කොළඹ සංවර්ධනය වන වේගයෙන්ම මත්ද්‍රව්‍ය සහ පාතාලය නැති කරනවා

කොළඹ සංවර්ධනය වන වේගයෙන්ම මත්ද්‍රව්‍ය සහ පාතාලය නැති කරනවා

- ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ
 

පණ්ඩුක සමරසේකර සහ සාදික් ෂිහාන්

කොළඹ නගරය සංවර්ධනය වන වේගයෙන්ම එහි ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය සහ පාතාලය සහමුලින්ම නැති කර දමන්නට ආරක්ෂක හමුදාව යොදාගන්නා බව ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ නගරයේ ඇතැම් වතු ජනාවාසවල සංචාරයේ යෙදෙන විට ඒවායේ පදිංචි ජනතාව ‘අනේ සර් කුඩු, පාතාලය නැති කර දෙන්න’යි තමන්ගෙන් ඉල්ලීම් කරන බව හෙතෙම සඳහන් කරයි.

කොළඹ නගර සභාවේ නිල වෙබි අඩවිය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් ඊයේ (1) පෙරවරුවේ පැවැති උත්සවයකදී ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසීය.

එම උත්සවයට එක් වූ ආරක්ෂක ලේකම්වරයා මෙසේද පැවසීය. අපේ මාතෘ භූමියේ සංවර්ධනයේ කැඩපත ලෙස කොළඹ නගරය දකුණු ආසියාවේ ආකර්ශනීයම හරිත නගරය බවට සංවර්ධනය කළ යුතුයි.

එසේ කළ විට අප රටට පැමිණෙන විදේශීය සංචාරකයන් ආයෝජකයන් මෙන්ම රාජ්‍ය නියෝජිතයන්ද රට ගැන විශාල ප්‍රතිරූපයක් ගොඩනගා ගන්නවා. එයින් අපේ රටේ සංවර්ධනයට මහත් පිටු බලයක් ලැබෙනවා. නගර සංවර්ධනයේදී වැඩියෙන්ම පීඩාවට පත්වන්නේ නගරයේ සිටින දුප්පත් ජනතාවයි. කොළඹ නගරයේ ලක්ෂ දෙකකට වැඩි ජනතාවක් ජීවත් වෙනවා. ඊටත් වැඩි පිරිසක් දින පතා රැකියා සඳහා පැමිණෙනවා.

පැල්පත් නිවාස ඉවත් කිරීම පදික වේදිකාවේ වෙළෙඳ ව්‍යාපාර ඉවත් කිරීම ආදියෙන් දුප්පත් ජනතාව අපහසුතාවට පත්වන බව අපි පිළිගත යුතුයි. නිලධාරීන් හැටියට අපට ඒ දේ කරන්නට සිදුවෙනවා. නමුත් එය තාවකාලිකයි.

එයින් ඵල ලබන්නේ දුෂ්කරතාවට පත් වු දුප්පත් ජනතාවමයි. ජනතාවගේ අපහසුතාවන් ගැන සොයා බලා කටයුතු කිරීමේ වගකීම ඇත්තේ ජනතා නියෝජිතයන්ටයි. නගර සංවර්ධනයේදී අලුතින් ඉදිවන නිවාස, වෙළෙඳ කුටි, ජනතාවගේ ආර්ථික වර්ධනය ධනෝපායන මාර්ග පිළිබඳ සොයා බලා ජනතා සුබසාධනය සැලසීම ජනතා නියෝජිතයන්ගේ වගකීමයි. කොළඹ පුරපති ඒ. ජේ. එම් මුසම්මිල් මහතා- මෙම උත්සවය සංවිධානය කිරීමේදී මේ සදහා කැඳවිය යුතු ආරාධිත අමුත්තා කවුදැයි අප කල්පනා කළා.

ඒ සදහා සුදුසුම පුද්ගලයා වන්නේ කොළඹ නගරයට වැඩියෙන්ම ආදරය කරන ආරක්ෂක ලේකම්තුමා බව අප තේරුම් ගත්තා. වසර තිහක් තිස්සේ ඇදුනු යුද්ධය නිමා කිරීමේ ගෞරවය හිමිවන්නේ එතුමාටයි. එතුමා මේ රටේ ඉතිහාසයේ සලකුණක් බවට පත්වී තිබෙනවා.

රාජ්‍ය බලය සහ නගර සභාවේ බලය එකි නෙකට විරුද්ධ තැනකයි තියෙන්නේ. එසේ වුවත් කොළඹ නගර සංවර්ධනයේදී නගර සභාව සමඟ නාගරික සංවර්ධන අධිකාරිය ජනතා යහපත උදෙසා සහයෝගයෙන් කටයුතු කරනවා. 2013 වසර අභියෝගාත්මක වසරක්. පොදු රාජ්‍ය මණ්ඩලීය නියෝජිතයන් සමුළුව කොළඹදී පැවැත්වීමට කටයුතු ‍කෙ‍රෙනවා.

ලෝක නායකයන්ට අප රටේ සංවර්ධනයේ කැඩපත ලෙස කොළඹ නගරයේ සංවර්ධනය සුවිශේෂි වෙනවා.

මේ උත්සව අවස්ථාවේදී කොළඹ නගර සභාවේ නිල වෙබ් අඩවිය (www.cmc.lk) ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරිණි. මෙම අවස්ථාවේදී මුසම්මිල් මහතා අතින් ආරක්ෂක ලේකම්වරයාට සමරු තිළිණයක්ද පිරිනැමිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා