ආරවුල දුරදිග ගොස් පිහි පහරෙන් අයෙක් මරුට

ආරවුල දුරදිග ගොස් පිහි පහරෙන් අයෙක් මරුට

තිදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් දුර දිග යාමෙන් සිදුවු පිහිපහරින් එක් අයෙකු මියගොස් තවත් පුද්ගලයකු දැඩිලෙස තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇතැයි හිදෝගම පොලිසිය පවසයි.

මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මියගොස් ඇත්තේ මහ නෙළුබෑව 10 ඇල ප්‍රදේශයේ පදිංචි දාහත් හැවිරිදි (17) තරුණයකි. එහිදී තුවාල ලැබූ අනෙක් තරුණයා ද එම ප්‍රදේශයේ පදිංචි විසි එක් (21) හැවිරිදි අයෙකු වන අතර ඔහු ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබීය.

මෙම දෙදෙනා සහ තවත් පුද්ගලන් දෙදෙනෙකු පෙරේදා (14) අළුයම 1.00ට පමණ නිවෙස් කරා යමින් සිටියදී හිදෝගම පොලිස් වසමේ මහ නෙළුබෑව වැව් බැම්ම මතදී එහි එකී පුද්ගලයකු මේ පහරදීම සිදු කර ඇත.

පසුව පොලිසිය විසින් සිදු කළ පරීක්‍ෂණවලදි මේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙහිදී තුවාල ලැබූ පුද්ගලයාත් පහරදීම සිදුකළ සැකකරුත් අතර බුරු පොලේදී ඇතිවූ ආරවුලක් මෙයට හේතු වී ඇති බව පොලිසිය කියයි. මිය ගොස් ඇත්තේ එම දෙදෙනාගේ ආරවුල බේරීමට ගිය තරුණයකු වන අතර ඔවුන් සමඟ ගමන්ගත් අනෙක් පුද්ගලයා පලාගොස් ඇති බවද පැවසේ.

මේ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුද මහනෙළුබෑව 10 ඇල ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වේ.

හිදෝගම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක එන් . පී. කස්තුරිආරච්චි මහතාගේ මෙහෙයවීම මත සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා