ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය විචිත්‍රවත් උලෙළකින් අද ඇරඹෙයි

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය විචිත්‍රවත් උලෙළකින් අද ඇරඹෙයි

ඉතිහාසයේ වැඩිම රටවල් ගණනක සහභාගීත්වයෙන් පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී විචිත්‍රවත් සමාරම්භක උළෙලකින් අද පස්වරු 4.00 ට ආරම්භ වෙයි. ආසියානු කෙළිබිමේ යොවුන් ක්‍රීඩා තරු රැසකගේ සහභාගීත්වයෙන් ඇරඹෙන මේ ක්‍රීඩා උළෙලට රටවල් 34කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 650ක් පමණ එක්වෙති.

අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වන මේ දැවැන්ත මලල ක්‍රීඩා සැණකෙළිය මේ 12දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සමාප්ත වේ. පාසල් දරු දැරියන් 600කගේ අලංකාර සංදර්ශනයකින් හැඩ ගැන්වෙන සමාරම්භක උළෙල ඔලිම්පික් පහන දැල්වීමෙන් ආරම්භ කෙරේ.

ඒ සඳහා දික්වැල්ල විජිත මධ්‍ය මහා විදුහලේ චලක ප්‍රියන්ත වීරසිංහ හා ගලෙන්බිඳුණුවැව මධ්‍ය මහා විදුහලේ නිමේෂා සිරිවර්ධන නම් කොට ඇත. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ නායක කෑගල්ල සාන්ත ජෝෂප් බාලිකා විදුහලේ ශිවන්ති රත්නායක ශ්‍රී ලංකා ධජය අතැතිව ගමන් ගැනීමට නියමිතය.

මේ දැවැන්ත ක්‍රීඩා උළෙල වෙනුවෙන් රුපියල් මිලියන 65ක් වැය කොට ඇති අතර ඒ සඳහා රජයෙන් සියයට පනහක් වහා පෞද්ගලික අංශයෙන් සියයට පනහක් වැය වනු ඇතැයි ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී රන්, රිදී හා ලෝකඩ පදක්කම් දිනා ගන්නා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදලින් තෑගි පිරිනැමීමට තීරණය වී ඇත.

සහය දිවීමේ කණ්ඩායම රන් පදක්කමක් දිනා ගතහොත් රුපියල් ලක්ෂ 6 ක් ප්‍රදානය කිරීමට තීරණය වී ඇත. අනෙක් ඉසව් වලින් රන් පදක්කම් දිනා ගන්නා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රුපියල් ලක්ෂ 5 ක්, රිදී පදක්කමකට රුපියල් ලක්ෂ 3 ක් හා ලෝකඩ පදක්කමකට රුපියල් ලක්ෂ එකහමාරක් ලබාදීමට කටයුතු යොදා තිබේ.

මේ ක්‍රීඩා උළෙලේ සෑම ඉසව්වකම ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා කුසලතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනම සංචිත ගතකොට විදෙස් පුහුණුකරුවන් යටතේ ජාත්‍යන්තර තලයට ගන්නා බවද ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා