බඩ ඉරිඟු අපනයනය අප ලැබූ විශාලම ජයග්‍රහණයක්

බඩ ඉරිඟු අපනයනය අප ලැබූ විශාලම ජයග්‍රහණයක්

මහින්ද යාපා අබේවර්ධන

කෘෂිකර්ම ඇමැති

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නඟා සිටුවීම සඳහා රජය වැඩපිළිවෙළ රාශියක් ක්‍රියාත්මක කරයි. පොහොර සහනාධාරය ඇතුළු ණය පහසුකම් ලබා දීමෙන් ගොවියෝ දිරිමත් කෙරෙති. අපි වවමු රට නඟමු, දිවි නැඟුම වැනි වැඩ පිළිවෙළ හරහා ගොවියාට අවශ්‍ය සියලු පහසුකම් ලබා දේ. රජය ලබා දෙන මේ දිරි ගැන්වීම් නිසාම කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ විශාල පිබිදීමක් දක්නට ලැබේ. මේ කරුණු පිළිබඳ කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ

* සෑම ගෙවත්තක්ම වෙළෙඳ පොළක් කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක කළ වැඩසටහන්වල කැපී පෙනෙන ප්‍රගතියක් තිබෙනවා. මේ ප්‍රගතිය ලබා ගැනීමට දියත් කළ වැඩසටහන් ගැන යමක් කිව හැකිද?

ජනතාව තුළ කෘෂිකර්මාන්තය පිළිබඳ නව ආකල්පයක් ගොඩ නැගීමත්, කෘෂිකර්මාන්තයට නව පණක් ලබා දීමත් අරමුණුකොට ගෙන “අපි වවමු රට නගමු” වගා සංග්‍රාමය අපි ආරම්භ කළා. රජය සිතුවාටත් වඩා සාර්ථක අන්දමින් මෙය ක්‍රියාත්මක වුණා. පිටරටවල් වලින් පවා මේ වැඩසටහනට ප්‍රසාදය පළ වුණා. බැරක් ඔබාමා ද මෙය අගය කරමින් ‘ධවල මන්දිරයේ’ භෝග වගාවක් ආරම්භ කළ අයුරු මාධ්‍යවලින් අපි දුටුවා.

මේ වැඩසටහන නිසා මේ රටේ හැම පුරවැසියකුම වගා කිරීමට පෙළඹුණු බව අප අවිවාදයෙන් යුතුව පිළිගත යුතුයි. පක්ෂ පාට බේද නොතකා තම ගෙවත්තේ සුළු වගාවක් හෝ ආරම්භ කිරීමට ජනතාව පෙළඹුණේ මහින්ද චින්තනයේ සඳහන් කළ අපි වවමු රට නගමු වැඩ පිළිවෙළේ සාර්ථකත්වය නිසයි.

ඉන්පසු ආරම්භ කළ ‘දිවි නැඟුම’ යටතේ ගෙවතු මිලියනයක් වගා කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළා. ඒ සඳහා අවශ්‍ය පැළ, පොහොර මෙන්ම තාක්ෂණික උපදෙස් පවා රජය ලබා දුන්නා. අපි වසර 30 ක් පුරා වගා කළේ නැති උතුරු නැඟෙනහිර පළාත්වලත් දැන් වගා කරනවා. මේ වැඩසටහන් නිසා කෘෂිකර්මාන්තය තුළ විශාල පිබිදීමක් ඇති වුණා වගේම සෑම ගෙවත්තක් ම වෙළෙඳපොළක් බවට පත් වුණා.

* මේ වැඩසටහන්වලට අමතරව පොහොර සහනාධාරය ලබා දීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වුණා. ඒ සඳහා රජය විශාල පිරිවැයක් චරුවා. එමගින් අපේක්ෂිත ඉල්ක්ක ජය ගත හැකි වුණාද?

ඇත්ත වශයෙන්ම ඔව්. පොහොර සහනාධාරය සඳහා රජය වසරකට රුපියල් මිලියන 5000ක් වැය කරනවා. අද පොහොර මිල ඉතාම ඉහළයි. අද මිලට ගොවිතැන් කරන්න ගොවීන්ට අසීරුයි. මේ නිසා රජය පොහොර මිටියක් රුපියල් 350කට ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළා. පොහොර සහනාධාරය හේතුවෙන් අපේ වී අස්වැන්න සියයට 110 කින් වැඩි වුණා.

ඉන් පෙර වී අස්වැන්න සියයට 60ක් පමණයි ලැබුණේ. අද අපට මෙට්‍රික් ටොන් ලක්ෂ 50කට ආසන්න අස්වැන්නක් ලැබෙනවා. සියයට 20 ක් ව පැවැති බඩඉරිඟු නිෂ්පාදනය 2011 වන විට සියයට 85 කින් වැඩි වුනණ් පොහොර සහනාධාරය නිසයි. අද වනවිට රට සහලින් මෙන්ම බඩඉරිඟු නිෂ්පාදනයෙන්ද ස්වයංපෝෂිතයි. පොහොර සහනාධාරය ලබාදීම නිසා අද වනවිට පිටරටින් ආහාර ද්‍රව්‍ය ගෙන ඒම නවතා දැමීමට හැකියාව ලැබී තිබෙනවා.

* ඉතිහාසයේ ප්‍රථමවරට බඩ ඉරිඟු පිටරට යැවීමට රජය පසුගියදා පියවර ගත්තා. අද වනවිට එහි සාර්ථකත්වය කෙසේද?

ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක කෙරෙනවා. අපි මෙට්‍රික් ටොන් 10,000ක් පළමුව අපනයනය කළා. තායිවානය හා කැනඩාවට තමයි මුලින්ම අපනයනය කළේ. දැනට දේශීය ආහාර භෝග නිෂ්පාදන ක්‍රියාවලියේදී බඩ ඉරිඟු දෙවැනි වී ඇත්තේ වී වගාවට පමණයි.

* බඩ ඉරිඟු වගාව වඩාත් ප්‍රචලිත වුණේ “අපි වවමු රට නගමු” වැඩසටහන යටතේ නේද?

ඔව්. ඒ වැඩපිළිවෙළ යටතේ දිවයිනේ සෑම ප්‍රදේශයකම බඩ ඉරිඟු වගාව ශීඝ්‍රයෙන් ප්‍රචලිත වුණා. ගොවි ජනතාවගේ උනන්දුව මත බඩ ඉරිඟු වගාවෙන් ඔවුන්ට හොඳ ආදායම් මාර්ගයක් හිමි වුණා. ශ්‍රී ලංකාවේ බඩ ඉරිඟු වගාව රජයේ දේශීය ආහාර භෝග ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ ප්‍රධාන ආහාර භෝග 10 අතර මෑත කාලයේ වඩාත් ජනප්‍රිය වුණා. බඩ ඉරිඟු වගාව ප්‍රචලිත වී ඇත්තේ සත්ත්ව ආහාර නිෂ්පාදකයන් අතරයි. මෙහි විශිෂ්ටතම ප්‍රතිඵලය බවට පත් වුණේ ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට බඩ ඉරිඟු අපනයනය කිරීමයි.

* සහල් අතිරික්තයක් අද වන විට රජය පවත්වාගෙන යනවා. සහල් පිටරට යැවීමේ අදහසක් නැතිද?

සහල් පිටරට යැවීමේ කාර්යය වෙළෙඳාමක් නිසා රජය ඊට හවුල් වන්නේ නැහැ. අපේ වී ගොවිතැනෙන් සියයට 40ක් රතු සහල් ලෙසයි ගැනෙන්නේ. රතු සහල්වලට පිටරටින් ඉල්ලුමක් නැහැ. නමුත් විවිධ ලෙඩ රෝග පිටුදැකීමේ ඖෂධීය ගුණයෙන් යුතු සහල් වර්ග අපේ රටේ තිබෙනවා. එවැනි සහල් පිටරට යැවීමේ වැඩපිළිවෙළක් පෞද්ගලික අංශය හා ඒකාබද්ධව ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පෞද්ගලික ආයතන 150ක් සමඟ සාකච්ඡා කර තිබෙනවා. රජය සහල් අතිරික්තයක් පවත්වාගෙන යන්නේ අත්‍යවශ්‍ය අවස්ථාවන් හී ප්‍රයෝජනයට ගන්නයි.

* මෙරට වගා කරන සම්ප්‍රදායික ආහාර වර්ග වලට පිටරටින් විශාල ඉල්ලුමක් පවතින බව ඔබ සඳහන් කළා. ඒ පිළිබඳ වැඩි යමක් කීවොත්?

මෙරට වගා කරන සම්ප්‍රදායික සහල් වර්ග ගණනාවක් තිබෙනවා. ඒවා ඖෂධීය ගුණයෙන් අනූනයි. විශේෂයෙන් දියවැඩියාව අධිරුධිර පීඩනය ආදී ලෙඩ රෝග සුව කිරීමේ ගුණයක් මේ සහල් වර්ගවල තිබෙනවා. පිටරටවලින් මේ සහල් වර්ගවලට වැඩි ඉල්ලුමක් ලැබෙන්න තවත් හේතුවක් තිබෙනවා. එනම් කෘෂි රසායනික ද්‍රව්‍ය යෙදීම අවම රට ශ්‍රී ලංකාව බවට තහවුරු වී තිබීමයි. මේ නිසා පිටරටවල ජනතාව විශ්වාස කරනවා මේ සහල් වර්ගවල වස විස අඩුයි වගේම ලෙඩ රෝග සුව කිරීමේ බලයක් තිබෙන බව

* කෘෂිකර්මාන්තයේ දියුණුවට ක්‍රියාත්මක වන වෙනත් වැඩසටහන් හා ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් ගැන යමක් කීවොත්?

රුපියල් 12කට සීමා වූ වී කිලෝවකට රුපියල් 30ක ස්ථාවර මිලක් ලබා දුන්නේ අපේ රජයයි. අද වී විකුණා ගත නොහැකිව ගොවීන් දිවි නසා ගන්නේ නැහැ.  ඉදිරියේදී ගොවීන්ට බීජ වෙනුවට පැළ ලබා දෙන්න කටයුතු කරනවා. පොලිතින් බෑගයක පැළ 10 - 15ක් එකවර දෙනවා. අපි මේ සියලු දේ කරන්නේ පලදාව වැඩිකර ගැනීමටයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා