උගත් පාඩම් කොමිසමේ නිර්දේශ සෑම පුරවැසියකුටම හිතකරයි

මෙ.වො. 150 ක ධාරිතාවකින් යුත් ඉහළ කොත්මලේ බලාගාරය ජනපතිගේ නිරීක්ෂණයට

මෙ.වො. 150 ක ධාරිතාවකින් යුතු ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම්වල වර්තමාන ප්‍රගතිය පෙරේදා (05) පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට භාජනය විය.

ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම ජලාශයට පිච්ච මල් ඉසින අයුරු. නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණි ජපාන නියෝජ්‍ය අගමැති කත්සුයා ඔකාඩා සහ විදුලි බල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහත්වරුද මෙහි වෙති. ඡායාරූපය - සුදත් මලවීර

මෙම නිරීක්ෂණ චාරිකාවට ශ්‍රී ලංකාවේ දෙදින සංචාරයක නියුතු ජපාන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය කත්සුයා ඔකාඩා මහතා ද එක් විය.

නිරීක්ෂණය සඳහා පැමිණි ජනාධිපතිතුමා ඇතුළු පිරිස පිළිගන්නා ලද්දේ විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා විසිනි. ශ්‍රී ලංකා සහ ජපාන ජාතික කොඩි රැගත් කුඩා දරු දැරියෝ පිරිසක් ද අමුත්තන් පිළිගැනීම සඳහා එක් වූහ.

විවිධ බාධක මධ්‍යයේ ප්‍රමාද වූ ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතියේ ඉදිකිරීම් ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් 2006.03.03 වන දින ආරම්භ කළේය. පරිසරය පිළිබඳ විශේෂ අවධානය යොමු කර හානි අවම වන අන්දමින් ඉදිකිරීම් සිදු කෙරිණි.

මහවැලි ගඟේ ප්‍රධාන අතු ගංඟාවක් වන කොත්මලේ ඔය හරස් කොට මීටර් 180ක් දිග මිටර් 355ක් උස වේල්ලක් මේ සඳහා ඉදි කෙරුණු අතර එය විදුලිබල උත්පාදනය සඳහා මෙරට ඉදිවූ අවසාන වේල්ල ද වීම විශේෂත්වයකි. මෙතෙක් ශ්‍රී ලංකාවේ ඉදි කළ දිගම උමං මාර්ගයට ද මෙම ව්‍යාපෘතිය හිමිකම් කියයි. එම උමං මාර්ගය දිගින් කිලෝ මීටර් 12.9 කි. විෂ්කම්භය මීටර් 5.2 කි.

මේ වන විට ව්‍යාපෘතියේ සිවිල් වැඩවලින් 96%ක් අවසන් වී ඇත. යන්ත්‍ර සවි කිරීම් සහ විදුලි සම්පේ‍්‍ර්ෂණ මාර්ග ඉදිකිරීම් 100%ක් නිම කොට ඇති බව මෙම නිරීක්ෂණයේ දී අනාවරණය විය. මෙගාවොට් 75ක ධාරිතාවකින් යුතු විදුලි ජනක යන්ත්‍ර දෙකකින් සමන්විත බලාගාරයේ ප්‍රථම යන්ත්‍රයෙන් පරීක්ෂණ මට්ටමින් විදුලි ජනනය 2012 ජනවාරි මස ආරම්භ කෙරිණි. මාර්තු මස 18 වන දින සිට එහි ධාරිතාව ජාතික පද්්ධතියට එක් කළේ ය. දෙවන ජනන යන්ත්‍රයේ ධාරිතාව ලබන ජුනි මස පළමු සතිය වන විට ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට සැලසුම් කර තිබේ.

ව්‍යාපෘතියේ සිහිවටන ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා ජලාශය වෙත පිච්ච මල් ඉසීය. අනතුරුව දෙවන හා තුන්වන වාන් දොරටු විවෘත කර ජලය මුදා හැරීම ද ජනාධිපතිතුමා සහ ජපාන නියෝජ්‍ය අගමැතිවරයා අතින් සිදු ‍ෙකරිණි. ව්‍යාපෘතියට අදාළ වාර්තාමය වැඩසටහනක් ද එහිදී නිරීක්ෂණයට එක් වූ පිරිස වෙත ප්‍රදර්ශනය කෙරිණි.

ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා ජපන් රජයේ විදේශ සංවර්ධන සහන යටතේ ජපන් සහයෝගිතා බැංකුව මගින් ජපාන යෙන් මිලියන 37817ක් සහනදායි ණය යටතේ ලබා දී ඇත. ලංකා විදුලි බල මණ්ඩලය මගින් රුපියල් මිලියන 8548ක මුදලක් වැය කර තිබේ. ව්‍යාපෘතිය නිසා නිවාස අහිමි වූ පවුල් 495ක් සඳහා අංග සම්පූර්ණ නව නිවාස ලබා දුන් අතර විදුලිය, පානීය ජලය ඇතුළු සියලු යටිතල පහසුකම් ද ඔවුන්ට ලබා දී ඇත.

මෙම අවස්ථාවට ඇමැතිවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, මහින්දානන්ද අලුත්ගමගේ, විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති නොබුහිතෝ හොබෝ, ජපානයේ ශ්‍රී ලංකා තානාපති වසන්ත කරන්නාගොඩ, විදුලි බල මණ්ඩල සභාපති මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම යන මහත්වරු ද ව්‍යාපෘති අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීහු ද එක් වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා