කුණු අල-කුණු කරවල තොග පිටින් අසුවෙයි

කුණු අල-කුණු කරවල තොග පිටින් අසුවෙයි

ඇමැති ජොන්ස්ටන්ගේ උපදෙසින් රට පුරා වැටලීම්

  • දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කුණු අල කිලෝ 25,000ක්

  • හතරවන හරස් වීදියෙන් කුණු කරවල කිලෝ 2000ක්

  • හැටන් වෙළෙඳ පොළෙන් කුණු අල කිලෝ 500ක්

පරිභෝජනයට නුසුදුසු අර්තාපල්, කරවල ඇතුළු තවත් පාරිභෝගික භාණ්ඩ රැසක් හදිසි වැටලීම් මගින් අත්අඩංගුවට ගෙන තිබේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අලෙවිය සඳහා සූදානම් කර තිබූ කුණු අල කිලෝ විසිපන් දහසක් (25,000) පාරිභෝගික සේවා නිලධාරීන්ගේ හා පොලිස් නිලධාරීන්ගේ ඒකාබද්ධ වැටලීමක දී ඊයේ අත්අඩංගුවට ගැනිණි. මෙකී අල තොගය හොඳට ම නරක් වී තිබූ බවත් ඇතැම් අල තොගවල පණුවන් පවා සිටි බවත් වැටලීමට සම්බන්ධ නිලධාරීහු පෙන්වා දෙති.

මේ අයුරින් ම හැටන් නගරයේ වෙළෙඳසල් වෙතින් කුණු අල කිලෝ පන්සියයක් (500) සොයාගෙන තිබේ. කොළඹ හතරවන හරස් වීදියේ තොග කඩ වෙතින් නරක් වූ කරවල කිලෝ දෙදහසක් ද (2000) අත්අඩංගුවට ගෙන තිබේ.

සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා උත්සව සමයේ පාරිභෝගිකයන් කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල උච්ඡාවචනය හා ප්‍රමිතිය කෙරෙහි නිරීක්ෂණ මෙහෙයුමක යෙදී සිටී. ඒ අනුව රට පුරා වැටලීම් සිදු කෙරේ.

දඹුල්ලේ දී අත්අඩංගුවට ගත් අල කිලෝ 25,000 ආනයනය කර ඇත්තේ පාකිස්තානයෙන් බව වාර්තා වී ඇත. එය වරායෙන් හොර පාරේ ගොස් සිදු කෙරෙන ව්‍යාපාරයක් බවද දැනගන්නට තිබේ.

දඹුල්ල අල තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 18 පමණ වන බවත් මේවා ඇණවුම් කර ඇත්තේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසලක් කුලියට පවත්වාගෙන යන වෙළෙන්දෙක් බවද පොලිසිය කියයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දැඩි දුර්ගන්ධයක් පැවතීමත් සමඟ ව්‍යාපාරිකයන් ඒ බව පාරිභෝගික සේවා අධිකාරියට දැනුම්දීමත් සමඟ මේ අල තොගය සොයාගෙන තිබේ.

මේ අල තොගය වරාය අධිකාරියෙන් පිටකෙළේ කෙසේදැයි සොයා බැලිය යුතු බවත් මෙහි වගකීම වරාය අධිකාරියද භාරගත යුතු බවත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති යූ. බී. ඒකනායක මහතා කීය.

මාතලේ පාරිභෝගික සේවා අධිකාරිය හා පොලිසිය එක්ව පරීක්ෂණ පවත්වයි.

මේ පිළිබඳ අදහස් දැක්වූ වෙළෙඳ ඇමැතිවරයා, සාධාරණ වූ වෙළෙඳ ප්‍රජාවක් අවශ්‍ය මෙන්ම පාරිභෝගිකයාට ප්‍රමිතියෙන් යුත් භාණ්ඩ ලබාදීම අපේ අරමුණයි. අපේ අමාත්‍යාංශය පාරිභෝගික ව්‍යාපාරික සහ නිෂ්පාදකයා සමඟ ගැටෙනවා. ඔවුන් තිදෙනාම ආරක්ෂා කර ගත යුතුයි. පාරිභෝගික අධිකාරිය හරහා අඛණ්ඩ වැටලීම් සිදු කරනවා.

ගෙවන මිලට සාධාරණයක් විය යුතුයි. ව්‍යාපාරිකයන්ට කියන්නේ මෙවැනි වංචනික ක්‍රියාවලින් පාරිභෝගිකයා නොරවටා කටයුතු කරන ලෙසයි. එවැනි වැරදි කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න මා උපදෙස් දී තිබෙනවා. අපි හැමදාමත් ජනතාවගේ පැත්තෙන් සිට ඔවුන්ට සේවයක් කරනවා. රජයේ අරමුණ එය බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

අර්තාපල්වලට අමතරව පිටකොටුවේ 4 වන හරස් වීදියේ සිදු කළ තවත් වැටලීමකදී රුපියල් ලක්ෂ 10ක් වටිනා කුණු කරවල කිලෝ දෙදහසක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර නරක්වූ ආනයනික අර්තාපල් අල කිලෝග්‍රෑම් 500ක් හැටන් නගර මධ්‍යයේ වූ ජල කරාමයක් අසල සිටි පුද්ගලයින් දෙදෙනකු පිරිසුදු කරමින් සිටියදී ගිනිගත්හේන ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී එම අර්තාපල් තොගය අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

නරක් වූ අර්තාපල් ජලය යොදා පවිත්‍ර කරමින් සිටි පුද්ගලයින් දෙදෙනා පළාගොස් ඇත.

අලුත් අවුරුදු උදාවත් සමඟ නගරයට භාණ්ඩ මිලදී ගැනීමට පැමිණෙන ජනතාව ඉලක්ක කැර මේ ආර්තාපල් අලෙවි කිරීමට සූදානම් කරමින් සිට ඇති බව වැටලීම කළ නිලධාරීහු පවසති. අත්අඩංගුවට ගත් නරක් වූ අර්තාපල් තොගය මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් භූමිතෙල් දමා විනාශ කර ඇත. නගරයේ තොග වෙළෙඳසල් හිමිකරුවකු මෙම අර්තාපල් ගෙන්වා ඇති බවට සැක කෙරෙන අතර වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා