එළවළු ටිකක් වවන්න එච්චර අමාරු නෑ

එළවළු ටිකක් වවන්න එච්චර අමාරු නෑ

“ඉසුරුමත් නිවහනක් – අසිරිමත් මවුබිමක්” ශීර්ෂ පාඨය කරගනිමින් “දිවි නැඟුම” ජාතික සංවර්ධන වැඩසටහන තුළින් පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි “ගෙවතු සංවර්ධන” වැඩසටහන් ක්‍රියාත්මක විය.

ඒ තුළින් ගෙවතු විසි ලක්‍ෂයකට අධික ප්‍රමාණයක් සංවර්ධනය වූ අතර එහි පෙර ගමන්කරුවා වූයේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් ය.

කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ මඟ පෙන්වීම හා මැදිහත් වීම මත දිවි නැඟුමෙන් ගෙවතු සංවර්ධනය කරන්නන් ගෙවත්තෙන් - ගෙවත්ත චාරිකාවේ දී මුලින්ම අප හමුවූයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ගොවිජන සේවා මධ්‍යස්ථාන බල ප්‍රදේශයේ “ඉඹුලාන” ගමේ වී. එස්. මල්කාන්ති මහත්මියගේ ගෙවත්ත යි. මෙම ගෙවත්ත සැකසීමට මඟ පෙන්වා දී ඇත්තේ ඉඹුලාන කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරී එම්. පී. මහානාම මහතා යි.

සරුසාර ගෙවත්ත පිළිබඳ අපත් සමඟ කතා කළ ගෙවත්තේ හිමිකාරිය වී. එස්. මල්කාන්ති, “අපේ ඉඩම ඉතාම පුංචි ඉඩමක්. ගේ ඇරුණම අපට තියෙන්නේ පර්චස් 5ක් 6ක් විතර ඉඩ ප්‍රමාණයක්. ඉතිං මේ පුංචි ඉඩෙන් ප්‍රයෝජනයක් ගැනීම වගේම ලස්සනට තියාගන්නත් ඕනෑ.

ඒ සඳහා අපට උදව් වුණේ රුවන්වැල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර එම්. පී. මහානාම මහතා. එතුමා “දිවි නැඟුම” ජාතික වැඩසටහන හරහා අපේ ගෙවත්ත මේ තත්ත්වයට ගේන්න අවශ්‍ය මඟ පෙන්වීම සමඟම තාක්‍ෂණික දැනුම නොමසුරුව ලබා දුන්නා.

මහනාම මහත්තයගේ උපදෙස්වලට අනුව මම මේ ගෙවත්ත නිර්මාණය කර ගත්තා. අපට අද හොඳ සතුටක් මේ ගෙවත්ත දිහා බලා ඉන්න කොට. උදේම ගෙදර දොර ජනෙල් අරින කොටම දකින්නේ සරු සාරවූ ඵල බර වූ එළවළු පලතුරු ගස්.

ඇත්තටම ඒක අපිට සතුටක්. අපි පොළට ගිහින් වියදම් කරපු සල්ලි අද අපට ඉතිරිවෙලා, ඒක අපේ ආර්ථිකයට අද හොඳ හයියක් වෙලා. මම නිකරු‍ෙණ් ගත කරපු කාලය අද මේ ගෙවත්තට යොදවනවා. ඒකෙන් මම සතුටක් වගේම දැනුමක් ලබනවා සහ අත්දැකීමක් ලබනවා.

ඒවා අපේ ජීවිතවලට හුඟාක් වටිනවා. ගෙදර කුස්සියෙන් ඉවත දමන කසළ සියල්ල අද ගෙවත්තට අවශ්‍ය පොහොර හදන්න, එහෙම නැත්නම් තවාන් බඳුන් හැටියට පාවිච්චි කරන්න පුළුවන් වෙලා තියෙනවා. ‍ෙගවතු වගාවට අමතරව එළවළු පැළ තවානක් තුළින් අමතර ආදායමක් ලබන්නටත් පුළුවන් වෙලා තියෙනවා. අපට අවශ්‍ය එළවළු පැළ අලෙවි කිරීම ද ඉතා සාර්ථකව කරනවා.

පොහොර වශයෙන් පාවිච්චි කරන්නේ කොළ පොහොර වැනි දේ. තෙල් පෝර බෙහෙත් නැතුව පිරිසිදු එළවළු, පලතුරු කොළ වර්ග අද අපේ ආහාරයට ගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ ක්‍රමයට සාර්ථක ගෙවතු වගාවක් ඕනෑම කාන්තාවකට කරන්නට පුළුවන් කියල මම හිතනවා. අනුන්ගෙන් යමක් ලැබෙනකන් ඉන්නවට වඩා තමන් යමක් හදාගන්න එක කොච්චර ආඩම්බර කමක් ද?

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා