වසර 30ක් යුද්ධයෙන් පීඩා විඳී උතුරු නැ‍ෙඟනහිර ජනතාව සැපවත් කිරිමට පියවර ගන්නවා

වසර 30ක් යුද්ධයෙන් පීඩා විඳී උතුරු නැ‍ෙඟනහිර ජනතාව සැපවත් කිරිමට පියවර ගන්නවා

ජනපති ජපාන නියෝජ්‍ය අගමැතිට කියයි

තිස් වසරක කුරිරු ත්‍රස්තවාදය හමුවේ මහත් පීඩාවකට පත්ව සිටි උතුරේ හා නැඟෙනහිර ජනතාවගේ සිත් සතන් යළි සකස් කර සංවර්ධනාත්මක ප්‍රවේශයකින් පුබුදුවාලන්නට අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක්ම ගනිමින් සිටින බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

මේ වනවිටත් උතුරු හා නැඟෙනහිර පළාත්වල වෙසෙන ජනතාව මුහුණ දුන් ගැටලු 60% කටත් වඩා වැඩි ප්‍රමාණයක් විසඳා ඇති බවත්, ඉතිරිය කඩිනමින් විසඳාලමින් එම ජනයා සුඛිත මුදිත කිරීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග රජය නිරතුරුවම ගන්නා බවත් ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර සිටියේ මෙරට සංචාරයක නිරතවන ජපානයේ නියෝජ්‍ය අගමැති කත්සුයා ඔකාඩා මහතා මහනුවර ජනාධිපති මන්දිරයේදී (04) හමුවූ අවස්ථාවේදීය.

එල්.ටී.ටී.ඊ ය විසින් බලෙන් බඳවා ගත් ළමා සොල්දාදුවන් 14,000 ක් පමණ වන පිරිසක් මේ වන විටත් පුනරුත්ථාපනය කරමින් යළි සිය දෙමාපියන් වෙත බාර දී ඇති බවත්, රටේ සෑම පළාතකම වෙසෙන ජනයා අතර අන්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය වන පරිද්දෙන් කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය දැන් සකස් කර ඇති බවත් ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

දෙරට අතර මිතුදමට 60 වසරක් සපිරෙන මේ මොහොතේ දී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් සිය ප්‍රශංසාව පළ කර සිටි ඔකාඩා මහතා, තම රටට බල පෑ සුනාමි ව්‍යසන අවස්ථාවේ දී ලක් රජය ලබා දුන්නා වූ සුවිසල් සහයෝගයට සිය ස්තුතිය මෙහිදී ජනාධිපතිතුමා වෙත පිරිනැමීය. තමා ඇතුළු දූත පිරිස ඉදිරි දින කිහිපයේ දී උතුරු - නැඟෙනහිර පළාත්වල සංචාරයක නිරතවීමට බලාපොරොත්තු වන අතර, එහිදී ලබා ගන්නා තොරතුරු ජපාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවේ ඉදිරි කටයුතු වෙනුවෙන් අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවත් ජපාන නියෝජ්‍ය අගමැතිවරයා කීය.

ඉදිරියේ දී ජපානයේ නිල සංචාරයක නිරත වන මෙන් ඔකාඩා මහතා ජනාධිපතිතුමාට ආරාධනාවක් ද කළේ ය. තමා මෙරටට පැමිණෙන්නට මත්තෙන් බංග්ලාදේශයේ ඩකා අගනුවර සිට මිහින් ලංකා ගුවන් යානයකින් මෙරටට සම්ප්‍රාප්ත වූ බවත්, ශ්‍රී ලංකන් ගුවන් සේවය ඔස්සේ තමා යළි සිය රට බලා පිටත්වන්නට කැමැත්තෙන් පසුවන බවත් ඔහු කීය.

මෙම අවස්ථාවට ජපාන විශේෂ දූත පිරිස සමඟින් මෙරට මැති ඇමැතිවරු පිරිසක් ද එක්ව සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා