කොළඹ ජල ව්‍යාපෘති තුනක් අප්‍රේල් මාසයේ දී ජනතා අයිතියට

කොළඹ ජල ව්‍යාපෘති තුනක් අප්‍රේල් මාසයේ දී ජනතා අයිතියට

ගොතටුව නව නගරයේ ඉදිවෙමින් පවතින ජල ස්ථම්භය

ඡායාරූපය - කොළොන්නව සමූහ

මහකොළඹ ජල පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කරන ලද මහා පරිමාණයේ ජල ව්‍යපෘති තුනක් අප්‍රේල් මැද භාගය වන විට සියලු වැඩ අවසන් කොට ජනතා අයිතියට පවරා දීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබේ.

කොළඹ හා ඒ හා තදාසන්න ප්‍රදේශ ගණනාවක දැනට පවතින ජල හිඟයට විසඳුමක් ලෙස ආරම්භ කර ඇති නව ජල ව්‍යාපෘති වැඩසටහන යටතේ අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට ගොතටුව නව නගරය දක්වා කිලෝමීටර් 43ක් වූ ජලය බෙදා හැරීමේ නළ පද්ධතිය වැඩි දියුණු කෙරෙන අතර ජලය රඳා තැබීම හා එම ජලය බෙදා හැරීම සඳහා ඝන මීටර් 1500ක ජල ස්ථම්භයක් ද ගොතටුවෙ නව නගරයේ ඉදිවෙමින් පවතී.

මීට අතිරේකව කොළඹ මාලිගාකන්දේ පැරණි ජලාශයට අනුබද්ධිතව ඝන මීටර් 22000ක ධාරිතාවයකින් යුතු නව ජල තටාකයක් හා කොළඹ මෝදර එලිහවුස් ජලාශයේ පවතින පැරැණි භූගත ජලාශය වෙනුවට ඝණ මීටර් 38000ක ධරිතාවයකින් යුතු නව ජල තටාකයක් ඉදිකිරීම ද වැඩසටහන ට අයත් වේ.

ජපන් සහයෝගිතා ආයතනයෙ ණය ගිවිසුම යටතේ ලැබී ඇති මුදලින් මේ සියලු කටයුතු කෙරෙන අතර මේ වන විට මේ ව්‍යාපෘතිවල අවසන් අදියරේ කටයුතු ද නිමවෙමින් පවතින බවද මේ ව්‍යාපෘති ආරම්භ වීමත් සමඟ මහ කොළඹ ජල පුනරුත්ථාපන බල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් වල පාරිභෝගිකයින්ට ගිණුම් ගත නොවන නව ජල සම්බන්ධතාවයක් ලබා දීමට ද රජයේ උපදෙස් පරිදි ජාතික ජල සම්පත් මණ්ඩලය පියවර ගනු ඇතැයි ද එහි ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයෙක් කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා