සෑම අධ්‍යාපන කොට්ඨාසයකටම දිවි නැඟුම ආදර්ශ පාසලක්

සෑම අධ්‍යාපන කොට්ඨාසයකටම දිවි නැඟුම ආදර්ශ පාසලක්

සෑම අධ්‍යාපන කොට්ඨාසයකටම අයත් එක් පාසලක් බැගින් තෝරාගෙන ඒ සදහා කෘෂිකර්මාන්තයට අවශ්‍ය හරිතාගාර වැනි අංග ලබාදෙමින් දිවි නැඟුම ආදර්ශ පාසලක් වශයෙන් සංවර්ධනය කිරීමට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය තීරණය කරයි.

එලඹෙන වසරේ සිංහල අලුත් අවුරුදු නැකතට පාසල් සිසුන් මාර්ගයෙන් සිටුවිමට අවශ්‍ය පලතුරු පැල ලබාදීමට දිවි නැඟුම වැඩසටහන යටතේ අවශ්‍ය පියවර ගන්නා බවද මෙම වැඩසටහන් මඟින් දිවයිනපුරා විසිරි සිටින හතළිස් ලක්ෂයකට අධික පාසල් සිසු දරුවන්ගේ ආකල්පමය වෙනසක් ඇතිකර දිවි නැඟුම ජාතික වැඩපිළිවෙළ ප්‍රචලිත කිරිම කළහැකි බවද ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

මේ අතර පාසල් සිසු දරුවන් සඳහා දියර කිරි ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමටද රජය තීරණය කර ඇත. පාසල් සිසු දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් මෙය ක්‍රියාවට නංවන බවද ඒ සදහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දිමට තම අමාත්‍යංශය සුදානම් බවද ඇමැතිවරයා පවසයි.

ඇමැතිවරයා මේ බව සදහන් කළේ පාසල්වල දිවි නැඟුම වැඩසටහන ආරම්භ කිරීම සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ සාකච්ඡාවක් සදහා සහභාගි වෙමිනි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත දියර රට කිරිවලින් ස්වයංපෝෂිත කිරීම සඳහා ගෙනයන වැඩපිළිවෙළ යටතේ මෙය සිදුකළ හැකි බවද ඒ සදහා එම ප්‍රදේශයේම කිරි ගොවින්ගේ නිෂ්පාදන යොදා ගත යුතු බවද බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

කිරි මිලදි ගැනීමේ ඇතැම් සමාගම් මේ වනවිට සිය අරමුණු ඉටුකර ගැනීම සඳහා කිරි මිලදී ගැනීම අත්හිටුවා ඇති බව පැවසු ඇමැතිවරයා මෙවැනි ගැටලු වලින් දේශිය කිරි ගොවියා රැකගැනීම සදහා දියර කිරි පාරිභෝජනය ප්‍රචලිත කළ යුතු බවද පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් අඳහස් දක්වමින් ආර්ථික සංවර්ධන ඇමැතිවරයා සඳහන් කළේ දැනට රටපුරා සාර්ථකව ක්‍රියාත්මක වන දිවි නැඟුම වැඩසටහන දිවයින පුරා පාසල් සිසු දරුවන් අතර ප්‍රචලිත කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ විශේෂ වැඩසටහන් රැසක් ආරම්භ කිරිමට නියමිත බවයි. ඒ යටතේ සෑම පාසලකම ගෙවතු වගා ආරම්භ කිරිමට අවශ්‍ය සහාය ලබාදීමට ද අවශ්‍ය පාසල් සදහා කිරිගව පාලනය හා කුකුළු පාලනයට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගන්නා බවද හෙතෙම පැවසීය. රටපුරා සිටින දෙලක්ෂ දාහතර දහසක් වන පාසල් ගුරුවරුන් සදහා ගෙවතු වගා බීජ කට්ටල ලබාදිමට කටයුතු කරන බවද ඒ මහතා කීය.

ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් වන ආතාවුද සෙනෙවිරත්න, ඒ.එච්.එම් ෆවුස්, අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා