කොළඹ කිරි තවත් නගර විස්සකට

කොළඹ කිරි තවත් නගර විස්සකට

චීනයේ බෙයිජිං නුවර ද, ෂැන්හායි නුවර ද සංචාරයක නිරත වීමේ ඉඩ ප්‍රස්ථාව අපට ලැබිණි. ඒ 2009 වසරේ මැයි මස මුල දී ය. එම නගරවල අසිරියෙන් අපි වශීකෘත වී සිටියෙමු. එහි පිළිවෙළ, සුන්දරත්වය හා වේගවත් බව කිසිවකුට අදහාගත නො හැකි තරම්ය.

ලෝකයේ ආර්ථික ශක්තිය අතින් පළමුවැන්නා අමෙරිකාව යි. දෙවන්නා ජපානය යි. ඒ අප දැන සිටි පරණ කතාව ය. එහෙත් දැන් එය වෙනස් වී ඇත. ලෝක ආර්ථිකයේ තුන්වන ස්ථානය හිමි කරගෙන සිටි චීනය පියවරක් ඉදිරියට තබා දෙවන තැනට පත් ව සිටී. ආර්ථික විශේෂඥයන් ගේ මතයට අනුව තව වැඩි කල් නො යාම චීනය අමෙරිකාව ද පරයා ආර්ථික ශක්තිය අතින් පළමු තැනට පත් වනු ඇත.

චීනයේ වේගවත් ආර්ථික සංවර්ධනයේ එක් රහසක් වන්නේ නාගරික සංවර්ධනය යි. නාගරික සංවර්ධනය මිනිසා ගේ ශිෂ්ටාචාරය සමඟ එකට බැඳී පවතී. මෙසපොතේමියාව, මිසරය, ඉංකා, මායා, ඉන්දු – ලංකා යන ශිෂ්ටාචාරවල ද නගර සංවර්ධනය පැවැතිණි. බැබිලෝනියාවේ එල්ලෙන උයන ද එම සංවර්ධනයේ එක්තරා පැතිකඩකි. රටක් – ජාතියක් දියුණුවීමට නම්; නාගරික ප්‍රදේශ ද වේගයෙන් සංවර්ධනය විය යුතුය. චීන සංචාරයේ දී අප සිත තුළ පැළපදියම් වූ එක්තරා ප්‍රශ්නයක් වූයේ බෙයිජිං නුවර සේ කොළඹ සංවර්ධනය කළ හැකි ද යන්නය.

ශ්‍රී ලංකාවේ නගර පිළිබඳ ඓතිහාසික සටහන් රාශියක් තිබේ. අනුරාධපුරය විධිමත් නගරයක් ලෙස පැවැතියේ මීට සියවස් ගණනකට පෙර ය. එහි නෂ්ටාවශිෂ්ට අඩි ගණනක් යට තැන්පත් වී තිබෙන බව පුරා විද්‍යාඥයෝ කියති. ඊ. එෆ්. සී. ලුඩොවයික් ගාලු පුරවරය මුල් කොට කෘතියක් සම්පාදනය කර තිබේ. ඊට අනුව ගාල්ල යනු ලෝකයේ සුන්දර නගරයක් ලෙස පැවැති ස්ථානයෙකි. ඊළඟට බ්‍රෝහියර් කොළඹ නගරය ගැන ලියා තිබේ. ඔහු ගේ වචන වලට අනුව කොළඹ යනු අවුරුද්දේ වැඩි ම කාලයක් හිරු රැසින් බබළන මුහුද අද්දර පිහිටි රමණීය ස්ථානයක් ලෙස වර්ණිත ය. එහෙත් පසු කලෙක එය ජරාජීර්ණ විය.

2009 වන විටත් අපට දකින්නට ලැබුණේ මුඩුක්කුවලින් පිරි කුණු කන්දල් සහිත අබලන් නගරයෙකි. වර්ෂා කාලයට මුළු කොළඹ නගරය ම මඩවලින් පිරී යයි. ඒ හැරෙන්නට නගරයේ තැන – තැන ගොඩ ගසා තිබූ කුණු කඳුවලින් හමන දුගඳ නගරය පුරා පැතිර යයි’ මං මාවත්වල විශාල වළවල්ය. නගරයේ හදවත බඳු කොටුව - පිටකොටුව වැනි ප්‍රදේ්ශවල පදික වේදිකා අවහිර කරමින් වෙළෙඳ කුටි ඉදි වී තිබිණි. සියල්ල අපිළිවෙළ ය. ආරක්ෂාවක් ඇත්තේ ම නැත. ඒ අතර කොළඹ නගරය තුළ සිදු වන අපරාධ දිනෙන් – දින ම ඉහළ ගියේය.

එහෙත් වැඩි කල් නො යාම අපට අදහාගත නො හැකි වෙනසක් සිදු විණි. එය ආරම්භ වූයේ නිහඬව ය. සෙමෙන් ය. එහෙත් පසු ව කොළඹ ශීඝ්‍රයෙන් වෙනස් විය. කුණු කඳු හිටි හැටියේ අතුරුදන් විය. මාර්ග වෙනස් විය. මුඩුක්කු හා පැල්පත් වෙනුවට තට්ටු නිවාස සංකීර්ණ ඉදි විය. අවිධිමත් ඉදිකිරීම් හා තාවකාලික කූඩාරම් ඉවත් කැරිණි. ආරක්ෂක බංකර, බැරියර් ගැලැවී ගිය අතර නගරයේ ඉපැරැණි ගොඩනැගිලි මාලිගා සේ දිස් වන්නට විය. ත්‍රස්තවාදය නිමා කිරීම විප්ලවයක් නම්; කොළඹ නැවත ප්‍රතිසංවිධානය කිරීම ප්‍රති විප්ලවයකි. මේ ප්‍රති විප්ලවය පසු පසින් සිටින ශක්තිමත් මිනිසා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාය.

ආරක්ෂක ලේකම්වරයා නාගරික සංවර්ධන අමාත්‍යාංශය ද කැටුව තවත් නගර විස්සක් සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ. එම නගර වන්නේ අනුරාධපුරය, යාපනය, දියතලාව, ඉමදූව, ඌරුබොක්ක, මහනුවර, නුවරඑළිය, නාරම්මල, හෙට්ටිපොළ, පඬුවස්නුවර, මාතර, දන්කොටුව, බණ්ඩාරවෙල, වීරකැටිය, රඹුක්කන, මීගහකිවුල, බුලත්සිංහල, ඇහැළියගොඩ, නාරම්මල, හා හෝමාගම ය. මේ නගර එක් අතකින් සංචාරක ව්‍යාපාරයට වැදගත් ය. තව අතෙකින් ආර්ථික ක්‍රියාවලියට වැදගත්ය. තවත් අතෙකින් අධ්‍යාපනය හා වෙනත් මානව ක්‍රියාකාරකම් වලට වැදගත්ය.

යුද ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ශීඝ්‍රයෙන් දියුණු විය. ගිය වසර අවසන් වන විට සංචාරකයන් දස ලක්ෂයක් මෙරටට ගෙන්වා ගැනීමට අපි සමත් වී සිටිමු. ඒ ගිය වසර සඳහා පමණි. මේ වනා හී සැලැකිය යුතු ආදායමෙකි. මතක තබා ගත යුතු කාරණය වන්නේ 2009 මැයි මාසයට පෙර ඇතැම් බටහිර රටවල් ශශ්‍රී ලංකාවට සංචාරක තහනමක් පනවා තිබූ බව ය. එනම්; එම රටවල සංචාරකයනට ශ්‍රී ලංකාව තහනම් කලාපයක් කර තිබීම ය. ත්‍රස්තවාදය පරාජය කිරීමත් සමඟ සියල්ල සාධනීය ලෙස වෙනස් විය. අපේ සංචාරක කර්මාන්තය ද දියුණු විය.

නාගරික සංවර්ධනය යනු සංචාරක ව්‍යාපාරයත් සමඟ අත්‍යන්තයෙන් ම සම්බන්ධ වන විෂය ක්ෂේත්‍රයෙකි. ටෝකියෝව, පැරීසිය, වැනීසිය, ලන්ඩනය, ටෙහෙරානය, ජකර්තා, බෙයිජිං, නිව්යෝර්ක්, ඇමස්ටර්ඩෑම්, නයිරෝබි වැනි ලෝක නගර දෙස බලන විට එම තත්ත්වය හොඳින් පැහැදිලි වනු ඇත. නාගරික සංවර්ධනයකින් තොරව ලෝකය හා සබඳතා පැවැත්වීම දුෂ්කර ය. සංචාරකයන්, ආයෝජකයන් ගෙන්වා ගැනීමට පමණක් නො ව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වා ගැනීමට ද වෙළෙඳාම දියුණු කර ගැනීමට ද පහසුකම් වලින් යුතු විශාල නගර අවශ්‍ය වේ.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව එය වටහා ගෙන තිබීම වාසනාවෙකි. සීගිරිය ලෝක උරුමයකි. එය නැරඹීමට එන විදේශීය සංචාරකයා ශ්‍රී ලංකාව ගැන විස්මයට පත් වනු ඇත. එහෙත් සීගිරිය ආසන්නයෙහි විධිමත් නගරයක් ස්ථාපිත වී නැත. හෝටල් දෙක – තුනක් තිබූ පමණින් එය නගරයක් වන්නේ නැත. නගරයක් යනු නූතන පහසුකම් සහිත එමෙන්ම මානුෂික සබඳතා විශාල වශයෙන් ගොඩ නැඟෙන විධිමත් හා සුන්දර ස්්ථානයෙකි. එබඳු ස්ථාන රට පුරා ඉදිවිය යුතු ය. ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත් කළ හැක්කේ ඒ මාර්ගයෙන්ය.

මේ නාගරික සංවර්ධන වැඩ සටහනේ කැපී පෙනෙන ලක්ෂණ කිහිපයක් තිබේ. එනම්; ආරක්ෂාව, විධිමත් භාවය, සෞන්දර්යය හා සම්බන්ධීකරණය යි. අනෙක් අතට මේ සංවර්ධන වැඩසටහන් රජයට ඒ හැටි බරක් නොදී අවසන් ඉලක්කය කරා වේගයෙන් ඇදී යයි. එය ද අමුත්තකි. නගර සංවර්ධනයේ පුරෝගිමියා වන ආරක්ෂක ලේකම්වරයා ගැන සිතන විට අපට සිහිපත් වනුයේ නිකොලායි ගොගොල්ය. ඔහු මෙසේ ලියා තිබේ; “මගේ හදවත උදාර හැඟීම්වලින් පිරී තිබෙන බව විශ්වාස කරන්න, මම මගේ ජීවිතය මව් බිමේ ද මිනිස් සංහතියේ ද සෞභාග්‍ය ය උදෙසා කැප කරමි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා