උගත් පාඩම් කොමිසමේ නිර්දේශ සෑම පුරවැසියකුටම හිතකරයි

උගත් පාඩම් කොමිසමේ නිර්දේශ සෑම පුරවැසියකුටම හිතකරයි

- යුරෝපා පාර්ලිමේන්තු කණ්ඩායම

ශ්‍රී ලංකාවේ උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිළිබද ජනාධිපති කොමිසමේ යහපත් නිර්දේශ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තවදුරටත් පුළුල් කරන්නක් බව නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණි යුරෝපා පාර්ලිමේන්තු කණ්ඩායම අවධාරණය කරයි.

එම කොමිෂන් වාර්තාවේ ඇතුළත් නිර්දේශ ධනාත්මක ආකාරයෙන් ඉදිරිපත්කර තිබෙන අතර එය රටේ සෑම පුරවැසියකුටම හිතකර බව ද ශ්‍රී ලංකාවට පැමිණි යුරෝපා පාර්ලිමේන්තු කණ්ඩායමේ ප්‍රධානී ජීන් ලැම්බර්ට් මහත්මිය සදහන් කරයි.

ඒ මහත්මිය මේ අදහස් පල කළේ කොළඹදී ඉකුත් දා (04) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මෙහිදී ඇය පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ නැ‍ඟෙනහිර පළාතේ සංවර්ධන කටයුතු සියැසින් දැකගත් බවත් ප්‍රතිසංධාන කටයුතු ඉතා හොදින් ක්‍රියාත්මක වන බවත්ය.

නිල සංචාරයක් සදහා පසුගිය 29දා රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණි යුරෝපා පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායම ශ්‍රී ලංකා රජයේ මෙන්ම සෙසු දේශපාලන පක්ෂ නියෝජිතයන් සමග සාකච්ඡා කරන ලද අතර ඊට අමතරව නැ‍‍ඟෙනහිර පළාතේ මඩකළපුව හා ත්‍රීකුණාමළය දිස්ත්‍රික්කයන්හි යුරෝපා සංගමයේ ආධාර මත ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතීවල වත්මන් ප්‍රගතිය නිරීක්ෂණය කළහ.

නැ‍‍ඟෙනහිර පළාතේ සංවර්ධන කටයුතු නිරීක්ෂණය කරමින් පළාත් ආණුඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතා සහ දිස්ත්‍රික් ලේකම්වරුන් සමග සාකච්ඡා කළ යුරෝපා පාර්ලිමේන්තු කණ්ඩායම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවද නිරීක්ෂණය කළහ.

ඊට අමතරව කතානායක චමල් රාජපක්ෂ, ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ, විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල් පීරිස්, අධිකරණ ඇමැති රවුෆ් හකීම්, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් සමඟද ඔවුහු සාකච්ඡා කළහ.

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති බර්නාඩ් සැවේජ් මහතාද මේ අවස්ථාවට එක්විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා