සහ සළකුණු වෙනස් කර තිබුණා. යයිද විස්තර කළේය.

මියගිය අයගේ මව වන ජයලතා වීරසේකර මහත්මිය (56) – අපි මහනුවර ප්‍රදේශයේ පදිංචිවෙලා සිටිනවා. මට දරුවන් තිදෙනෙකු සිටිනවා. මියගොස් ඇත්තේ වැඩිමල් පුතායි. ඔහු ගම්පහ රෝහලක සේවය කරන බවත් විවාහ වී කිරිඳීවෙල ප්‍රදේශයේ සිටින බවත් දන්නවා. පසුගිය දිනක මට දුරකථනයෙන් කථාකර අවුරුද්දට කලින් ගෙදර එනවා. නුවර තාලෙට කිරිකොස් හදල තියන්න කියා කීවා. මේවා හෙන ගහන අපරාධ මහත්තයෝ.

මියගිය අයගේ පළමු බිරිය වන දයානි නිලුකා මහත්මිය (33) - අපි කිරිඳිවෙල පදිංචිව සිටිනවා. මියගිය සනත් සමඟ මම විවාහ වුණේ මීට වසර 15 කට පෙරයි. පූගොඩ රෙදි මෝලේ දී අපි හඳුනාගත්තේ. අපට දැන් අවුරුදු 11ක දුවක් සහ අවුරුදු 5ක පුතෙක් සිටිනවා. ඔහු හොඳයි. ළමයි ගැනත් මා ගැනත් නිතර සොයා බාලුවා. එකම වැරැද්ද මත්පැන් බොන එකයි. 26 වෙනිදාත් මට දුරකථනයෙන් කථාකර අවුරුද්දට ළමයින්ට රෙදි අරන් දෙන්න එන්නම් කීවා.

එයා තවත් විවාහයක් කරගන ඉන්නවා. එයා හඟුරන්කෙත කෙනෙක්. නිට්ටඹුවේ ස්වයං ව්‍යාපාරයක් කරනවා. එයාට දරුවොත් ඉන්නවා. අපි දෙන්නම සනත්ට ආදරෙයි. සනත් ගෙදර ආවාද කියල සවසට ඇයත් මට කෝල් දෙනවා. මමත් ඇයගෙන් එහෙම අහනවා.

ඔහුගේ දෙවන බිරිය වන තරංගා දමයන්ති මහත්මිය (35) – අපි විවාහවෙලා අවුරුදු 6ක් වෙනවා. මම එම රෝහලට ගිය වෙලාවේ හඳුනාගත්තේ. මට මියගිය සනත්ගෙන් නිවුන් දරුවන් දෙදෙනෙක් සිටිනවා. ඔවුන්ට දැන් වයස අවුරුදු 4 1/2ක් වෙනවා. මට දරු දෙදෙනා හම්බවුනාට පස්සේ ඔහු කීවා ඔහු මීට පෙර විවාහ වී දරුවන් සිටිනවා කියා. ඒත් ඔහු දරු දෙදෙනා සහ මාව බලාගන්නවා කියල පොරොන්දු වුණා. ඔහු දවසකට සැරයක් වැඩට ගියත් මට කථා කරනවා. ඔහු ගෙදර ආවේ නැති දවසට මම අනිත් ගෙදරට කථා කරල අහනවා. අපි අතර කිසිම ගැටුමක් නෑ. දරුවෝ ඉන්නේ මගේ අම්මා ළ¼ඟ. මම සවස ඔහුට කථා කළා. ඔහුගේ දුරකථනය නාද වුණත් කථා කළේ නෑ. වරක් ක්‍රියා විරහිතව තිබුණා. යයිද පැවසුවාය.

මේ අපරාධයේ සැලසුම්කරු වූ රථ ගාලේ පාලක අබේකෝන් බණ්ඩාර නැමති සැකකරු බන්ධනාගාර නිලධාරීන් විසින් එම ස්ථානයේ දී මහේස්ත්‍රාත්වරයා ඉදිරියට ඉදිරිපත් කර තිබුණි.

අධික වර්ෂාව හා අයහපත් කාලගුණයක් පැවති මෙදින (10) දා පස්වරු 3.30ට පමණ මෙම පරීක්ෂණයේ කටයුතු මෙතනින් හමාර වෙද්දී ගොඩට ගත් මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා කෑගල්ල මහ රෝහලේ වෛද්‍ය අධිකරණ සංකීර්ණය වෙත ගෙන යාමට මාවනැල්ල අධිකරණයේ මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා නියෝග කරනු ලැබීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා